වරාය නගර කොමිසම : ජනපති අඩියක් පස්සට ගත්තේ විස්සෙදි කළ වැඩේ කරන්නද?

කොළඹ වරාය නගර කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පතේ ගැටළු සහිත තැන් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.
ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් ඒ බව නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි ද මෙහිදී අවධාරණය කර ඇත. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියට දැනුම් දී ඇත්තේ එසේ සංශෝධනය කරන්නේ කුමන වගන්ති ද පැහැදිලිව ඉදිරිපත් කරන ලෙසයි.

කොමිසම කවුරු වෙනුවෙන්ද ?

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ අප්‍රේල් 08 බ්‍රහස්පතින්දා ය. ඉන්පසු සෙනසුරාදා, ඉරිදා දවස් දෙකෙන් පසු අවුරුදු නිවාඩුව ය. පනත් කෙටුම්පතක් ව්‍යවස්ථාවට අනුකූලද, නැද්ද යන්න සම්බන්ධයෙන් අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ලැබෙන්නේ සතියක කාලයකි. මෙහිදී ඒ සතියක කාලයට සති අන්තයක් සහ 12, 13, 14 යන රජයේ නිවාඩු දින ද ඇතුළත් විය. ඉතිරිය දින දෙකකි. නීතිඥවරුන්ද අවුරුදු නිවාඩුවේ ය. ඒ කියන්නේ මේ පස්මහ බැලුම් බලා, හීන් සීරුවේ කරන්නට උත්සාහ දැරූ දෙයක් වගේ ය. ඒත් වැඩේ පත්තු විය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛව පාර්ශ්ව ගණනාවක් මේ නිවාඩු අභියෝග මැද්දේත්, පනත් කෙටුම්පතට එරෙහිව හ්‍රේෂ්ඨාධිකරණයට ගියහ. එහි තීන්දුව කුමක් වුවද, එමගින් තීරණය කෙරෙන්නේ කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලද, නැද්ද යන්න පමණි. මෙවැනි තීන්දුවක ඇති සමාජ – ආර්ථික වාසි-අවාසි පිළිබඳව එහිදී අවධානයක් යොමු නොකෙරේ.

විදේශීය මැදිහත්වීම්වල ඉරණම

වර්තමාන ආණ්ඩු පක්ෂය විපක්ෂයේ සිටියදී දිගින් දිගටම කිව්වේ ලංකාවේ සිදු වූ අපරාධ ගැන හොයන්නට විදේශීය පාර්ශ්ව අනවශ්‍ය බවයි. ඒවා විදෙස් අතපෙවීම්, අධිරාජ්‍යවාදී මැදිහත්වීම් ලෙස විවිධ ආකාරයෙන් හැඳින්විණි. ඒත් දැන් ඒ කතා කියූ පාර්ශ්වය නියෝජනය කරමින් කෙටුම්පත සම්බන්ධයෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියන්නේ විදේශීය මැදිහත්වීම්වල වරදක් නැති කතාවකි. අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පවා පත්කිරීමේදී මෙරට පුරවැසියෙකු යන්න සඳහන් නොවන බවත්, වරය නගර කොමිසමට ද එම ඉඩ තැබිය යුතු බවත් නීතිවේදීහු අධිකරණයේදී පෙන්වා දුන්හ.

