අලුත් අවුරුද්දට අඩු වූ කොරෝනා මැයි දිනයට වැඩි වුණාද?

රට තුළ කොවිඩ් 19 තෙවැනි රැල්ලක් ඇතිවෙමින් පවතින බවට ආණඩුව මේ වන විට අනතුරු අඟවමින් සිටී.
අවුරුදු දිනවලට පෙර කොවිඩ් 19 වසංගත තත්ත්වය පහවීගෙන යන බවක් ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කළ ආණ්ඩුව, මැයි දිනය ළඟාවන විට කොවිඩ් 19 තත්ත්වය උත්සන්න වන තත්ත්වයක් පෙන්වීමට උත්සාහ කරන බව ඇතැම්හු සඳහන් කරති.
කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතය පිළිබඳ සත්‍ය තොරතුරු ජනතාවට ලබාදෙන ලෙසත්, දේශපාලන ප‍්‍රශ්න වසාගැනීමට වංසගතය ඉත්තෙක් බවට පත්කර නොගන්නා ලෙසත් ඔවුහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. මේ හේතුවෙන් මෙහි සත්‍ය තත්ත්වය කුමක්ද යන්න පිළිබද වටහාගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තොරතුරු සොයාබැලුවෙමු.

අයිසීයූ ඇඳන් පිරිලා

කොළඹ අයි.ඩී.එච්. රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය හසිත අත්තනායක මහතා ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නකි.
‘සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු අයි.ඩී.එච්. රෝහලට කොවිඩ් 19 රෝගීන් ඇතුළත්වීමේ වැඩිවීමක් තිබෙනවා. ඉකුත් මාර්තු මාසය වන විට රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් ඉතාමත් අවම මට්ටමකින් වාර්තා වුණා. ඉකුත් සතියෙන් පසු එම ගණන වේගයෙන් වැඩි වුණා. අපේ රෝහලේ දැඩි සත්කාර ඇඳන් 08ක් තමයි තිබෙන්නේ. මේ වන විට එම ඇඳන් පිරීගොස් තිබෙනවා. ඒ වගේම අනෙක් වාට්ටුවලටත් රෝගීන් ඇතුළත් කිරීම් වැඩි වී තිබෙනවා.’

සමහර අවස්ථාවලදි උපදෙස් කැඩුවා

පසුගිය 20දා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වත්මන් කොවිඩ් 19 තත්ත්වය පිළිබඳව පැවසූ සම කැබිනට් ප‍්‍රකාශක, වැවිලි ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ සඳහන් කළේය.
‘රෝගීන්ගේ යම්කිසි ඉහළයෑමක් අලුත් අවුරුදු උත්සව සමයෙන් පසුව වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය අංශ සහ කොවිඩ් 19 මර්දන බලකාය ඇතුළු සියලුදෙනා අනතුරු ඇඟවීමක් කරලා තිබුණා, සෞඛ්‍ය අංශ විසින් දෙන ලද උපදෙස්වලට අනුකූලව අලුත් අවුරුදු සමය ගතකරන්න කියලා. අවාසනාවකට සමහර ස්ථානවලදී අපි එවැනි උපදෙස් කඩවීම් දැක්කා. ඒක කණගාටුදායක තත්ත්වයක්. හැබැයි ඒ සම්බන්ධයෙන් දැඩි අනියත බියක් ඇතිකර ගත යුතු නැති බව ඉතාම පැහැදිලිව ප‍්‍රකාශ කරනවා. කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේදීත්, දෙවැනි රැල්ල අවස්ථාවේදීත් යම්කිසි අපහසුතාවක් ඇතිවුවත්, මෙරට සෞඛ්‍ය අංශ ඉතාමත් හොඳින් ඒ කටයුතු පාලනය කළ බවත්, රෝගීන් සහ මරණ සංඛ්‍යාව අවම ප‍්‍රමාණයක රඳවා තබාගැනීමට හැකි වූ බවත් අප සෑම කෙනෙකුම දන්නා කාරණයක්. ඒ නිසා අපි අවිනිශ්චිත බියක් ඇතිකර ගත යුතු නැහැ. සෞඛ්‍ය අංශ සහ රජය මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවනවා. අපි විශ්වාස කරනවා, බොහොම පැහැදිලිවම මෙම තත්ත්වය වර්ධනය නොවී වළක්වා ගැනීමට රජයට හැකියාව තිබෙනවා කියලා.
විශේෂයෙන් ලංකාවේ මේ රෝගය දැඩි ලෙස පැතිර ගිය කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල මිලියනයකට ආසන්න පිරිසක් අපි එන්නත්කරණයටත් ලක්කර තිබෙනවා. මෙය පැතිරී යෑම සෑහෙන මට්ටමකට අපි අඩු කරලා තිබෙනවා. හැබැයි අපි රජය හැටියටත්, සෞඛ්‍ය අංශ හැටියටත් අඛණ්ඩව ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිමින් මෙය පාලනය කිරීම සඳහා ගත යුතු සෑම අවශ්‍ය ක‍්‍රියාමාර්ගයක්ම ගන්නවා.’

