බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි : කුරුණෑගල විල්බාවේ පස් කන්ද නීතිවිරෝධීව කැපුවේ කාගේ හයියෙන් ද?

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කුරුණෑගල, විල්බාව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ කන්දක බොරළු කැපීමට එරෙහිව ප්‍රදේශවාසීන් දැඩි විරෝධය දැක්වීම නිසා, ඊට ලබාදී තිබූ කැණීම් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ප්‍රදේශවාසීන් පොලිසිය⁣ට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව භූවිද්‍යා හා පතල් කාර්යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ජල සම්පත් කළමනාකරණ මණ්ඩලය, ජාතික‌ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා අද උදෑසන (05) කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණ ඇති අතර, කරුණු දැක්වීම් රැසක් අවසානයේ එහිදී භූවිද්‍යා හා පතල් කාර්යාංශය පොලිසියට දැනුම් දී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ කැණීම් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන බවටයි.
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මෙසේ කන්දක බොරළු කපමින් සිටින බවත්, ප්‍රදේශය නියෝජනය කරන දේශපාලනඥයෙකුගේ සමීප හිතවතෙකු වන නිසා අදාළ කැපීම් සිදුකරන පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවටත් ප්‍රදේශවාසීහු චෝදනා කළහ.
මෙමගින් මහජන පීඩාවක් සිදුවන බැවින් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි 05ක් සිදුකර තිබිණි. පස් කැපීම සඳහා ගෙන ඇති බලපත්‍රයට අනුව බොරළු කැපිය හැක්කේ උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පමණි. නමුත් මෙම බොරළු කපන පිරිස් අලුයම 4.30 පමණ සිට රාත්‍රී 8.00 පමණ ⁣වන තෙක් බොරළු කැපීම සිදුකළ බවට ද ප්‍රදේශවාසීහු MediaLK වෙත අවධාරණය කළහ.

‘පස් කපන්න පටන් ගන්නේ පාන්දර 4.30ට විතර’

බලපත්‍ර නොතකමින් සිදුකෙරෙන මෙම පස් කැපීම අලුයම 4.30 පමණ සිට රාත්‍රී 8.00 පමණ වන තෙක් සිදුකළ බව ප්‍රදේශවාසියෙකු වන විමලදාස මහතා පැවසීය.
ඔහු මෙසේද සඳහන් කළේය.
‘සති දෙකකට තුනකට කලින් තමයි කපන්න ගත්තේ. කපන්න ගත්තට පස්සේ අපේ මේ ඉහළ වෙල් යායට යන වතුර පාර සම්පූර්ණයෙන් හිඳිලා ගියා. සදාකාලිකවම වතුර ගලාගෙන ආ වතුර පාර එකපාරට නැවතුණා. අවට ළිංවල වතුර නැතිවුණා. යල-මහ දෙකන්නයම වැඩ කරපු කුඹුරු වැස්සොත් විතරයි දැන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඉස්සර අපි දෙකන්නයම වැඩ කළා. අක්කර අටක් විතර තියෙනවා යායේ. නිරන්තරයෙන් මේ ඇළේ වතුර ගලාගෙන ගියා. මේ කන්ද කපන්න ගත්තට පස්සේ දැන් දිය සීරාව නැත්තටම නැතිවෙලා ගියා. මෙයාලා උදේ කපන්න පටන් ගන්නේ පාන්දර 4.30ත් 5.00ත් අතර. රෑ 7.00-8.00 වෙනකම් කපනවා. මම මේ පාරේ ඉන්නේ. මෙහේ සෙම් රෝග තියෙන අය ඉන්නවා. එක එක ලෙඩ තියෙන අය ඉන්නවා. එයාලට බලපානවා. වාහන නිතරම එහෙට මෙහෙට යනවා. ඒ වගේම මේ අලුතෙන් හදපු පාර කැඩෙනවා. ලොකු විනාශයක් වීගෙන යන්නේ. ළිං දෙක තුනක් අඩියටම බැහැලා. දෙක තුනක් දැනට සම්පූර්ණයෙන් හිඳිලා ගිහින්.’
විමලදාස මහතා
දූවිලි ඇතිවීම වැළැක්වීම සඳහා වැඩබිම හා පිවිසුම් මාර්ගවලට පැය 03කට වරක් ජලය ඉසීම කළ යුතු බව බලපත්‍රයේ කොන්දේසිවල සඳහන් වේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විමලදාස මහතා පැවසුවේ ‘දූවිලි එන එකට වතුර පාරට දාන එක එහෙම කවදාවත් කරන්නේ නෑ. පාර තෙමන්නෙම නෑ. දූවිලි අහල-පහළ ගෙවල්වල’ යනුවෙනි.
‘අපි ඉල්ලන්නේ කරුණාකර අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා. අපි නම් අද හෙට මැරිලා යයි. අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා කරුණාකර අපි රජයෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේ කන්ද කපන එක නවත්තන්න කියලා’ යැයිද විමලදාස මහතා කීවේය.