අධි බලැති කොමිසමක්

කොළඹ වරාය නගරයේ පරිපාලනය, නියාමනය සහ ඒ තුළ සහ එයින් පිටතට කෙරෙන ව්‍යාපාර සහ ක්‍රියාකාරකම්වලට අදාළ සියලු කරුණු පාලනය කිරීම සඳහා අධි බලැති කොමිෂන් සභාවක් පිහිටුවීමට සැලසුම් කර තිබේ. ඉහත කී පනත් කෙටුම්පත එයයි. වරාය නගර ප්‍රදේශයේ ඇති ඉඩම් බදු දීමට මෙන්ම එහි ඇති මහල් නිවාස පැවරීමට ද එයට බලය ඇත. ‘තනි කවුළුවක්’ ලෙස ක්‍රියා කරමින් නගරයේ ඒකීය ආයෝජන පහසුකම් සපයන්නා ලෙස එය කටයුතු කරයි. කොමිසම වෙනත් ඕනෑම පනතක් යටතේ ඇති නියාමන අධිකාරියක බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කරන අතර, සෑම නියාමන අධිකාරියක්ම කොමිසම ඉල්ලා සිටින කාරණයන්ට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම අනිවාර්ය වේ. එනම් මෙහි නියාමන අධිකාරි යනු රාජ්‍ය ආයතන වේ. ඒවා අනෙකුත් කරුණු සියල්ල පසෙකලා කොමිසමේ අරමුණු ඉටුකළ යුතුය. කොමිසමට අවශ්‍ය දේ ප්‍රතික්ෂේප කිරීමට ද නොහැක. මේ අනුව එම නියාමන අධිකාරිවලට ඇති අභිමතයන් සහ බලතල ඉවත් වේ. එසේ කිරීම අත්තනෝමතික වන අතර, ව්‍යවස්‌ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති නීතියේ රැකවරණයේ සර්ව සාධාරණත්වය ද උල්ලංඝනය වන බව නීතිවේදීහු පෙන්වා දෙති.

පිටරටට සුපිරි බලතල

රොමේෂ් ද සිල්වා ජනාධිපති නීතිඥවරයා පවසා ඇති ආකාරයටම නාගරික සංවර්ධන අධිකාරියේ පාලක සභාවේ සාමාජිකයන් මෙන් වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයන් පස් දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් වීම අනිවාර්ය නැත. වෙනත් රටවලට බැඳීම් ඇති පුද්ගලයන්ට මෙතරම් සුපිරි බලතල ලබාදීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමුවන වගන්තියෙන් සහතික කර ඇති ශ්‍රී ලංකාවේ නිදහස, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය උල්ලංඝනය නොවන්නේදැයි ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න ප්‍රශ්න කරයි. එසේම එයින් ව්‍යවස්ථාවේ 2 හා 3 වගන්තිවලින් සහතික වන ජනතාවගේ පරමාධිපත්‍යයද උල්ලංඝනය වන බව නීතිඥවරයා පෙන්වා‌ දෙයි.
කෙටුම්පතේ 26 වැනි වගන්තියට අනුව වරාය නගරය තුළ ව්‍යාපාර කළ හැක්කේ කොමිසමේ අවසර ලැබූ අයට පමණි. 27 වැනි වගන්තියට අනුව සියලු ආයෝජන විදේශ විනිමයවලින් පමණක් විය යුතුය. ශ්‍රී ලංකාවේ බැංකුවක තැන්පත් කර ඇති විදේශ විනිමය පවා මෙහි ආයෝජනය සඳහා භාවිත කිරීමට නොහැකිය. මේ අනුව ශ්‍රී ලාංකිකයන්ට රුපියල් පමණක් නොව නීත්‍යනුකූලව ශ්‍රී ලංකාව තුළ ගිණුමක ඇති විදේශ විනිමය පවා වරාය නගරය තුළ ආයෝජනය කළ නොහැක. මෙම ප්‍රතිපාදන පැහැදිලි ලෙසම අත්තනෝමතික මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට වෙනස් ලෙස සලකන ඒවා බැවින් එමගින් ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති සමානාත්මතාව ඔවුන්ට නොලැබෙන බවත්, එසේම 14(1)(උ) වගන්තියෙන් සහතික කර ඇති වෙළෙඳ ව්‍යාපාර සහ ව්‍යවසායයක නියුක්තවීමේ නිදහස ද අහිමි වන බවත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

