කබ්රාල් – පීබී ගැන විමර්ශනයක් අවශ්‍යයි : නීතිපතිට-පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමක් !

රජයේ දේපොළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා නුගේගොඩ, නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහ බැංකු අධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය ඉහළ නැංවීමට බව පවසමින් 2014 වසරේදී එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අමාත්‍ය මණ්ඩලයේ හෝ රජයේ අනුමැතියක් නොමැතිව සීඅයිඒ සංවිධානයේ  නියෝජිතයකු වන ඉමාඞ් ෂා සුඛේරි නැමැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවා තිබෙන බවට තොරතුරු හෙළිවී ඇතැයි පෙත්සමේ සදහන් වෙයි. හෙජින් ගිවිසුම තුළින් ද විශාල පාඩුවක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
එමෙන්ම ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාද රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් කමිටුව මගින්  චෝදනා එල්ල වූ අයකු බව ද ඔහුට රාජ්‍ය තනතුරක් දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මීට පෙර තීන්දුවක් ලබා දී තිබූ බවද එම පෙත්සම මගින් පෙන්වා දී තිබේ.
රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම, ලංකා රෝහලේ කොටස් අලෙවි කිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් කමිටුව මගින් ආචාර්ය පීබී ජයසුන්දර මහතා වෙත චෝදනා එල්ල කර තිබූ බව එහිමියන් පෙත්සමේ සදහන් කර ඇත.
ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට හා ජනාධිපති ලේකම්වරයාට එරෙහිව පවතින පොදු දේපල අයථා පරිහරණය, සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ට එරෙහිව වහාම නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් තීනියාවල පාලිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා තිබේ.
Previous articleසූරියවැව අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රය : ඇමති අත්සන් කොට මුද්‍රණයට යවයි !
Next articleසූරියවැව අරගලයෙන් ලැබුණු අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රයට සියලු රෝග නිවාරණය කළ හැකිද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here