අයිඩීඑච්වලට ප්‍රශ්නයක් නෑ – ඔක්සිජන් ටැංකියක් තියෙනවා !

තමන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක නොකර, දේශපාලන අවශ්‍යතා මත කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
වඩාත් වේගයෙන් පැතිර යන සහ අසාධ්‍ය තත්ත්වයට පත්වන බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය මෙරට පැතිර යන බව සෞඛ්‍ය අංශ විසින් ආණ්ඩුවට වාර්තා කර තිබුණේ පසුගිය අප්‍රේල් 08 වැනිදාය. මේ නිසා යම් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ඔවුන් පෙන්වා දී තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ අවශ්‍යතාව මත සංචරණ සීමා පැනවීම කඩිනමින් කළ යුතුව ඇති බවයි. එමෙන්ම රට පුරා රෝහල්වල ඇඳන් ප්‍රමාණය, දැඩි සත්කාර ඒකක පහසුකම්, එම ඒකකවල කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික ශිල්පීන් ප්‍රමාණය, කොවිඩ් ආසාදිතයන් සහ අනෙකුත් රෝගීන් එම රෝහල්වල රඳවා තැබිය හැකිද යන්න සහ ඉදිරියේදී ආසාදිතයන් වැඩිවන තත්ත්වයක් යටතේ ඔවුන් වෙනුවෙන් වෙන්කළ හැකි රෝහල් ප්‍රමාණය වැනි කරුණු සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීමක් කඩිනමින් කළ යුතු බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ එවැනි ඇගයීමක් මෙතෙක් සිදු කර නැති බවයි.
වසංගත රෝග විද්‍යායතනය හෙවත් අයිඩීඑච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තම රෝහලේ දැඩි සත්කාර ඒකකය පසුගිය ජනවාරි මාසයේ සිටම පිරී පවතින බවයි. එහෙත් දැනට රෝගීන් සඳහා වන ඇඳන් ප්‍රමාණය කළමනාකරණය කරගත හැකි බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. හදිසි අවශ්‍යතාවකදී ගැනීමට ඇති ඔක්සිජන් ප්‍රමාණය සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ කොවිඩ් වසංගතය මෙරට පැතිරීම ආරම්භ වූ මුල් කාලයේදීම ඔක්සිජන් ටැංකියක් රෝහලේ සවිකළ බවත්, එම නිසා ගැටළුවක් මතුනොවනු ඇති බවත් ය.
ලංකාවේ දැනට ශ්වසනය සඳහා එසේ ඔක්සිජන් ටැංකි නිෂ්පාදනය කරන සමාගම් දෙකක් ක්‍රියාත්මක වන අතර, ඔවුන් මාධ්‍ය වෙත පවසා තිබුණේ මාස හයක් සඳහා තමන්ට කිසිදු ගැටළුවකින් තොරව ඔක්සිජන් සැපයිය හැකි බවයි.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ආණ්ඩුව සිය වගකීම ඉටු නොකොට, වෙනත් කටයුතු කරමින් සිටින බවයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන ස්ථානවල අහඹු ලෙස කොවිඩ් 19 වෛරසය හඳුනාගන්නා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කළද, පසුව එය නවතා දැමීමට උපදෙස් ලැබී ඇති බවයි.
මේ සියල්ල අතරවාරයේ චීන ආරක්ෂක ඇමැතිවරයා මෙරටට පැමිණීමත්, චීන වරාය නගර කොමිසමට අදාළ සාමාජිකයන් පිළිබඳ යෝජනා සලකා බැලීමත් සිදුවන බව ද අනාවරණය වෙයි. මේ අතර කොළඹ නගරයේ මර්මස්ථානවල පිහිටි වාණිජ වටිනාකමකින් යුත් ගොඩනැගිලි කිහිපයක් කඩිනමින් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන, ආයෝජකයන්ට පැවරීමටත් සැලසුම් කර අවසන්. එහි මුල් පියවර ලෙස කොළඹ මහ නගර සභාව යටතේ පාලනය කළ කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීමේ ගැසට් නිවේදනය පසුගිය සතියේ නිකුත් කෙරිණි.
Previous articleරිෂාඩ් පාර්ලිමේන්තුවට ගේන්න එපා – ඇමැති : ගෙනාවට කමක් නෑ – නීතිපති 
Next articleරැඳවියන්ගේ සුබසාධනය ගැන අවධානය යොමුකරන්න – බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට මානව හිමිකම් කොමිසමෙන් ලිපියක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here