අවශ්‍ය පියවර ගත්තෙ නෑ

ශ්‍රී ලංකා ප‍්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ සභාපති / වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා පැවසුවේ මෙහි ව්‍යාකූලත්වයක් ඇති බව ය. ඔහු මෙසේ ද පැවසීය.
‘අලුත් අවුරුදු උත්සවය සමරන්න පෙර සතියේ සිට මේ තත්ත්වය අපි දැනගෙන හිටියා. අප්‍රේ‍ල් මුල් සතියේ අපේ රටේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම සියයට 25කින් වාර්තා වී තිබුණා. එය අවුරුදු උත්සවයට පෙර සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබුණා. එහි තිබුණා ලංකාවේ පමණක් නෙමෙයි තායිලන්තයේ, නේපාලයේ, ඉන්දියාවේත් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව. ඒ වගේම අවුරුද්දට දවස් දෙක-තුනකට කලින් තමයි ඉන්දියාවේ දෛනික රෝගීන් ලක්ෂ දෙක ඉක්මවා වාර්තාවීමත්, මරණ දෙදහස ඉක්මවා වාර්තාවීමත් දැකගන්නට ලැබුණේ. ඒ කියන්නේ අපි මේ තත්ත්වය කලින්ම දැනගෙනයි හිටියේ. නොදැන හිටියෙ නෑ. අපි දැනගත්තත් රටට අවශ්‍යතාවක් තිබුණෙ නෑ වගේම රටේ කොවිඩ් පාලන වැඩපිළිවෙළට අවශ්‍යතාවක් තිබුණෙ නෑ කොවිඩ් පාලනයට නිශ්චිත ක‍්‍රියාමාර්ග ගන්න.
මේ සිද්ධ වුණේ පසුගිය වර්ෂයේ සැප්තැම්බර් හා අගෝස්තු මාසවල සිදුවූ දේමයි. ඊට පෙර රටේ තිබුණු කොවිඩ් තත්ත්වය මැතිවරණය වෙද්දි අඩුවෙන්න ගත්තා. මැතිවරණයෙන් පසුව ඔක්තෝබර් මාසය වෙනකම් හැමෝවම සැහැල්ලුවෙන් හිතන තැනට පත්කළා. රටේ නායකයන් කිව්වෙ අනෙක් රටවල්වල වගේ නෙමෙයි අපි හොඳට තත්ත්වය පාලනය කළා කියලනෙ. මේ පාර සිදුවුණෙත් ඒ දේමයි. රෝග පාලනය කරන අයත් කියමින් හිටියෙ ඒ වගේ කාරණාමයි. ගෝලීය වසංගතයක් පැතිරෙන වෙලාවෙ මාධ්‍ය හරහා මෙන්ම වෙනත් ක‍්‍රමවේද හරහා එවැනි මත ප‍්‍රකාශ කිරීම තුළින් සිදුවන්නේ ජනතාවගේ උනන්දුව හා මේ පිළිබඳ තිබෙන බිය සැක අඩුවීමයි. එය සාමාන්‍ය දෙයක්.

