පාස්කු ප්‍රහාරය : විමර්ශකයන්ට ස්වාධීනව වැඩ කරන්න ජනාධිපතිතුමා පහසුකම් සපයලා තියෙන්නෙ – අගමැති

අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ කුරිරු ප්‍රහාරයේ වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙනඒමට දැනටමත් කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එවන් අවාසනාවන්ත තත්ත්වයක් නැවත කිසිදිනක ඇති නොවීමට රජයක් ලෙස සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද හෙතෙම කීවේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (21) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය මෙසේය.
“කථානායකතුමනි, අද අපි මීට වසර දෙකකට පෙර එනම් 2019 අප්‍රේල් 21 පාස්කු දිනයේ ලංකා ඉතිහාසයේ ඇති වූ අඳුරුතම දිනයක දෙවන අනුස්මරණය ඉතා සංවේගයෙන් සමරනවා. එදා පාස්කු ඉරු දින දේව මෙහෙයන්ට සහභාගී වූ අහිංසක ජනතාව ඇතුළු 259 ක් මරුමුවට පත්කරමින් සහ සිය ගණනකට තුවාල සිදු කරමින් එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ මාලාව හේතුවෙන් මියගිය දෙස් විදෙස් ආදරණීය ජනතාව අපි ඉතා සංවේගයෙන් සිහිපත් කරන ගමන් එසේ මියගිය කිතුණුවන්ගේ  ආත්මයන්ට ස්වර්ගීය සැනසීමත්,  අනෙකුත් ජනතාවට ඔවුන් බලාපොරොත්තු වන අයුරින් සැනසීම අත් වේවායිත් ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම එදා තුවාල වූ ආබාධිත වූ සිය ගණනක් ජනතාව අදත් ශාරීරිකව හා මානසිකව පීඩා විඳිනවා ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.  එසේම මිය ගිය සහ ආබාධිත වූ තුවාල වූ සියළු දෙනාගේ පවුල් වල සාමාජිකයන් වෙත අපගේ බලවත් සංවේගය පුද කරනවා. ඒ වගේම පාස්කු කොමිසම මගින් හෙළිදරව් කරගත් තොරතුරු අනුව සකස් කළ වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් ගරු නීතිපතිතුමා වෙත යොමුකර තිබෙනවා.අධිකරණ ක්‍රියාමාර්ග කෙරෙහි අප මැදිහත්වීමට කටයුතු නොකළත් එම ක්‍රියාමාර්ග සාර්ථක කරගැනීමට අවශ්‍ය  ඕනෑම සහයක් ලබාදීමට අප රජයක් හැටියට සූදානම් බව කියන්න කැමතියි.
එසේම කොමිෂන් සභාවට අමතරව ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන කටයුතු මේ වන විට ඉතාම ස්වාධීනව සිදුකරගෙන යාමට අවශ්‍ය පහසුකම් ජනාධිපතිතුමා විසින් සලසාදී තිබෙනවා. ඒ පරීක්ෂණ අවසානයේ ඒ ඒ දෙපාර්තමේන්තු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදි කටයුතු කරයි කියල අපට විශ්වාසයි.
පසුගිය රජය විසින් සිදුකළ සාපරාධී නොසලකා හැරීම්  හා මග හැරීම් සහ ජාතික ආරක්ෂාව සහ තමන්ගේ දේශපාලන කටයුතු පටලවා ගැනීමෙන් අවසානයේ වන්දි ගෙවීමට සිදුවනේ අහිංසක ජනතාවට. අදත් එම ප්‍රහාරයට වගකිව යුතු කොට්ඨාශ විවිධ බොරු සමාජ ගත කරමින්, විමර්ශනවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිසාවකට යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා. අපි එම පිරිස පිළිබදව කණගාටු වෙනවා. ඊට අමතරව  ඒ මියගිය සියළු දෙනාම මේ මොහොතේ සිහිපත් කරන අතරම එවන් අවාසනාවන්ත තත්ත්වයත් යළි කිසිදා ඇති නොවීමටත් අප රජයක් හැටියට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඒ වගේම මෙම කුරිරු ප්‍රහාරයේ වගකිවයුතු සියලුදෙනාම නීතිය හමුවට ගෙන එන්නත් අප කටයුතු කරන බවට අවසාන වශයෙන් කියන්න කැමතියි.” ලෙස ද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Previous articleසූරියවැව අරගලයෙන් ලැබුණු අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රයට සියලු රෝග නිවාරණය කළ හැකිද ?
Next articleප්‍රවෘත්ති සංස්කාරක ඉවත් කිරීම : විනය පරීක්ෂණයක් නෑ – හිරු නීතිඥ පිළිගනී !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here