හලාවත උසස්පෙළ සිසුවා ගැන මාධ්‍ය ගෙනගිය බොරුව : අසත්‍ය රූපරාමුත් යොදාගෙන

නිලූක සඳුන් පද්මසිරි

හලාවත ප්‍රදේශයේ උසස් පෙළ සිසුවකුට කොරෝනා බවට පසුගිය දිනවල ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් ගෙන ගිය අසත්‍ය ප්‍රචාර නිසා එම සිසුවා මෙන්ම ඔහුගේ පවුලේ උදවිය සහ අසල්වාසීන් අපහසුතාවට පත් වූ බව ඔහුගේ ඥාති සහෝදරයෙකු Medialk.com වෙත පැවසීය.

මේ හේතුවෙන් එම සිසුවාගේ මෙන්ම සිය පවුලේ උදවියගේ මානසික තත්ත්වය කඩා වැටුණා පමණක් නොව අසල්වාසීන්ගේ පවා මානසික තත්ත්වය කඩා වැටුණු බව ඔහු  කීවේය.තම සහෝදරයාට කොරෝනා නොමැති බවට පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වෙද්දි මාධ්‍ය මගින් ඔහු කොරෝනා රෝගියකු ලෙසට ලේබල් කර අවසන් බව ද ඔහු සඳහන් කළේය.

ඊයේ (11) සවස තම ඥාති සහෝදරයා නැවත නිවස වෙත පැමිණි බව ද පීසීආර් වාර්තා ඍණාත්මක වූ නමුත් ඔවුන් තවදුරටත් නිවසට වී ස්වයං නිරෝධායනය වන බව හෙතෙම පැවසීය.

කිසිම සොයා බැලීමකින් තොරව  අසත්‍ය රූපරාමු සහ අසත්‍ය විස්තර ඇතුළත් කර එම මාධ්‍ය වාර්තා සිදුකර තිබූ බවත් ඉන් සමාජයට බොරු පණිවිඩයක් ගොස් ඇති බයත් මෙවන් ව්‍යසනයකදී වුව බොරු සමාජ ගත කිරීම පිලිකුල් සහගත බවත් ඔහු පෙන්වා දෙයි.

මෙලෙස මිනිස්සුන් අසරණ නොකරන්නැයි ද ඔහු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

ඔහු මෙසේ පැවසීය

” ඒ මගේ ඥාති සහෝදරයෙක්. අපේ නිවසත් ඔහුගේ නිවසත්.එක ළඟ වගේ තියෙන්නේ. ඔහු උසස්පෙළ ගණිතය සඳහා ගම්පහ පන්ති යන්නේ.මල්ලිට කොහොමත් සෙම තිබ්බා. හෙම්බිරිස්සාව වගේ තිබ්බ නිසා බේත් ගන්න ගියා. එතකොට ඒ ඩොක්ටර් කිව්වා ගම්පහත් පන්ති යන නිසා කෝකටත් පීසීආර් එකක් කරමු නේද කියලා. හලාව⁣ත රෝහලෙන් පීසීආර් එකක් කළා. අපි හිතුවේ පීසීආර් කරලා මල්ලිව තියාගනියි කියලා. නමුත් පීසීආර් කරලා මල්ලිව ආපහු එව්වා. අපි ඩොක්ටර්ගේ උපදෙස් මත පීසීආර් කළා මිසක් වෙන කවුරුත් අපිව හොයාගෙන ඇවිත් පීසීආර් කළා නෙවෙයි. වෛද්‍ය උපදෙස් මත අපියි කැමති වුණේ කරන්න.

මම වැඩට ඇවිත් ඉද්දි තමයි මට කෝල් එක ආවේ. මල්ලිට පොසිටිව්. ඉක්මණින් ගෙදර එන්න කියලා. පීඑච්අයිලා ඇවිත් සද්දෙට මල්ලිව අරගෙන ගියා. ගමම දැනගත්තා. අපිටත් එහෙට එන්න එපා කිව්වා. පස්සේ ළඟ ගෙවල් වල අයටත් අපිටත් නිරෝධායනය වෙන්න කිව්වා. බෝඩ් ගැහුවෙි නෑ. ගෙදරට වෙලා ඉන්න කිව්වා. අපෙත් මානසිකත්වය අවුල් ගියා. අහල පහළ අයත් බය වුණා. ඒක සාධාරණයි.

මීඩියාවලට ලොකුවට ගියා මල්ලිට කොරෝනා කියලා. ෆේස්බුක් එකෙත් ගොඩක් Share වුණා. ඒවා දැක්කම අපිවත් අවුල් ගියා. මීඩියා ලොකු බොරුවක් ක⁣ළේ. මීඩියාවලින් නිකම්වත් අපෙන් ඇහුවේ නෑ. අනික එයාලා දාලා තිබ්බ පොටෝ ඔක්කොම බොරු. අපේ ගෙවල්වලවත් මල්ලිගේ ගෙදරවත් පොටෝ නෙමෙයි. වෙන කාගේ හෝ ගෙදරක සහ කට්ටියගේ පොටෝ වීඩියෝ තමයි ගියේ. ඒවත්.එක්ක මල්ලිගේ විස්තර තමයි කිව්වේ. මේවා දැකල අපෙන් කට්ටිය ඇහුවා ඇයි අපි බොරු කරන්නේ කියලා. අපේ ගෙවල් නැතුව වෙන ගෙවල්වල පොටෝ දාන්නේ ඇයි කියලා අපෙන් ඇහුවා. මීඩියා නිකම්වත් අපෙන් ඇහුවේ නෑ මේක ගැන.

