සූරියවැව අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රය : ඇමති අත්සන් කොට මුද්‍රණයට යවයි !

හම්බන්තොට, සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කෙරෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර Medialk වෙත තහවුරු කළේය.
ඊට අදාළව සකස් කළ නිවේදනයට විෂය බාර රාජ්‍ය ඇමති විමලවීර දිසානායක අත්සන් කළ බවත්, එය රජයේ මුද්‍රණාලය වෙත යැවූ බවත් අප කළ විමසීමේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මතදී පසුගිය ජනවාරි 18 වැනිදා ගොවි සංවිධාන 84 ක් ඒකාබද්ධව සත්‍යග්‍රහයක් ද ආරම්භ කරන ලදි. ඉන්පසු ජනවාරි 20 වැනිදා ගොවීන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද අතර, ජනවාරි 23 වැනිදා එය අවසාන කරන ලදි. ඒ මේ අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ වන ඉඩම්වලින් බහුතරයක් අයත් වන මහවැලි විෂය භාර කැබිනට් ඇමති චමල් රාජපක්ෂ විසින් මේ ගැටළුව මාසයක් තුළ විසදන බවට පොරොන්දුවක් ලබාදීමෙන් පසුව ය.
එහෙත් ගොවීන් සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන ආ අතර, අද (11) එම සත්‍යග්‍රහයේ 83වන දිනය සනිටුහන් කරයි.
ඉකුත් පෙබරවාරි 22 වැනිදා ගොවීන් අගමැති මහින්ද රාජපක්ෂ සහ වනජීවී විෂය භාර කැබිනට් ඇමති සී.බී.රත්නායක මුණගැසී මීට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන ලෙස බලකරන ලදි. ඉන්පසු එදින පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට සී.බී.රත්නායක ඇමතිවරයා විසින් මීට අදාළ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, එය සම්මත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
එහි මෙසේ සඳහන් විය..
“හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සිදුවෙමින් පවතින වේගවත් සංවර්ධන ව්‍යාපෘති සමග වන අලි ඇතුළු අනෙකුත් වන ජීවීන්ගේ වාසස්ථාන හා සංක්‍රමණ මාර්ගවලට දැඩි ලෙස බලපෑම් ඇතිවෙමින් පවතී. මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල අලි මිනිස් ගැටුම් දිනෙන් දින උග්‍රවෙමින් පවතින අතර ඊට පිළියමක් වශයෙන් වන අලින්ගේ සංක්‍රමණ මාර්ග විහිදී ඇති ආකාරය පර්යේෂණ මගින් තහවුරු කර ගෙන වන අලින් සහ අනෙකුත් ජීවින් සදහා වන අලි කළමනාකරණ රක්ෂිතයක් ප්‍රකාශයට පත් කිරීමට වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය මූලික පියවර ගනු ලැබ ඇත. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් හෙක්ටයාර 23,746.55ක භූමියක් යෝජිත රක්ෂිතය සදහා හදුනාගෙන ඇත. ඒ සදහා අවශ්‍ය මාර්ගෝපදේශ හා රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එකගත්වය මත කෙටුම්පත් කරනු ලැබ ඇත. එකී ගැසට් නිවේදනය සදහා නීති කෙටුම්පත් සම්පාදකගේ එකගතාව ලබා ගැනීමෙන් අනතුරුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට වාර්මාර්ග අමාත්‍යතුමා හා වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.“
මේ වනවිටත් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිත භූමියෙන් විශාල කොටසක කෙසෙල්, අඹ වැනි වගා පවත්වාගෙන යන අතර, ඒවා පවත්වාගෙන යනු ලබන්නේ ප්‍රදේශයේ ගොවීන් නොවේ. පිටස්තර ප්‍රදේශවලින් පැමිණි පිරිස් අක්කර 50, 100 සහ 150 වැනි කොටස්වල විදුලි වැටවල් යොදා මේ වගාවන් පවත්වාගෙන යන අතර, එම ප්‍රදේශයේ ගල් වළවල් 13ක් ද පවත්වාගෙන යනු ලබයි.
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම දිගින්-දිගටම ප්‍රමාද කිරීමට හේතු වී ඇත්තේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීපතමයන් විසින් ඊට අදාළ ඉඩම් නීතිවිරෝධී ලෙස සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදාගැනීම බව MediaLK කළ විමර්ශනයකදී අනාවරණය විය.(එම වාර්තාවට මෙතැනින්..)
මේ අතර ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් සිදු කළේය.
එම පැමිණිල්ල අනුව, හම්බන්තොට යෝජිත වන අලි රක්ෂිත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කෙරෙන පරිසර හානිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තා ලබාදෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ආයතන අටක නිලධාරීන්ට දැනුම් දුන්නේය.
පරිසර අමාත්‍යංශ ලේකම්, වනජීවී සංරක්ෂක ජනරාල්, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්,මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති,ශ්‍රී ලංකාවේ මහවැලි අධිකාරියේ සභාපති සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන බලධාරීන්ට මෙම දැනුම්දීම සිදුකර තිබිණි.
හම්බන්තොට යෝජිත වන අලි රක්ෂිත ප්‍රදේශයේ මහා පරිමානයෙන් කෙරෙන පරිසර හානි නතර කර ගැනිම සඳහා මැදිහත් වන ලෙසට ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිට තිබිණි.(එම පුවතට මෙතැනින්)

 

Previous articleනැගෙනහිර වෙරළ : ඇමැති නොදත් සමාගම දත් උමා ඔය පන්නයේ ඛනිජ වැලි බිස්නස් !
Next articleකබ්රාල් – පීබී ගැන විමර්ශනයක් අවශ්‍යයි : නීතිපතිට-පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here