මහ කොළඹ ආර්ථික කොමිසම

1978 දී මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබුණේ කම්කරු පන්තියට ආරක්ෂාව සපයන අණ-පනත් ගණනාවක්  නිදහස් වෙළෙඳ කලාප තුළ ක්‍රියාත්මක නොකිරීමට ය. එම පනත් කෙටුම්පතට විරුද්ධව ලංකා කම්කරු සම්මේලනය වෙනුවෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ ජයම්පතී වික්‍රමරත්න පෙනීසිටියහ. එවකට තිබූ, එනම් 1972 ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අධිකරණය තීරණය කළේ එසේ සමහර අණ-පනත් අදාළ නොකිරීම සමානතා වගන්තියට පටහැනි බැවින් තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් එය සම්මත කළ යුතු බව ය. තමන්ට හයෙන් පහක බලයක් තිබුණද, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එදා එම අණ-පනත් අදාළ නොකෙරෙන වගන්ති පනතින් ඉවත් කිරීමට කටයුතු කර තිබිණි. 1972 ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණ තිබුණේ නැත. එහෙත් 1978 ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වූ විට ජනතාවගේ පරමාධිපත්‍යය සහතික කරන 3 සහ 4 වගන්ති ද උල්ලංඝනය වන බැවින් ජනමත විචාරණයකදී අනුමැතිය ගත යුතුය. මේ බව 2002 වසරේ ප්‍රථම දහඅට වන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ කාරණයේදී සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්ද, මෑතදී විසි වන සංශෝධනය පිළිබඳ කාරණයේදී පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්ද තහවුරු කරන ලදි.

අධිකරණයට සිදුවන්නේ කුමක්ද?

පනත් කෙටුම්පතේ 62 වැනි වගන්තියට අනුව කොමිසම සම්බන්ධ සියලු ආරවුල් බේරුම් කිරීම් මගින් විසඳා ගැනීම අනිවාර්ය ය. ශ්‍රී ලාංකික අධිකරණ මේ අනුව මග හැරේ. නගරය තුළින් පැනනැගෙන, කොමිසම සම්බන්ධ නොවන, වෙනත් ඕනෑම සිවිල් හෝ වාණිජ නඩු යම් අධිකරණයක ඇති විට එම නඩුවලට ප්‍රමුඛතාව දී දිනපතා නඩු විභාග පැවැත්විය යුතුය. අසනීප වැනි පෞද්ගලික හේතු මත පවා නීතිඥවරයෙකු අධිකරණයට පැමිණීමට නොහැකි වීම නඩුව කල් දැමීමට හේතු නොවේ. මෙම ප්‍රතිපාදන අත්තනෝමතික වන අතර, ඒවායින් ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය උල්ලංඝනය වන බව නීතිවේදීන්ගේ අදහසයි.
කෙටුම්පතේ තුන්වැනි උප ලේඛනයේ ඇති පනත් ගණනාවක් වරාය නගරය තුළ බල නොපැවැත්වෙනු ඇත. ඊට නාගරික සංවර්ධන අධිකාරිය පනත, මහ නගර සභා පනත සහ නගර සහ ග්‍රාම නිර්මාණ ආඥාපනත ඇතුළත් ය. එහි 52 සහ 53 වගන්ති යටතේ ආදායම් බදු, විදේශ විනිමය, රේගු, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු වැනි පනත් ගණනාවකින් නිදහස් කිරීම් කිරීමට කොමිසමට බලය ඇත. මෙයින් ජනතාවගේ සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය හෑල්ලුවට ලක්කර තිබේ.

‘විස්ස වගේ වෙන්නත් පුළුවන්’

ශ්‍රේෂ්ඨාධිකරණය මේ කරුණු පිළිබඳ අවධානය යොමුකොට තීරණයක් ගෙන, එය පාර්ලිමේන්තුවේ කතානායකවරයාට දැනුම් දෙනු ඇත. සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතකට අදාළ මතය දක්වන්නේ එසේ ය. ව්‍යවස්ථා විශාරදයන්ගේ අදහස වන්නේ ඉහත බරපතළ කරුණු හේතුවෙන් අනිවාර්යෙන්ම මෙය ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර තිබුණේ මේ පනත් කෙටුම්පත අවසන් කෙටුම්පත නොවන්නට ද ඉඩ ඇති බවයි. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ද මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරිපත් වූ පසු, ඇතැම් වගන්ති සංශෝධනය කළ බව ද ඇමැතිවරයා පෙන්වා දී තිබිණි.