මෙහෙම ගියොත් වතුර නැතිම වෙලා යයි

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ප්‍රදේශයේ පරිසරවේදී සංජීව කුලතිලක මහතා මෙසේ සඳහන් කළේය.
‘විල්බාව ග්‍රාම සේවා වසම කියන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන පත්තිනි දේවාලය පිහිටා තියෙන ප්‍රදේශයක්. විහාර හා දේවාලගම් පනත අනුව මේවා නින්දගම් ඉඩම්. දේවාලයට සේවය කරන අය⁣ට ඉඩම් දුන්න එ්වා තමයි මේ. ආවතේව කරන්නේ නැත්නම් අවුරුද්දට ගාණක් දේවාලයට ගෙවන්න ඕනෙ. මේ කන්ද අයිති දේවාලයට. භුක්ති විඳින්න දුන්නු ඒවාට දැන් සමහරු ඔප්පු හදාගෙන.
මේ පස් කැපීමේ ඉතිහාසය ගැන කතා ක⁣⁣ළොත් 2018 දිත් මේක කපන්න බලපත්‍ර ගත්තා. පස්/බොරළු කපන්න තමයි බලපත්‍ර අරගෙන තියෙන්නේ. නමුත් 2018 මේකට ආව මහජන විරෝධය නිසා ඒ පාර කපන එක නැවතුණා.
දැන් සති දෙක-තුනක ඉඳලා ආපහු කපන්න පටන් අරගෙන. කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහනට පස් ගන්න තමයි කපනවා කියන්නේ. 2018 දී මහජන විරෝධය එක්ක දාපු පැමිණිලි සහ ලිපිවලට අදාළව භූමි විමර්ශනයක් මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළා. ඒකෙදි මධ්‍යම පරිසර අධිකාරිය පැහැදිලිව කියලා තිබුණා මේක ගැටළු සහගත බව. 2018.08.20 සහ 2018.07.31 යන දවස්වල මේ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂණ කරලා තිබුණේ. ඒ ආව විරෝධය නිසා ඒක නැවතුණා.

‘ගැටීම් නිසා කැඳවීම් කරන්න බෑ’

