හම්බන්තොට අලි රක්ෂිතයේ පරිසර හානි ගැන මානව හිමිකම් කොමිසම ආයතන 8කින් වාර්තා කැඳවයි

හම්බන්තොට යෝජිත වන අලි රක්ෂිත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කෙරෙන පරිසර හානිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තා ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ආයතන අටක නිලධාරීන්ට දැනුම් දී තිබේ.
පරිසර අමාත්‍යංශ ලේකම්, වනජීවී සංරක්ෂක ජනරාල්, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්,මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති,ශ්‍රී ලංකාවේ මහවැලි අධිකාරියේ සභාපති සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන බලධාරීන්ට මෙම දැනුම්දීම සිදුකර තිබේ.
මෙම දැන්වීම 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ බලතල ප්‍රකාරව සිදුකර ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ බව දන්වා ඇත්තේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අදාළවය.
හම්බන්තොට යෝජිත වන අලි රක්ෂිත ප්‍රදේශයේ මහා පරිමානයෙන් කෙරෙන පරිසර හානි නතර කර ගැනිම සඳහා මැදිහත් වන ලෙසට ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම පැමිණිල්ල සිදු කර තිබිණි.
හම්බන්තොට වන අලි රක්ෂිතයක් ස්ථාපිත කිරීම සඳහා පසුගිය මාසයේ දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.ඊට අදාළ ප්‍රදේශවල මහා පරිමාණයෙන් පරිසරය විනාශ කිරීම් සිදු සිදුවන බව එම ප්‍රදේශවල කළ සංචාරයේදී දැක ගැනීමට හැකි වූ බවත් මහා පරිමාණයෙන් කරන ගල්කැඩීම්, පස් කැපීම් සහ කැලෑ කැපීම් ද, වැව් රක්ෂිත සුද්ද කිරීම් සහ ඉඩම් අත්පත්කර ගැනීම් ද බහුලව සිදුවන බැවින් මෙම නීති විරෝධී ක්‍රියා නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැමිණිල්ලෙන් ඉල්ලා සිටී.දිනෙන් දින මහා පරිමාණයෙන් වන විනාශය සිදුවන බැවින් මේ සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස ද ඉල්ලා ඔවුහු ඉල්ලා සිටිති.
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මතදී පසුගිය ජනවාරි 18 වැනිදා ගොවි සංවිධාන 84 ක් ඒකාබද්ධව සත්‍යග්‍රහයක් ද ආරම්භ කරන ලදි. ඉන්පසු ජනවාරි 20 වැනිදා ගොවීන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද අතර, ජනවාරි 23 වැනිදා එය අවසාන කරන ලදි. ඒ මේ අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ වන ඉඩම්වලින් බහුතරයක් අයත් වන මහවැලි විෂය භාර කැබිනට් ඇමති චමල් රාජපක්ෂ විසින් මේ ගැටළුව මාසයක් තුළ විසදන බවට පොරොන්දුවක් ලබාදීමෙන් පසුව ය.
එහෙත් ගොවීන් සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන ආ අතර, අද(30) එම සත්‍යග්‍රහයේ 71 වන දිනය සනිටුහන් කරයි. නමුත් මෙතෙක් ගැටළුව විසඳී නැත.
ඉකුත් පෙබරවාරි 22 වැනිදා ගොවීන් අගමැති මහින්ද රාජපක්ෂ සහ වනජීවී විෂය භාර කැබිනට් ඇමති සී.බී.රත්නායක මුණගැසී මීට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන ලෙස බලකරන ලදි. ඉන්පසු එදින පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට සී.බී.රත්නායක ඇමතිවරයා විසින් මීට අදාළ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, එය සම්මත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
එහි මෙසේ සඳහන් විය..
“හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සිදුවෙමින් පවතින වේගවත් සංවර්ධන ව්‍යාපෘති සමග වන අලි ඇතුළු අනෙකුත් වන ජීවීන්ගේ වාසස්ථාන හා සංක්‍රමණ මාර්ගවලට දැඩි ලෙස බලපෑම් ඇතිවෙමින් පවතී. මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල අලි මිනිස් ගැටුම් දිනෙන් දින උග්‍රවෙමින් පවතින අතර ඊට පිළියමක් වශයෙන් වන අලින්ගේ සංක්‍රමණ මාර්ග විහිදී ඇති ආකාරය පර්යේෂණ මගින් තහවුරු කර ගෙන වන අලින් සහ අනෙකුත් ජීවින් සදහා වන අලි කළමනාකරණ රක්ෂිතයක් ප්‍රකාශයට පත් කිරීමට වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය මූලික පියවර ගනු ලැබ ඇත. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් හෙක්ටයාර 23,746.55ක භූමියක් යෝජිත රක්ෂිතය සදහා හදුනාගෙන ඇත. ඒ සදහා අවශ්‍ය මාර්ගෝපදේශ හා රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එකගත්වය මත කෙටුම්පත් කරනු ලැබ ඇත. එකී ගැසට් නිවේදනය සදහා නීති කෙටුම්පත් සම්පාදකගේ එකගතාව ලබා ගැනීමෙන් අනතුරුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට වාර්මාර්ග අමාත්‍යතුමා හා වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.“
මේ වනවිටත් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිත භූමියෙන් විශාල කොටසක කෙසෙල්, අඹ වැනි වගා පවත්වාගෙන යන අතර, ඒවා පවත්වාගෙන යනු ලබන්නේ ප්‍රදේශයේ ගොවීන් නොවේ. පිටස්තර ප්‍රදේශවලින් පැමිණි පිරිස් අක්කර 50, 100 සහ 150 වැනි කොටස්වල විදුලි වැටවල් යොදා මේ වගාවන් පවත්වාගෙන යන අතර, එම ප්‍රදේශයේ ගල් වළවල් 13ක් ද පවත්වාගෙන යනු ලබයි.
හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම දිගින්-දිගටම ප්‍රමාද කිරීමට හේතු වී ඇත්තේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීපතමයන් විසින් ඊට අදාළ ඉඩම් නීතිවිරෝධී ලෙස සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදාගැනීම බව MediaLK කළ විමර්ශනයකදී අනාවරණය විය. (MediaLK කළ ⁣සම්පූර්ණ වාර්තාව මෙතැනින්)
2009 වසරේ සිට මේ රක්ෂිතය ප්‍රකාශයට පත්නොකර, ජනතාව දැඩි පීඩාවට පත් කිරීමට දේශපාලනඥයෝ කටයුතු කරමින් සිටිති. මෙවර ද මහවැලි විෂය භාර කැබිනට් ඇමැති චමල් රාජපක්ෂ විසින් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය මාසයක කාලයක් තුළ ගැසට් කරන බවට පොරොන්දු වූවද මෙතෙක් එම ගැසට් නිවේදනය නිකුත් වී නොමැත.
Previous articleකවි පොතක් ලීවාට අත්අඩංගුවට ගත් තරුණයාගේ ජීවිත ආරක්ෂාව සහතික කරන්නැයි ඉල්ලති
Next articleපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ලක්ෂ 500ක මූල්‍ය වංචාවක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here