අවශ්‍ය දෙයක් කිරීමේ වරම

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන විද්වත් පාර්ශ්ව පෙන්වා දෙන්නේ මෙවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද, පාර්ලිමේන්තුවේ බලයට යටත් කළ ද වැඩක් නැති බවයි. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික උපක්‍රම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට දැනුමක් නොමැති බවයි. එහි යම් සත්‍යයක් තිබුණද, ව්‍යවස්ථානුකූල ක්‍රමය උල්ලංඝනය කිරීමට එය වරප්‍රසාදයක් ලෙස භාවිත කළ නොහැකිය. ඔවුන් මතුකරන තවත් කරුණක් වන්නේ ජනාධිපතිවරයා තවදුරටත් විශ්වාස කළ හැකි බවත්, ජනාධිපතිවරයාට බහුතර ජන වරමක් ඇති බවත් ය. ජනාධිපතිවරණයේදී බහුතර ජනවරමක් ලැබුණු නිසා, සියලු නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්නට ජනාධිපතිවරයාට බලයක් නැත. ඔහු නීතිගරුක විය යුතුය. සියල්ලන්ට සමානව නීතිය ක්‍රියාත්මක කරන බවත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කරන බවත් ඔහු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලදී කිව්වේය. සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එය සඳහන් කළේය. ‘රටේ පවතින සියලු නීති උල්ලංඝනය කරමින්, මට අවශ්‍ය දෙයක් කරන්නට වරමක් දෙන්නැයි’ ගෝඨාභය රාජපක්ෂ කියා නැත. එහෙම කියන්නට ද ඔහුට නොහැක.

ආයෝජන අත්‍යවශ්‍යයි !

ලංකාවේ පරිපාලන නීතිවල සහ ආයතනවල ඇති දුර්වලතා, අකාර්යක්ෂමතා නිසා මෙවැනි කොමිසමක් පිහිටුවිය යුතු බවත්, එසේ නොවුණහොත් සෘජු ආයෝජන නොලැබී යනු ඇති බවත් ඔවුන් මතුකරන තවත් කරුණකි. රාජ්‍ය ආයතන දුර්වලතා සහ අකාර්යක්ෂමතා සම්බන්ධයෙන් මතුකරන කරුණ සත්‍යයකි. එහෙත් එය වෙනස් කිරීමට ආණ්ඩුවට බලය තිබේ. ඊට අදාළ අණ-පනත් සංශෝධනය කොට, වඩා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කරනවා වෙනුවට, එකක්වත් එපා, අපිට ඔ්නෙ දේ කරනවා කියන්නට ඔවුන්ට හැකියාවක් නැත.
විදේශ ආයෝජන රටට අත්‍යවශ්‍ය බවත්, ලංකාව එරී ඇති ආර්ථික අගාධයෙන් ගොඩඑන්නට විවිධ උපක්‍රම යෙදිය යුතු බවත් ආර්ථික විශ්ලේෂකයෝ අවධාරණය කරති. එහෙත් එහි අදහස වන්නේ කළු සල්ලි සහ ජාවාරම්වලට තිප්පොළවල් නිර්මාණය කිරීම නොවන බව ද ඔවුහු පෙන්වා දෙති. ලෝකයේ මෙවැනි ආයෝජන මධ්‍යස්ථාන සිය ගණනක් තිබේ. එහෙත් ඒ සියල්ල පාලනය වන්නේ එක් එක් රටවල ස්වෛරීභාවයට හානියක් නොවන අයුරින් බව ද මේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ආරම්භයේ සිට පිට පාරේ

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පළමු පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් අනුමැතිය සඳහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද්දේ 2011 වසරේදී ය. ඉතාම දුර්වල හා අසම්පූර්ණ වාර්තාවක් ලෙස එය ඉදිරිපත් කර තිබිණි. නමුත් එම වාර්තාව 2011 ජුනි 11 වැනි දින සිට රජයේ වැඩකරන දින 30ක කාලයක් මහජන අදහස් සඳහා විවෘත කරන ලදි. ඒ වාර්තාව සකස් කර තිබුණේ හෙක්ටයාර් 200ක භූමියක් මුහුද ගොඩකර ලබාගැනීම සඳහා ය. පසුව 2012 වසරේදී චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම මගින් ඉදිරිපත් කළ යෝජනාවලියට අනුව මුහුද ගොඩකර හෙක්ටයාර් 233ක භූමියක් ලබාගැනීමට යෝජනා විය.
ඒ අනුව පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවට ඇමුණුම් වාර්තාවක් සකස් කර, අදාළ සමාගම වෙනුවෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නැවත වරක් ව්‍යාපෘතිය අනුමත කිරීමේ ආයතනය වන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලදි. එම වාර්තාව මහජන අදහස් සඳහා විවෘත නොකෙරිණි. වගකීම් විරහිතව 2014 ඔක්තෝබර් 23 වැනි දින ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය වන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත කොන්දේසි 42කින් සමන්විත අනුමැතියක් මීට ලබා දී තිබේ. එම අනුමැතිය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලැබීමට පෙර චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම 2014 සැප්තැම්බර් 16 වැනි දින සිට මුහුද ගොඩකිරීම් කටයුතු ආරම්භ කෙරිණි. අනුමැතිය ලබාදීමට මාසයකට පෙර ගොඩකිරීම් කටයුතු නීතිවිරෝධීව මෙම සමාගම ආරම්භ කර තිබූ අතර, අනුමැතිය ලබාගත් ව්‍යාපෘති යෝජක වන ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවට මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ලද්දේ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම ය. මෙය කුමන නීතිමය පදනමක් මත සිදුවූයේ ද යන්න ගැටළුවකි. වරාය නගරය ආරම්භයේ සිට ම චීනයේ ආධිපත්‍යයට යටත් වී තිබුණේ එසේ ය.