කුරුණෑගල මූලස්ථාන පොලිසියට මේ ගැන පැමිණිලි 05ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක 30 වැනිදා කැඳවපු වෙ⁣ලාවේ වගඋත්තරකාර අජිත් කියන පුද්ගලයා ඇවිත් තිබුණට වගකිවයුතු ආයතන ගෙන්නලා තිබුණේ නෑ. මේක පොලිසියට වළක්වන්න බෑ කිව්වා. අදාළ ආයතනයට යන්න කිව්වා. පොලිසියට ආවට වැඩක් නෑ කිව්වා. අපි ඉල්ලා සිටියේ අපේ පැමිණිල්ල විභාග කරන්න, වගඋත්තරකාරයෝ ගෙන්නන්න කියලා. රජයේ නිලධාරීන් ගෙන්වන්න බෑ ගැටීම් ඇතිවෙනවා කිව්වා. අපරාධ විධිවිධානවල 98(ආ) යටතේ මහජන පීඩාවක් වෙලා කියලා පැමිණිලි තියෙනවා. අදාළ ආයතනවලට ලිපි යොමු කළා. ළිංවල වතුර හිඳිලා. මහජන පීඩාව යටතේ පැමිණිල්ල විභාග කරන්න කිව්වම වාර්තාවක් කැඳවන්නම් කියලා පොලිසිය කියනවා. ඉහළ තනතුරු ගෙන්වන්න පුළුවන් නීති බලයක් නැද්ද, කැඳවීම් කළාද, නැද්ද කියලා පොලිසියෙන් ඇහුවා. කැඳවීම් කළේ නෑ කිව්වා. කැඳවීම් කරන්න බෑ ඝට්ටනය වෙනවා කිව්වා.
ඊට පස්සේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ගාවට ගියා. එතැනදිත් කිව්වේ මේ ටිකමයි. එහෙනම් අපේ ප්‍රකාශයක් සටහන් කරගන්න කියලා අපි කිව්වා. පස්සේ එතැනදි අපේ ප්‍රකාශ සටහන් කරගත්තා. මෙහෙම වුණා – මෙහෙම වුණා කියලා මුල ඉඳන් සිද්ධ වුණු කතාව ලිව්වා. පොලිසියේ වගකීම ඉෂ්ඨ වුණේ නෑ කියලා පෙන්නලා දුන්නා. අපි විරුද්ධ වුණු නිසා අන්තිමට පස්සේ පොලිසිය අදාළ ආයතන කැඳවන්නම් කියලා කිව්වා. ආයතනවලට ලියුම් ගහන්න කියලා කිව්වා.
ඒ අනුව අද ආයේ අපිව කැඳෙව්වා… මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මුලින් කිව්වා විනාඩි පහයි දෙන්න පුළුවන් එයාට ගමනක් යන්න තියෙනවා කියලා. වාර්තා අරන් විමර්ශනය කරනවා කියලා කිව්වා. පස්සේ අපි විරුද්ධ වුණා ඒකට. අන්තිමට එක් එක් බලධාරීන්ගෙන් අපි ප්‍රශ්න ඇහුවා.
භූවිද්‍යා හා පතල් කාර්යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, ජාතික‌ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ විල්බාව ග්‍රාම නිලධාරිවරයා එතැනට ඇවිත් තිබුණා. පස් කපන අයත් ඇවිත් හිටියා.
2018 මේක නවත්වන්න හේතුව ඉඩමේ නිරවුල්භාවය ගැන හේතුවක්. ඉඩම විහාර දේවාලගම් පනතට අයත් එකක් විල්බාව පත්තිනි දේවාලයට අයත් එකක්. අපි ඇහුවා මොකද්ද හේතුව 2018 මේක නවත්වන්න හේතුවුණේ කියලා. එතකොට භුවිද්‍යා එක කිව්වෙත් ඉඩමේ නිරවුල්භාවය ගැන ප්‍රශ්නයක් නිසා නැවැත්තුවා කියලා.
ඊට පස්සේ අපි ඇහුවා මේ පාර බලපත්‍ර නිකුත් කළේ ඉඩමේ නිරවුල්භාවය විසඳගෙනද කියලා. එතකොට නිලධාරීන් කිව්වේ එ් ගැන දන්නේ නෑ කියලා. කොළඹින් තමයි අවසර ගන්න ඕනේ කියලා..