ප්‍රශ්නය ඇති වුණේ කොහොමද?

ඒ නිසා අවුරුදු කාලසීමාවේ හැමෝම තමන්ට රිසි පරිදි හැසිරුණා. අපි දැක්කා සමහර අය දුර ගමන් ගියා. විනෝද චාරිකා ගියා. දැන් ඔවුන් එසේ ගමන් කරපු ප‍්‍රදේශවල විශේෂයෙන් කුරුණෑගල, අනුරාධපුර, කොළඹ, ගාල්ල වගේ ප‍්‍රදේශවල පසුගිය දින දෙකේ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්න පටන් අරගෙන තිබුණා. ඒ කියන්නේ ජනතාව චාරිකා ගියපු ප‍්‍රදේශවල රෝගීන් වැඩිවෙලා කියන එකයි. දැන් මේ ප‍්‍රශ්නයට විසඳුම් දෙන්න සිදුවෙන්නෙත් මේ තත්ත්වය ගැන තීන්දු තීරණ ගත්ත අයටමයි. අනෙක් අයට දැන් කරන්න දෙයක් නෑ. තම-තමන් පෞද්ගලිකව ප‍්‍රවේශම් වෙන එක තමයි, සාමාන්‍ය ජනතාවට මේ වෙලාවෙ කරන්න වෙන්නෙ. ලංකාවෙ මේ වෙද්දි දැඩි සත්කාර ඇඳන් කොච්චර තිබෙනවාද? ඒවගෙන් කොතරම් ප‍්‍රමාණයක් කොවිඩ් රෝගීන්ට වෙන්කරනවාද? රෝහල් කීයක් මේ රෝගීන් සඳහා වෙන් කරනවාද? මේ කියන තීන්දු තීරණ ගන්න ඕනෙත් පහුගිය කාලෙ තීන්දු තීරණ ගත්ත අයම තමයි. එහෙම නැතිව දැන් රෝගීන් වැඩි වෙලා කියලා තීන්දු තීරණ ගන්න අලුත් කණ්ඩායමක් එන්නෙ නැහැ. දැන් රෝගීන් වැඩි වෙලා කියලා ප‍්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. ඒ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න නම් ප‍්‍රශ්නය ඇතිවුණේ කොහොමද කියන එක බලන්න ඕනෙ.