නොනිල අයට නිල බලයක්

2014 ආරම්භ වූ මෙම ව්‍යාපෘතියේ ගිවිසුම්වල පවතින නීතිවිරෝධී තත්ත්වයන් සැලකිල්ලට ගෙන 2015 මාර්තු 04 වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෙම ව්‍යාපෘතිය අත්හිටුවන ලදි. එය 2015 මාර්තු 06 වැනි දින වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අදාළ සමාගම වෙත දන්වා තිබිණි. නමුත් අදාළ ව්‍යාපෘතිය අනුමත කළ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘති යෝජක ආයතනය වන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලබා දී තිබූ කොන්දේසි සහිත අනුමැතිය තාවකාලිකව හෝ අවලංගු කළ බව නීත්‍යනුකූල ව්‍යාපෘති යෝජක ආයතනයට දැන්වීමක් සිදු වී නැත. ඒ වෙනුවට ඉහත සඳහන් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අදාළ සමාගමට ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙසට දැනුම්දීම ද නීත්‍යනුකූල නොවන ක‍්‍රියාවකි. එමඟින් උත්සාහ දරා තිබුණේ අදාළ සමාගම සමඟ ඇති කර ගත් නීතිවිරෝධී ගිවිසුම්වලට නීත්‍යනුකූලභාවයක් ලබාදීමට ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මෙහිදී එකම වැඩේ මාර්ග දෙකකින් කළේ එසේ ය.
මේ ව්‍යාපෘතියට අදාළ පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවේ මුහුද ගොඩකර ලබාගන්නා භූමියේ වපසරිය හෙක්ටයාර් 200ක් ලෙස සඳහන් වේ. ඒ සඳහා එක් කළ පළමු පරිපූරක වාර්තාවේ හෙක්ටයාර් 233ක් ලෙස සඳහන් කර ඇත. ඉන්පසු සකස් කළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවේ භූමියේ වපසරිය හෙක්ටයාර් 269ක් ලෙස සඳහන් වේ. මෙසේ මේ ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම බාහිර පාර්ශ්වයක් සතුටු කිරීමේ උත්සාහයක්, මෙරට සියලු නීති, අණ-පනත් උල්ලංඝනය කරමින් සිදු කෙරිණි.

සමස්තය නොව තම-තමන් වෙනුවෙන් !

මේ කොමිසමට අදාළ කෙටුම්පත යනු එහි කූඨප්‍රාප්තියකි. නීත්‍යනුකූලව ආයෝජන ගෙනඒම සහ ඒ වෙනුවෙන් කැපවීම වෙනුවට මෙවැනි වංගු පාරවල් හොයන්නේ ඇයි ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. මේ සමස්ත ජනතාව වෙනුවෙන් ගනු ලබන තීරණ නොව, තම-තමන් වෙනුවෙන් ගන්නා තීරණ ය.
Previous articleපාස්කු ප්‍රහාරය : ශානි අත්අඩංගුවට ගත් සැකකරු බුද්ධි අංශයෙන් රැගෙන ගියේ ඇයි ? – මනූෂ නානායක්කාර
Next articleව්‍යාජ තොරතුරු පැතිරවූ අලි සබ්රි අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here