ගිය පාර නැවැත්තුවේ දේවාලයට අයිතියි කියලා දේවාලයෙන් ලියුමක් ගහලා තිබුණා. ඒ අනුව මේක බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අයිති එකක්ද කියලා අපි එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඇවිත් හිටිය නියොජිතයාගෙන් ඇහුවා. එයා ඔව් කියලා කිව්වා. මේ බොරළු කපන්න එයාලා නිර්දේශ නිකුත් කරලා තියෙනවාද ඇහුවා. එයාලා නිර්දේශ නිකුත් කළේ නෑ කිව්වා.
එතකොට මේ රජයට අයත් එකකට හොර ඔප්පු හදලා විරෝධතා තියෙද්දිත් තමයි අවසර දීලා තියෙන්නේ කැණීම් කරන්න…
ඊ⁣ට පස්සේ මේ කෑණීම් කරන්න අවසර දිය යුතු එක් එක් ආයතනවලින් අපි ඇහුවා අවසර දුන්නද කියලා.
මධ්‍යම පරිසර අධිකාරිය අවසර දීලා නෑ කියලා කිව්වා. පළාත් පරිසර එකෙන් ඇහුවම කිව්වේ නිර්දේශ දීලා තියෙනවා කොන්දේසි දෙකක් මත කියලා. එ් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ජල සම්පාදන මණ්ඩලයෙන් වාර්තා දෙකක් ලබාදෙන්න කියන කොන්දේසි මත.
ඊට පස්සේ අපි ඇහුවා ඒ ආයතන දෙකෙන් වාර්තා දුන්නද කියලා. ඒ ආයතන දෙකස කිව්වේ එහෙම වාර්තාවක් දෙන්න එයාලගෙන් වාර්තා ඉල්ලීම් කරලා නෑ කියලයි. එකකොට ඒ කොන්දේසි පවා උල්ලංඝනය කරලයි අවසර දීලා තියෙන්නේ..
ඊට පස්සේ මෙතැන සුළු වාරිමාර්ගයක් තියෙන නිසා ගොවිජන එකෙන් ඇහුවා නිර්දේශ නිකුත් කරාද කියලා. එයාලත් කිව්වේ නිර්දේශ නිකුත් කරන්න ඉල්ලීම් ලැබිලා නැ කියලා. ගිය පාරත් මේ සුළු වාරි මාර්ගයට හානි වෙලා කියලා කිව්වා.
ග්‍රාම සේවකගෙන් ඇහුවම කිව්වේ පසුගිය වතාවෙ මහජන විරෝධයක් ඇවිත් තියෙන නිසාත් ඒ අවට ළිං කුඹුරු තියෙන නිසාත් නිර්දේශ අරගෙන අවසර දෙන්න කියලත් දැනුම් දුන්නා කියලයි.
ඒ අනුව මේක නීතිවිරෝධීව අවසර දීලා කියලා අපි පෙන්නල දුන්නා. දැන්වත් නවත්තන්න කියලා කිව්වා. ලේයර්ස් කපන්න කියලා බලපත්‍රයේ තියෙනවානේ. ඒවා එහෙම කරලා නෑ පස් කපන අය. ඒවා දැක්කේ නැද්ද කියලා ඇහුවම කිව්නේ එකපාරක් නිරීක්ෂණය කරා ඒත් ඒවා දැක්කේ නෑ කියලා. දැන්වත් බලපත්‍රය අත්හිටුවන්න කියලා කිව්වා. ඊට පස්සේ භු පතල් එකේ කැණීම් නිලධාරීය පොලිසියට දැනුම් දුන්නේ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවනවා කියලා.
මේක නිසා ලොකු පරිසර හානියක් සිද්⁣ධ වෙනවා. ළිං හිඳෙනවා. උතුරපු ළිං පවා හිඳිලා. ඉහළ ළිඳ කියලා ළිඳක් තියෙනවා. ඒකෙ කවදාවත් වතුර අඩුවෙන්නේ නෑ. ඒකෙ වතුරත් අඩි හතක් විතර අඩුවෙලා. 2018 දි වුණු හානිය අවමයි. දැන් තමයි මේ හානිදායක විදියට කපන්න අරන් තියෙන්නේ. ආයතනවලට ලිපි දැම්මා. මධ්‍යම පරිසර අධිකාරියට, ගොවිජන අධ්‍යක්ෂට, භු විද්‍යා අධ්‍යක්ෂට එහෙම ලිපි දැම්මා.
මේ බලපත්‍ර දීලා තියෙන්න පරණ පරිසර වාර්තාවටමයි. අලුතින් පරිසර වාර්තාවක් කරලා නැහැ. මෙතැන මේකට ලොකු මහජන විරෝධයක් තියෙනවා. ඇළේ වතුර නැතිවෙන එක තවත් දෙයක්. ගල් පෙරළීම තවත් කාරණයක්.’