වපුරපු දේ නෙළාගන්න වෙලා

මේ වෙද්දි දැඩි සත්කාරවලට රෝගීන් වැඩිවෙලා කියලා කියනවා නම් මගේ ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි ඇත්තටම එහෙම වෙලා තියෙන්නෙ කොහෙද? ඒ තොරතුරු තියෙන්නේ? කවුද ඒ තොරතුරු අපිට කියන්නේ? විද්‍යඥයන් හැටියට, මේ විෂය ගැන දැනුම ඇති අය හැටියට අපිට යමක් ප‍්‍රකාශ කරන්න තොරතුරු තියෙන්න ඕනෙ. ඇත්තටම මේ තොරතුරු බලාගන්න තැනක් නැහැ. නීත්‍යනුකූල වෙබ්අඩවියක් රටේ නැහැ. ඒ නිසා අපි කොහොමද මේ ගැන යමක් ප‍්‍රකාශ කරන්නේ. දෙවැනි එක තමයි රටේ කොවිඩ් රෝගීන් වැඩි වෙලා කියලා ප‍්‍රශ්නයක් දැන් ඇතිවෙලා තියෙනවා නම්, අපි එයට විසඳුම් දෙන්න කලින් බලන්න ඕනෙ ප‍්‍රශ්නය ඇතිවුණේ කොහොමද කියන එක. ප‍්‍රශ්නය ඇතිවුණ ආකාරය හොයලා තමයි අපිට විසඳුම දෙන්න පුළුවන් වෙන්නෙ. ප‍්‍රශ්නය ඇතිවුණේ නොසැලකිල්ල හෝ නොදැනුවත්කම නිසා නම් හෝ අපිට කන් ඇහෙන්නෙ නෑ, ඇස් පේන්නෙ නෑ වගේ ප‍්‍රශ්නයක් තිබිලා නම් ඒකට විසඳුම් හොයන්න  ඕනෙ. එහෙම නැතිව අද අපිට ප‍්‍රශ්නයක් තියෙනවා, දැන් මේකට මොකද කරන්නෙ කියලා හිතලා වැඩක් නෑ. මේ ප‍්‍රශ්නය ඇතිවුණේ නොදැනුවත්කම නිසාද? නොසැලකිල්ල නිසාද? තීන්දු තීරණ ගැනීමේ වැරදි ක‍්‍රියාමාර්ග නිසාද? කියලා බලලා ඒවා වෙනස් කරන්න ඕනෙ. එහෙම නම් කියන්න තියෙන්නේ මේ තීන්දු තීරණ ගත් අය ඒවාට සුදුසු නැති බවයි. ඔවුන් හරි නම් මේ වෙලාවෙ ඉල්ලා අස්වෙන්න ඕනෙ. වෙන මොනවද කරන්න තියෙන්නෙ. මේ ප‍්‍රශ්නයට හරිහැටි විසඳුම් හොයන්න පුළුවන් අයට බාරදෙන එකයි ඔවුන් කළ යුත්තේ. රට ආරක්ෂා කරන්න, ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න බැරි නම්, මෙය දෙවැනි වරටත් සිදුකරන වරදක් නම් ඔවුන් ඉවත් වී යා යුතුයි. මොකද ඔක්තෝබර් මාසයෙත් ඔවුන් මේ ආකාරයෙන්ම වරද්දා ගත්තා. එහෙනම් ඔවුන් මේ දෙවැනි වරටත් වරද්දගෙනයි තියෙන්නේ.
අපි බැලුවොත් මේ වසංගතයට දෙයාකාරයකටයි ලෝකයේ රටවල් ක‍්‍රියාත්මක වුණේ. යුරෝපය, ඇමෙරිකාව, ඉන්දියාව වගේ රටවල් මේ වෛරසයට උත්තර දුන්නු විදිහට තමයි අපිත් උත්තර දුන්නේ. ඒ නිසා ඔවුන් අත්විඳින විපාකම අපිත් දැන් අත්විඳිනවා. වියට්නාමය, දකුණු කොරියාව, කාම්බෝජය, ලාඕසය, ඔ්ස්ට්‍රේලියාව වගේ රටවල් වෙනත් ක‍්‍රමයකට මේ වෛරසය පාලනය කරගත්තා. ඒවායේ ප‍්‍රතිඵල දැන් ඔවුන් භුක්ති විඳිනවා. අපි අනුගමනය කරපු ක‍්‍රමවේදවල ප‍්‍රතිඵල තමයි අපි මේ භුක්ති විඳින්නේ. අපි ගත් තීරණ නිසයි අද මෙහෙම වෙලා තියෙන්නේ.’

ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණයක් නෑ

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ පාලිත කරුණාප්‍රේම මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
‘විශේෂයෙන් මේ අවස්ථාවේදීත් අපි සාමාන්‍යයෙන් වෙනදට ගන්න ක‍්‍රියාමාර්ගවලට තවත් වැඩිපුර අවධානයක් යොමු කරලා ශක්තිමත් කරගත යුතුයි. අපි පසුගියදා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ නිල ෆේස්බුක් පිටුවෙනුත් මේ ගැන දැනුවත් කළා. අපිත් හැමවෙලාවෙම කියන්නේ තම-තමන්ගේ ක‍්‍රියාකාරකම්, උත්සව පවත්වන ඒවා පාලනය කරගන්න කියලා. අපි ඒ ගැන අවුරුද්දට කලිනුත් ජනතාව දැනුවත් කළා. මේ අවස්ථාවෙදි ඒ සෞඛ්‍ය උපදෙස් වැඩිපුර වුවමනාවෙන් කළ යුතුයි. නව ප‍්‍රභේදය පිළිබඳව තවම නිශ්චිතව කියන්න බැහැ. ඒක තවම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. ඊට අමතරව රට වැසීම හෝ ඉදිරියට ගන්නා අනෙකුත් ක‍්‍රියාමාර්ග ගැන තවම ස්ථිර තීරණයක් නැහැ. ඒ දේවල් ගැන ඉස්සරහට බලලා තීරණයක් ගනියි.’

විශ්වාසය නැති කළා

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය.
‘කොවිඩ් වැනි වෛරස් රෝගයකට මුහුණ දෙන්න නම් ජනතාව දැනුවත් කරලා, ඒ ජනතාවගේ විශ්වාසය තුළ තමයි අපිට කටයුතු කරන්න වෙන්නෙ. ඒ මොකද මේ සම්බන්ධයෙන් සියයට සියයක් සාර්ථක වුණ එන්නත් හෝ වෙනත් ඖෂධයක් තවම හොයාගෙන නැහැ. ඒ නිසා ජනතාවට රෝගය ගැන කරුණු කියලා ආරක්ෂා වෙන ක‍්‍රමවේදයක් පිළිබඳ විශ්වාසය ඇතිකිරීමෙන් තමයි මේ රෝගයට මුහුණ දිය යුතු වන්නේ. නමුත් ගතවුණු මාස තුන-හතරේදී මේ සම්බන්ධයෙන් ජනතාවට දිය යුතු විශ්වාසය බිඳවැටෙමින් තිබුණු බව අපි දැක්කා.
බොහෝ සංචරණ සීමා ඉවත් වුණා. මීටරයේ පරතරය තබා ගැනීම, මුඛ ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය ක‍්‍රම අනුගමනය කිරීම රටේ ඉහළම පුද්ගලයාගේ සිට බොහෝදෙනා අමතක කරමින් සිටින බව දැක්කා. රාජ්‍ය මැදිහත් වුණු විශාල උත්සව, රැස්වීම් පැවැත්වුණා. රටක කොවිඩ් මර්දනයේ උපදෙස් සහ ආදර්ශ ලැබිය යුතු ඉහළම තැනින් ඒවා කඩවෙනකොට, පහුගිය අවුරුදු සමයේදී මහරගම-පමුණුවේ ජනතාව විශාල පිරිසක් රැස්වුණු එක ගැන, සිරිපාදේ, කතරගම වන්දනාවේ ගියපු එක ගැන, හෝර්ටන්තැන්නේ ගියපු දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ කාලයේදී පීසීආර් පරීක්ෂණ කරන ප‍්‍රමාණය අඩුවෙලා තිබුණා. රෝගීන් ගණන අඩුවෙලා තිබුණා. මරණ ප‍්‍රමාණය අඩු වුණා. එහෙම තත්ත්වයක් තියෙද්දි නැවත වතාවක් එකපාරට මෙහෙම වැඩිවෙන්නේ කොහොමද?  ජනතාවගේ විශ්වාසය තහවුරු වන පරිදි කටයුතු කරන්න සෞඛ්‍ය අංශවලට වගකීමක් තිබෙනවා.

ඇත්ත නොකිව්වෙ ඇයි?

