ආණ්ඩුව ඇඟිලි ගහන්නෙම නෑ : නඩු දැමීමේ පූර්ණ අයිතිය පොලිසියට සහ නීතිපතිට දීලා තියෙන්නෙ – ඇමැතිවරු තිදෙනෙක් පාස්කු ප්‍රහාරය ගැන කියති !

(හසරිඳු රාජපක්ෂ)
පාස්කු ඉරිදා දින සිදුවූ ප්‍රහාරය මෙහෙයවූ මහමොළකරුවන් ලෙස නවුෆර් මව්ලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයන් හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය.
එසේම සහරාන්ට රජයෙන් වැටුප් ගෙවූ බවට චෝදනා කරන පිරිස්වලට එය ඔප්පු කර පෙන්වන ලෙස තමන් කියන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස මෙතෙක් හැදින්වූ සහරාන් හෂීම් ද අන්තවාදී ක්‍රියා සඳහා මෙහෙයවා ඇත්තේ ඉහත කී පුද්ගලයන් විසින් බවද ඇමැතිවරයා පැවසුවේ ඊයේ (06) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
‘පාස්කු වාර්තාවේ ඊළඟ පියවර’ යන තේමාව යටතේ මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.
2014 වසරේ සිටම නවුෆර් මවුලවි නමැත්තා විසින් අයිඑස් මතවාදය මෙරටට ගෙන ආ බවත්, ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ තොරතුරු සැඟවීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, දැනටමත් පුද්ගලයන් 32 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇති බවත් ඇමැතිවරයා පැවසීය. එමෙන්ම පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විරුද්ධව දෙපාර්තමේන්තු මට්ටමින් විනය ක්‍රියාමාර්ග ගත යුතු බව කැබිනට් අනු කමිටුව පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇති බව එම කමිටුවේ ප්‍රධානී ඇමැති චමල් රාජපක්ෂ මේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය.
පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සහ අනෙකුත් කරුණු පිළිබඳව සලකා බැලීමේදී ඉතාමත් පැහැදිලිව පෙනී යන බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් වැඩි වගකීමක් පැවරී තිබූ අතර, තම රාජකාරිය පැහැර හැරිය නිලධාරීන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කටයුතු කරන අතරතුර පොලිස් දෙපාර්තමේන්තු මට්ටමින්ද විනය පරීක්ෂණ පවත්වා අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
‘මේ සිද්ධිය වළක්වාගැනීමට නොහැකි වූ පිරිස්, විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව නිසි වෙලාවට කටයුතු කළා නම් අප්‍රේල් ප්‍රහාරය සිදුවෙන්නේ නැහැ. මේ අන්තවාදීන් මුලින්ම අත්අඩංගුවට අරගෙන කටයුතු කරන්න තිබුණා. මේ නිසා මෙම කාරණා ගැන නිතිපති දෙපාර්තමේන්තුව සුදුසු පියවර ගන්නා තුරු දෙපාර්තමේන්තුව වශයෙන් විනයානූකුලව කටයුතු කරන්න අපිට හැකියාව තිබෙනවා. රාජකාරිය පැහැරහැරීම සහ රාජකාරිය අතපසු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් මේ නිලධාරීන්ට එරෙහිව ඇමතිතුමාට කටයුතු කරන්න පුළුවන්.’
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වී, පසුව ඉන්දියාවට පළා ගිය බව පවසන සාරා ජස්මින් සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සරත් වීරසේකර ඇමැතිවරයා මෙසේ පැවසීය.
‘සාරා නමැති කාන්තාව මැරුණද, නැද්ද කියලා අපිට තවම කියන්න බැහැ. මේ සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ සිදුකරන්න තිබෙනවා. සාරා මැරිලා නැතිනම් අපි රතු නිවේදන නිකුත් කරනවා. ඒ වගේම සාරාට රටින් පැනලා යන්න උදව් කළා කියන කතාව සනාථ වෙන කිසිම සාක්ෂියක් නැහැ. එවැනි දෙයක් ඔ්නෑම කෙනෙක්ට කියන්න පුළුවන්. පොලිසිය නොමග යවන්න පුළුවන්. මේ සිද්ධිය සම්බන්ධයෙන් රටින් පිටතදී අත්අඩංගුවට ගත් 57 දෙනාගෙන් 50 දෙනෙකු ලංකාවට ගෙනැවිත් තිබෙනවා.’
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ නීති යටතේ දඬුවම් කළ යුතු බවට නිර්දේශ කර ඇති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිස සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මෙසේ කීවේය.
‘හිටපු ජනාධිපති ඇතුළු යහපාලන රජයේ දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙනවා. එහි නිර්දේශ අනුව ඉතිරි කටයුතු කරනවා. නඩු දාන්න අපිට බැහැ. ආණ්ඩුව ස්වාධීනයි. නඩු දැමීමේ පූර්ණ අයිතිය දීලා තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට. රජයක් විදිහට අපේ මැදිහත්වීමක් නැහැ. එහෙම මැදිහත්වෙන්න අපිට අයිතියක් නැහැ. කවුරු වරදක් කළත් ඒ වරදට දඬුවම් දෙන්න ඔ්නෙ.’
Previous articleබලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි : කුරුණෑගල විල්බාවේ පස් කන්ද නීතිවිරෝධීව කැපුවේ කාගේ හයියෙන් ද?
Next articleමියන්මාර තානාපති කාර්‍යාලයේ වරදින් ලංකාවේ ධීවරයන්ට සිර දඬුවම් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here