ප්‍රවෘත්ති සංස්කාරක ඉවත් කිරීම : විනය පරීක්ෂණයක් නෑ – හිරු නීතිඥ පිළිගනී !

හිරු නාලිකාවේ සේවය කළ ප‍්‍රවෘත්ති සංස්කාරකවරයකු විනය පරීක්ෂණයක් නොපවත්වා සේවයෙන් පහ කිරීම සම්බන්ධ නඩුව ජුනි 04 වැනිදා විභාගයට ගැනීමට බොරැල්ල කම්කරු විනිශ්චාධිකාරයේ අංක දෙක අධිකරණයේ විනිසුරු යූ දල්පදාදු මහතා නියෝග කළේය.
එම නඩුවේ සාක්කිකරු එදින අධිකරණයට කැඳවන ලෙස නියෝග කළ විනිසුරුවරයා එදිනට සාක්කි ලබාගෙන හරස් ප‍්‍රශ්නද අසා අවසන් කරන බව දැනුම් දුන්නේය.
ඊයේ (22) නඩුව කැඳවූ අවස්ථාවේ එම නාලිකාව අයත් ඒසියා බ්‍රෝඞ්කාස්ටිං කෝපරේෂන් පුද්ගලික සමාගමේ මානව සම්පත් කළමනාකරු නීතීඥවරයකු සමග අධිකරණයේ පෙනී සිටි අතර පසුගිය දිනයේ අධිකරණයේ පෙනී නොසිටියේ නොතීසි නොලැබුණු නිසා බව සමාගම දැනුම් දුන්නේය.එහිදී එය පිළිගත නොහැකි බවට අධිකරණය ප‍්‍රකාශ කළේය.
ප‍්‍රවෘත්ති සංස්කාරකවරයා සේවයෙන් පහ කර ඇත්තේ වීඩියෝවක් සමාජ මාධ්‍යවලට මුදා හැරියේයැයි කියමින් බවත්, ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් හෝ නොපවත්වාම ප‍්‍රවෘත්ති සංස්කාරකවරයා සේවයෙන් පහ කර ඇති බවත් ප‍්‍රවෘත්ති සංස්කාරක වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැනුම් දුන්නේය. හිරු නාලිකාව වෙනුවෙන් පෙනි සිටි නිතීඥවරයා ද එය පිළිගත්තේය. පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදී නිරෝධායන නීති නොතකමින් හිරු නාලිකාව අවුරුදු උත්සවයක් පවත්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වූ අතර එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හරිනු ලැබ ඇත්තේ මෙම ප‍්‍රවෘත්ති සංස්කාරක විසින් බව කියමින් ඔහු සේවයෙන් පහ කර තිබේ.
ප‍්‍රවෘත්ති සංස්කාරකවරයා එදින සිට ඇත්තේ ප‍්‍රවෘත්ති කාමරයේ බවත්, එම වීඩියෝව රූපගත කර ඇත්තේ වේෂනිරූපන ශිල්පියකු බවත්, නිරෝධායන නීති කඩමින් පවත්වන වැඩසටහන නිසා තමන්ට ද කොව්ඞ් ආසාදනය වන බවට ඔවුන් බියෙන් පසුවී ඇති බවත් පසුව කියැවිණි. වේෂනිරූපන ශිල්පියාගේ පුද්ගලික දුරකතනය සමාගමෙන් ලබාගෙන නීති විරෝධී ලෙස ඔවුන් බාරයේ තබාගෙන ඇති බවත්, මෙම ප‍්‍රවෘත්ති සංස්කාරකවරයාට එරෙහිව සාක්කි ලබාගෙන පසුව වේෂනිරූපන ශිල්පියාද ඉවත් කර ඇති බවත් පසුව කියැවිණි.
මෙය රක්ෂාවක් නැතිවීම ගැන නඩුවක් බැවින් දින ලබා ගනිමින් කල් මැරීමෙන් අගතියක් සිදුවන බැවින් නඩුවට නිසි ලෙස සූදානම් වී පැමිණෙන ලෙස විනිසුරුවරයා නීතීඥවරුන්ට දැනුම් දුන්නේය. සේවකයන් ප‍්‍රමාද වී රාජකාරියට පැමිණි දිනවලට ද ඔවුන් එදින රාජකාරි කළද එය පඩි රහිත නිවාඩු දිනයක් ලෙසට නම් කර වැටුප් කප්පාදු කරන බව ද අධිකරණයේදී කියැවිණි.
Previous articleපාස්කු ප්‍රහාරය : විමර්ශකයන්ට ස්වාධීනව වැඩ කරන්න ජනාධිපතිතුමා පහසුකම් සපයලා තියෙන්නෙ – අගමැති
Next articleඅලුත් අවුරුද්දට අඩු වූ කොරෝනා මැයි දිනයට වැඩි වුණාද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here