පසුගිය 19 වැනිදා පොලිසිය විසින් සියලුම දේශපාලන පක්ෂ කැඳවලා කිව්වා මැයි දිනය පවත්වන්න පුළුවන් ක‍්‍රීඩාංගණ වෙන්කරගන්න කියලා. නමුත් නැවත කොවිඩ් හිස ඔසවලා තිබෙනවා, ඒ නිසා මැයි දින රැළි පවත්වන්න බැහැ කියලා 20 වැනිදා හමුදාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් තිබුණු කොවිඩ් මර්දන මධ්‍යස්ථාන රුස්වීමෙදි කිව්වා. 19 හවස සහ 20 දවල් වෙනකොට රටේ සිදුවුණු වෙනස මොකක්ද? කොවිඩ් තත්ත්වය පිළිබඳව ඇත්ත සංඛ්‍යාලේඛන දීලා, ඇත්ත තත්ත්වය කිව්වා නම් ජනතාව අවුරුදු සමයේදී ගමන්බිමන් සීමාකරගන්න ඉඩ තිබුණා. දේශපාලන පක්ෂ මැයි දින පවත්වන්නේ නැතිව තමන්ගේ කටයුතු සීමා කරගන්න ඉඩකඩ තිබුණා.
මේ තොරතුරු මේ විදිහට වෙනස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ බරපතළ ප‍්‍රශ්නයක් පැනනැගිලා තිබෙනවා. සෞඛ්‍ය අංශ සහ මේ සම්බන්ධයෙන් මැදිහත් වන සියලුදෙනා ජනතාවට අඛණ්ඩව තොරතුරු ගලායන ක‍්‍රමවේදයක් ඇති කළ යුතුව තිබෙනවා. ඒ වගේම ගඟට මුට්ටි විසිකරන තරම්, ධම්මිකගේ පැණිය ප‍්‍රචාරය කරන තරම් ලෝකයම පිළිගත්ත එන්නත පිළිබඳව ආණ්ඩුව ජනතාව උනන්දු කළේ නැහැ. අපේ රටේ ජනතාවට අවශ්‍ය එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණය කඩිනමින් ගෙන්වාගන්න ආණ්ඩුව කටයුතු කළේ නැහැ. එන්නත් සුළු ප‍්‍රමාණයක් පමණයි ගෙන්වාගන්න පුළුවන් වුණේ. ඒ ගෙනැත් දෙවැනි මාත‍්‍රාව ලබාදීම ගැන සැලකිලිමත්කමක් තිබුණේ නැහැ. කොවිඩ් සමග වැඩි වශයෙන් ගැටෙන සෞඛ්‍ය සේවකයන් සඳහාවත් මෙම එනනත් මාත‍්‍රා දෙක වෙන්කර තබන්නට ආණ්ඩුව කටයුතු කළේ නැහැ. එන්නත් ලබාදීම පිළිබඳ ක‍්‍රමවත් සැලැස්මක් ආණ්ඩුවට තිබිය යුතුයි.’

පුපුරායෑමක් ගැන දිගටම කිව්වා

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය,
‘කොවිඩ් අලුත් රැල්ලක් ඇතිවෙලාද, එහෙම නැත්නම් අලුත් ප‍්‍රවණතාවක් එනවද වගේ සාකච්ඡා ඇතිවෙමින් තිබෙනවා. ලංකාවෙ කොවිඩ් පාලනය කළා කියලා සෞඛ්‍ය ඇමතිනිය දවසක් කිව්වා. පසුව එවැනි ප‍්‍රකාශ කිහිපයක්ම නිකුත් වුණා. නමුත් කොවිඩ් පාලනය කරලා නෙමෙයි තියෙන්නේ. කොවිඩ් පරීක්ෂා කිරීමේ ක‍්‍රියාවලිය නිවැරදිව සිදුවෙන්නෙ නැහැ. ඒ නිසා ආසාදිතයෝ හමුවෙන්නෙ නැහැ. කිසියම් වෙලාවක එහි පුපුරායෑමක් ඇතිවෙයි කියලා අපි ඒ දිනවලත් දිගින්-දිගටම කිව්වා. අවාසනාවකට අපි ඒ කියපු දේවල් ඇහුවෙ නැහැ.
දවසින්-දවස කොවිඩ් අඩු වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. කොවිඩ් කියන්නෙ බරපතළ දෙයක් නෙමෙයි කියන දේ මහජනතාවටත් අනියම් පණිවුඩයක් ලෙස නිකුත් වුණා. එහි ප‍්‍රතිඵලය නරක විදිහට බලපෑවා. අපි මේ ගැන ලංකාවේ සංචාරය කරලම බැලුවා. අවුරුදු සමය තුළ මිනිස්සු කටයුතු කළ ආකාරය අනුව මෙවැනි වසංගතයක් තිබෙනවා කියන හැඟීම ලංකාවෙ කිසිම තැනක තිබුණෙ නැහැ. මේ රෝගය මෙතරම් වර්ධනය වෙන්න එය හේතුවක්.

