ව්‍යාජ තොරතුරු පැතිරවූ අලි සබ්රි අත්අඩංගුවට නොගන්නේ ඇයි?

හැමදේටම අයිතිකාරයන් ඉන්න ලංකාවේ, නීතියේ වර්තමාන අයිතිකාරයා වන්නේ අලි සබ්රි ඇමැතිවරයා ය. තමන්ගේ පාලන කාලයේ සියල්ලන්ට සමානව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වේය.
ජනාධිපතිවරයා කියපු දේ කරන්නේ නම් අලි සබ්රි දැන් අත්අඩංගුවේ සිටිය යුතුය. ඒ ජනතාව නොමග යැවීමේ චෝදනාවට ය.අප්‍රේල් 18 වැනිදා අලි සබ්රි කිව්වේ ව්‍යාජ ප්‍රවෘත්තිවලට එරෙහිව සිංගප්පූරුවේ, මැලේසියාවේ සහ ඉන්දියාවේ පනත් ක්‍රියාත්මක වන බව ය. ඒ විදිහේ පනතක් ලංකාවේත් ස්ථාපිත කරන බව ඇමැතිවරයා අවධාරණය කළේය. ඇමැතිවරයා කියපු විදිහටම අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශවලින් ආරක්ෂා වීමට අදාළ නීති ගේන්නට, අප්‍රේල් 19 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබිණි. මේ අසත්‍ය තොරතුරු බරපතළ තර්ජනයක් බව ද මීට අදාළ ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ නිවේදනයේ සඳහන් විය.
අලි සබ්රි ජනතාව නොමග යැව්වේ ඉන්දියාවේ මෙවැනි පනතක් ක්‍රියාත්මක වන බවට ව්‍යාජ තොරතුරක් ප්‍රකාශ කිරීමෙන් ය. සිංගප්පූරුවේ මීට අදාළ පනතක් තිබේ. එය 2019 මැයි 08 වැනිදා සම්මත කරගන්නා ලද්දකි. මැලේසියාවේ දණ්ඩ නීති සංග්‍රහයෙන් ව්‍යාජ පුවත් පැතිරවීම වැළැක්වීමට කටයුතු කර තිබේ. තොරතුරු තාක්ෂණ පනත යටතේ මීට අදාළ විධිවිධාන සලසා ඇතත්, ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් ඉන්දියාවේ නැත. එසේ තිබියදී අලි සබ්රි අධිකරණ ඇමැතිවරයා විසින් ව්‍යාජ ප්‍රකාශයක් සමාජගත කර තිබේ.
ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 485 වගන්ති යටතේ මෙන්ම පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ ද ව්‍යාජ පුවත්වලට එරෙහිව චෝදනා ගොනු කරයි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනතේ 3 වැනි වගන්තියෙන් ද ඊට අදාළ ප්‍රතිපාදන සලසා තිබේ. ජනතාවට ව්‍යාජ පුවත් සම්ප්‍රේෂණය කිරීමේ චෝදනාව ඉදිරිපත් කරමින්, මේ වගන්ති යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පිරිස, වෙනත් වසරවලට සාපේක්ෂව පසුගිය වසර‌ දෙකේදී විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 485 වගන්තියට අනුව මහජනයාට බියක් හෝ තැතිගැන්වීමක් ඇති කිරීමේ අදහසින් අසත්‍ය බව තමන් දන්නා වූ යම් ප්‍රකාශයක් සිදුකිරීම වරදකි. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් වැඩි වූ තත්ත්වයක් යටතේ, ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණ ඇමැතිවරයා මේ ප්‍රකාශය කරන්නේ නොදැනුවත්කම නිසා විය නොහැකිය. සරලව කියන්නේ නම් ඇමැතිවරයා ජනතාව බය කරන්නට බොරු කියා තිබේ. ජෝර්ජ් ඔ්වල්ගේ ඇනිමල් ෆාම් නවකතාවේ ගෝඨාභය රාජපක්ෂලාගේ සහ අලි සබ්රිලාගේ මේ ජාතියේ වැඩ ගැන මෙසේ සඳහන් වේ. සියලු සතුන් සමාන වේ. නමුත් සමහර සතුන් අනෙක් සතුන්ට වඩා වැඩියෙන් සමාන වේ.

Previous articleවරාය නගර කොමිසම : ජනපති අඩියක් පස්සට ගත්තේ විස්සෙදි කළ වැඩේ කරන්නද?
Next article‘අප වෙනුවෙන් ඔබ තවමත් ඉදිරිපත් වී නෑ’ : කාදිනල් හිමියන් හඳ දෙස බලන්නේ කවදාද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here