නමුත් පස්සේ මල්ලිගේ තවත් පීසීආර් එකක් අනුරාධපුරයට යවලා පරීක්ෂා කරලා තිබුණා. ඒක නෙගටිව් වෙලා. ඉස්පිරිතාලෙන් කිව්වේ නෑ. මල්ලිට දීලා තිබ්බ පෝන් එකෙන් තමයි මලිල් අපිට දැනුම් දුන්නේ. හැබැයි ඉස්පිරිතාලෙ අය මල්ලිට හොඳින් සලකලා තිබ්බා. ඒකට ස්තූතිවන්ත වෙන්න ඕනේ. නමුත් පීඑච්අයි තියා කවුරුත් ආවේ නෑ. මොකද මල්ලිට නෙගටිව් නිසා අවුලක් නෑ කියලායි තිබ්බේ. නෙගටිව් නිසා අපිට නිරෝධායනය වෙන්න කිව්වේ නැතිවට අපි ගෙදරටම වෙලා හිටියා. තාමත් ගෙදර අපි එලියට යන්නේ නැ. මොකද ඒක කාටත් හොද නිසා. නෙගටිව් වුණාට පස්සේ පීඑච්අයිලා කවුරුත් ඇහුවේ නෑ අපිට කැස්ස තියෙනවාදවත් කියලා.

මල්ලි එකක ගම්පහ පන්ති ගිය අයගෙත් පීසීආර් කරලා තිබ්බා. ඒ අයත් නෙගටිව් නිසා අපිත් හිත හදාගත්තා. මේ වගේ තත්ත්වයකදී මිනිස්සු බය වෙනවා. එයාල හැසිරෙන විදිය වෙනස් වෙනවා. නමුත් උදව් කරපු අයත් හිටියා. මල්ලි වැඩිය දඟලන කෙනෙක් නෙවෙයි. ගෙදරට වෙලා ඉන්න කෙනෙක්.දැන් අපිට නෝමල්. ඒත් අපි කොහෙවත් යන්නේ නෑ. අපි ගෙදරට වෙලා ඉන්නවා. කාගෙත් යහපතට. ඊටපස්සේ පීඑච්අයි ආවෙත් නෑ.”

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසූවේ දෙවැනි පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා ආසාදනය වී නැති බවට තහවුරු වු බවයි.

කොරෝනා ආසාදනය වී ඇති බවට පළමු පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූවද එය තහවුරු කරගැනීමට දෙවැනි පරීක්ෂණයක් ද කරන බව ඔහු පැවසීය.

දෙවැනි පරීක්ෂණය ඍණාත්මක වුවහොත් පළමු පරීක්ෂණය වැරදි බවට නිගමනය වන බව ද එවිට එම ⁣පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැති බවට තහවුරු කෙරෙන බව ද එම ඔහු කීවේය.

පීසීආර් පරීක්ෂණයේ නිරවද්‍යතාව 70% නිසා මෙලෙස දෙවරක් හෝ තෙවරක් එම පරීක්ෂණය සිදුකරන බවත් එම පරීක්ෂණ සලකා බලා කොරෝනා ආසාදිත ද නැතිද යන්න නිගමනය කරන බවත් හෙතෙම සඳහන් ක⁣ළේය.

යම් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු ගිලන් රථයකින් නිරෝධායන හෝ හුදකලා මධ්‍යස්ථානයකට ගෙන යන විට වීඩියෝ කිරීම හෝ පින්තූර ගැනීමෙන් වැළකී සිටිය යුතු බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ ක⁣⁣⁣ළේය.

ඡායාරූප ගනිමින් එම පුද්ගලයා අපහසුතාවයට පත් නොකරන ලෙසත් ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂා කරමින් කටයුතු කරන ලෙසත් එම මධ්‍යස්ථානය ඉල්ලා සිටියේය.

අන් අය අතර ⁣වෛරසය ගැන භීතිය හෝ “අපහාසාත්මක භිතිය” පැතිරවීමෙන් වළකින්නැයිද කොරෝනා ආසාදිත අයෙකු අසනීප වී සිටිනවා මිස අපරාධකරුවෙක් නොවන බව ද එම මධ්‍යස්ථානය පවසයි.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසූවේ කොරෝනා ආසාදිතයින් සහ ආශ්‍රිතයින් සමාජ විරෝධීන් ලෙසට සමාජගත වන ආකාරයෙන් පුවත් පළවන බවත් එය ⁣එසේ නොකළ යුතු බවත්ය.

කොවිඩ් 19 වෛරසය ආසාදිත හෝ නිරෝධයනයට ලක් කරන හෝ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හා අභිමානයට හානිවන අන්දමේ මාධ්‍ය භාවිතාවක් සිදුනොකරන්නැයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

 

Previous articleපාස්කු ප්‍රහාරය : බුද්ධි තොරතුර⁣ට අනුව සැලසුමක් සකස් කර තිබුණේ නෑ – පූජිත
Next articleසෘණෘත්මක මාධ්‍ය භාවිතාවට මහජන විරෝධය – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here