අත්තනෝමතික ක්‍රියාවලියක්

වසංගත රෝග අංශය දැඩි අත්තනෝමතික ස්වභාවයකින් මේ සමාජ ව්‍යාප්තිය සිදුවෙලා නැහැ කියන දේ දිගින්-දිගටම කියන්න ගත්තා. මේ නිසා විද්‍යාත්මක ආවේක්ෂණ ක‍්‍රියාවලියකට යන්න පුළුවන්කමක් අපිට තිබුණේ නැහැ. ඒ මොකද සමාජ ව්‍යාප්තියක් නොවුණු රෝගයක පීසීආර් පරීක්ෂණ සිදුකරන ආකාරය සහ සමාජ ව්‍යාප්තියක් සිදුවුණු රෝගයක පීසීආර් පරීක්ෂණ සිදුකරන ආකාරය අතර වෙනසක් තිබෙනවා. නමුත් එය අනුගමනය කළේ නැහැ. මේ නිසා දැන් අපි අහඹු පරීක්ෂණවලින් ලැබෙන ප‍්‍රතිඵල ගැන අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම විද්‍යාත්මක ආවේක්ෂණ ක‍්‍රියාවලියක් නැතිව රට ඇතුළේ රෝගය තිබෙන ආකාරය කියන්න බැහැ.
එහෙම පරීක්ෂණ නොකරපු නිසා රෝගය විශාල ප‍්‍රමාණයකින් රට ඇතුළේ ව්‍යාප්ත වුණාට පසුව තමයි වාර්තාවීම් වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෛරසය ගැන අපි මෙච්චර කාලයක් විශ්වාස කරපු කතා ඇත්ත නම්, මේ වෙලාවේ බරපතළ රෝගීන් ප‍්‍රමාණයක් රට ඇතුළෙ ඉන්නවා. වෛරසය මේ වෙලාවෙ අලුත් ප‍්‍රභේද හදනවා, විකෘති හදනවා, භයානකකම වැඩිවෙලා තිබෙනවා. බෝවීමේ ප‍්‍රවණතාව වැඩිකරලා තිබෙනවා. මෙහෙම තියෙද්දි රෝගය පාලනය වෙනවා වගේ දෙයක් හිතන්න තරම් අපිට හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම විශාල රෝගීන් ප‍්‍රමාණයක් සිටිය යුතුයි. ඒ රෝගීන්ගෙන් කිහිපදෙනෙක් පමණයි සංකූලතා ඇතිකරන්නේ. ඒ නිසා රට ඇතුළේ පොකුරු විදිහට රෝගීන් ඇතිවිය හැකියි.’
Previous articleප්‍රවෘත්ති සංස්කාරක ඉවත් කිරීම : විනය පරීක්ෂණයක් නෑ – හිරු නීතිඥ පිළිගනී !
Next articleපාස්කු ප්‍රහාරය : ශානි අත්අඩංගුවට ගත් සැකකරු බුද්ධි අංශයෙන් රැගෙන ගියේ ඇයි ? – මනූෂ නානායක්කාර

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here