‘ගස් කපලා පස් යට හංගලා’

මේ සම්බන්ධයෙන් නම සඳහන් කිරීමට අකමැති ප්‍රදේශවාසියෙක් මෙසේ සඳහන් කළේය.
‘ඉස්සර වතුර තිබුණා ඇළේ හොඳටම. අපි රෙදි හේදුවේ, නෑවේ ඔක්කොම මේ ඇළෙන්. බොන්න විතරයි වෙනම ගත්තේ. ඉස්සෙල්ලම බොරළු කපන්න ⁣ගත්තේ ඇළ කාණුව හරස් කරලා. ඉස්සර සමහර දවස්වලට වතුර එන්න ඉඩ මදි, උතුරනවා වතුර. බෝක්කු දානකොට තනි බෝක්කුවක් දාන්න එපා මදි කියලා කට්ටිය කිව්වා. ඒ තරම් වතුර තිබ්බා සමහර දවස්වලදී. ඒත් බොරළු කපන්න පටන් අරන් සති දෙකක් යද්දි වතුර හිඳිලා ගියා. මෙහේ ටොයිලට් වළවල් කපද්දිත් උල්පත් මතු වුණු පැත්තක්. සාමාන්‍ය වළක් කැපුවත් වතුර එන පැත්තක්. 5.00ට – 5.30ට විතර තමයි පටන් ගන්නේ. රෑ 6.00 විතර වෙනකම් කපනවා ගොඩක් දවස්වලට. කලින් බැකෝ දෙකක් තිබුණා. දැන් එකයි තියෙන්නේ. අනෙක මේ ළඟදි අරන් ගියා. කලින් මෙතැන කැලයක් තිබුණේ. දැන් ගස් කපලා පස්වලට යටකරලා. අපි වතුර ගන්න ළිඳෙත් දැන් තිබ්බට වඩා වතුර අඩුවෙලා කලින් තිබ්බට වඩා.’
ගම්වාසීන් පවසන ආකාරයට සිඳී ගොස් ඇති ඇළ මාර්ගය

බලපත්‍රය සහ කොන්දේසි

බලපත්‍රය ලබාදී තිබෙන්නේ බොරළු කැපීමට වන අතර, බලපත්‍රලාභියා වන්නේ අබේකෝන් මුදියන්සේලාගේ බුද්ධික සංජීව ය. තල්කොටේවත්ත නම් එම ඉඩමේ හිමිකරු වන්නේ ඩබලිව්.ඒ.ඒ.ආර්. විජේසිංහ ය.
එහි පස් කැපීම සඳහා අවසර දෙමින් ඉකුත් මාර්තු 10 වැනිදා නිකුත් කර ඇති IML/C/HO/N/14825 දරන බලපත්‍රයේ වලංගු කාල සීමාව මාර්තු 12 සිට මැයි 11 දක්වා වේ.
එම බලපත්‍රයේ කොන්දේසිවල මෙසේද සඳහන් ය.
6. කැණීම් භුමියේ සියලුම මායිම් සඳහා මීටර් 3ක බිම් තීරුවක් කැණීමෙන් තොරව අත්හළ යුතු අතඑ යාබද භුමියේ පොළව මට්ටමට සමපාත විය යුතුයි.
7.වැසි ජලය ගලා යෑම සඳහා කැණීම් භුමියේ කෙළවර සිට කැණීම් භුමිය දෙසට මීටර් දෙසට මීටර් 15ක බිම් තීරුවක් කැණීමෙන් තොරව ජලය බැස යන පරිදි පවත්වාගත යුතුයි.
9.කැණීම් කටයුතු තට්ටු ආකාරයට සිදුකළ යුතු අතර තට්ටුවක උස මීටර් 03ක්, පළල මීටර් 3 හා ආනතිය අංශක 60කට නොවැඩි විය යුතුයි.
10. කැණීම් කටයුතු පෙ.ව 8.00ත්, ප.ව 5.00ත් අතර සිදුකළ යුතුයි. කැණීම් කටයුතු ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල සිදු නොකළ යුතුයි.
13. කැණීම් කටයුතු සