රැඳවියන්ගේ සුබසාධනය ගැන අවධානය යොමුකරන්න – බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට මානව හිමිකම් කොමිසමෙන් ලිපියක් !

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ බන්ධනාගාර රැඳවියන්ගේ සුබසාධනය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වෙත ලිපියක් යොමු කරමින් එම කොමිසම මේ බව අවධාරණය කර ඇත. මේ වන විට බන්ධනාගාර තුළ කොවිඩ් ආසාදිතයන් හඳුනාගෙන ඇතැයි නිරීක්ෂණය වු බව සඳහන් කරන මානව හිමිකම් කොමිසම, බන්ධනාගාරගත කොවිඩ් ආසාදිතයන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන එන නිසා තමන්ට පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලමින් එම බන්ධනාගාරයේ රැඳවියන් විසින් පසුගිය මැයි 02 වැනිදා විරෝධතාව පළකර ඇති බවද අදාළ ලිපිය මගින් ප්‍රකාශ කර ඇත.
2020 නොවැම්බර් මස අගදී මහර බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම ද මෙවැනි පසුබිමක සිදුවූ බව මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් අවධාරණය කර තිබේ. වසංගතය හමුවේ මේ වනවිට රැඳවියන් හමුවීම තාවකාලිකව අත්හිටුවා ඇති නිසා, රැඳවියන්ට ඥාතීන් හා සන්නිවේදනය කිරීමට සාධනීය ක්‍රියාමාර්ග ගත යුතු බව ද කොමිෂන් සභාව මෙමගින් පෙන්වා දී තිබේ.
මානව හිමිකම් කොමිසම යැවූ ලිපිය පහතින්…
‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවතින කොවිඩ් තත්ත්වය හමුවේ බන්ධනාගාර ගත රැඳවියන්ගේ සුභසාධනය කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.
මේ වන විට බන්ධනාගාර තුළ කොවිඩ් ආසාදිතයන් හඳුනාගෙන ඇති බව නිරීක්ෂණය වූ අතර, 2021.05.02 දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් විසින් බන්ධනාගාරගත කොවිඩ් ආසාදිතයන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන එන බවත් ඔවුන්ට පීසීආර් පරීක්ෂණ කිරීමට ඉල්ලමින් විරෝධතාවක් දක්වා ඇත.
2020 නොවැම්බර් මස අගදී මහර බන්ධනාගාරයේ සිදුවූ සිදුවීමද මෙවැනි පසුබිමක සිදුවූ සිදුවීමක් බව සිහිපත් කිරීමට කැමැත්තෙමු.
එබැවින් මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කර, බන්ධනාගාර තුළ සිටින කොවිඩ් ආසාදිත රැඳවියන් සම්බන්ධව හා බන්ධනාගාර තුළ කොවිඩ් පැතිරීම වැළැක්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ගන්නා ක්‍රියමාර්ග පිළිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මෙයින් දන්වා සිටිමු.
තවද, කොවිඩ් වසංගතය හමුවේ මේ වනවිට රැඳවියන් හමුවීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ 2021.05.02 දාතම “කොවිඩ් 19 අවදානම් අදියර 3 යටතේ නිකුත් කළ සංශෝධිත සීමා“ යටතේ දන්වා ඇත. ඒ අනුව රැඳවියන්ට ඥාතීන් හා සන්නිවේදනය කිරීමට සාධනීය ක්‍රියාමාර්ග ගත යුතු බව කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි.
ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඒ සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2021.05.15 දිනට පෙර දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මෙයින් දන්වා සිටිමු.
මෙම දැන්වීම කරනුයේ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 11 (අ) (ඇ) වගන්ති හි බලතල ප්‍රකාරව වේ.’
Previous articleඅයිඩීඑච්වලට ප්‍රශ්නයක් නෑ – ඔක්සිජන් ටැංකියක් තියෙනවා !
Next articleකොරෝනාවලින් පසු නීතිවිරෝධී අත්අඩංගුවටගැනීම් සහ රඳවාගැනීම් ගැන පැමිණිලි ඉහළ ගිහින් – මානව හිමිකම් කොමිසම

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here