පාස්කු ප්‍රහාරය : බුද්ධි තොරතුර⁣ට අනුව සැලසුමක් සකස් කර තිබුණේ නෑ – පූජිත

(හසරිඳු රාජපක්ෂ)

ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම විසින් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කළ හැකි බවට 2019 අප්‍රේල් මස 9 වැනිදා ලැබුණු තොරතුරු අනුව එවැනි සිදුවීමකට මුහුණදීම සඳහා අවශ්‍ය සැලසුමක් සකස් නොකළ බව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පැවසීය.

 

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

පොලිසිය හරහා ක්‍රියාත්මක වන හදිසි ආරක්ෂක සැලැසුමක් තිබේද යන්න නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ පොලිස් ස්ථාන වශයෙන්, කොට්ටාස වශයෙන් සහ ජාතික මට්ටමෙන් ක්‍රියත්මක වන ආරක්ෂක සැලසුම් තිබෙන බවයි.

යම්කිසි අවස්ථාවකදී හදිසි අවස්ථාවක් බව රජය නිවේදනය කරන්නේ නම් ඒ අනුව අදාල සැලැස්ම ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.
එම සැලසුම ක්‍රියාත්මක වන්නේ කුමන ස්ථානයකින්ද යන්න කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ජයසුන්දර මහතා පැවසුවේ මිරිහාන පිහිටි පොලිස්පති අණදෙන නිල මැදිරිය හරහා ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම පොලිස් ස්ථාන දැනුවත් වන පරිදි අදාළ සැලසුම ක්‍රියාත්මක කිරීමට පහසුකම් ඇති බවයි.

එසේ නම් අප්‍රේල් 21 වැනිදා අනිවාර්යෙන්ම ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා දැනුම් දී තිබියදීත් එම සැලසුම ක්‍රියාත්මක නොකළේ මන්ද යන්න කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ඔහුගෙන් විමසීය. එයට පිළිතුරු දෙමින් ජයසුන්දර මහතා පැවසුවේ අදාළ තොරතුර ලැබෙන අවස්ථාවේ ඔහු සිටියේ සිය නිල නිවසේ බවයි. “මම ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුවත් කරන්න පියවර  ගත්තා” යැයි ජයසුන්දර මහතා සඳහන් කළේය.

මේ අතර 2019 අප්‍රේල් මස 21 වැනිදා උදැසන ඔහු සිටියේ කොහෙද යන්න විමසු අවස්ථාවේ ඔහු පැවසුවේ එදිනද තමන් සිය නිල නිවසේ සිටි බවයි. නිල නිවසේ සිටීම වෙනුවට පොලිස්පති අණදෙන මැදිරියට ගොස් ඒ පිළිබඳව යම්කිසි පියවරක් ගැනීමට ඔබට සිතුනේ නැතිදැයි කොමිෂන් සභාවේ සාමාජිකයෙක් එහිදී විමසු අතර එයට පිළිතුරු වශයෙන් හිටපු පොලිස්පතිවරයා පැවසුවේ අදාළ තොරතුර පිළිබඳව අවශ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන ලෙස තමන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබාදුන් බවයි.

එමෙන්ම සංචාරක හෝටල් වලට ප්‍රහාරයක් එල්ල විය හැකි බව තමන්ට දැනුම් නොදුන් බවද ජයසුන්දර මහතා පැවසීය. “ජයවර්ධන කිව්වේ 20 වැනිදා ලැබුණ තොරතුර ඊට කලින් ලැබුණු තොරතුරුවල සංවර්ධිත එකක් කියලා. හෙට බරපතල සිදුවීමක් වෙන්න පුළුවන්  කිව්වා” යැයි ජයසුන්දර මහතා සඳහන් කළේය.

මේ අතර අදාළ තොරතුර පිළිබඳව පැහැදිලි කරගැනීමට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා සහ අනිකුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවා 20 වැනිදා රාත්‍රියේ හෝ සාකච්ඡා නොකළේ මන්ද යන්න කොමිෂන් සභාවේ සභාපති විනිසුරුවරයා ජයසුන්දර මහතාගෙන් විමසුවේය.

“එතකොට ඒ වෙලාවේ හදිසි අවස්ථාවක්නම් අදාළ තැන්වලට නිලධාරින් යවන එක විතරයි කරන්න පුළුවන්. සාකච්ඡා කරන්න කාලයක් තිබුණේ නැහැ. දුර ඉන්න නිලධාරින් සාකච්ඡාවලට ගෙන්නනත් බැනේ ඒ වෙලාවේ. ඒ වෙද්දි බෝම්බකාරයෝ ස්ථාන ගතවෙලත් ඉවරනේ අපි දැනගෙන හිටියේ නැති වුණාට. ” යැයි හෙතෙම පැවසීය.

අදාළ තොරතුර පිළිබඳව පොලිස්පති නිල මැදිරිය භාරව සිටි අධ්‍යක්ෂවරයා විසින් පොලිස් ස්ථාන දැනුවත් කළ යුතුව තිබු බවද ජයසුන්දර මහතා කීවේය.

වසර ගණනාවක සිට රාජ්‍ය බුද්ධි සේවය විසින් විවිධ තොරතුරු ලබා දී තිබියදීත් පොලිසිය ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැතැයි පෙනීයන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසු අවස්ථාවේ ජයසුන්දර මහතා සඳහන් කළේ එය නිවැරදි නොවන බවයි.

“අපිට රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබෙන තොරතුරු පිළිබඳව නැවත නැවත අහන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ තිබුණ දේශපාලන තත්ත්වයත් එක්ක මාව ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වෙත් නෑනේ. මාස 6කට වැඩි කාලයක් එහෙමයි වුණේ. නමුත් සිද්ධිය වුණාට පස්සේ වැරදිකාරයෝ වුණේ පොලිස්පති හා ආරක්ෂක ලේකම්. දේශපාලන පරිසරාත්මක රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුවේ ගැටලු තමයි මේවට බලපැවේ,” යැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Previous articleජාලිය සේනාරත්න පීඒ තනතුරකට : අජිත් රෝහණ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩ බැලීමට
Next articleහලාවත උසස්පෙළ සිසුවා ගැන මාධ්‍ය ගෙනගිය බොරුව : අසත්‍ය රූපරාමුත් යොදාගෙන

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here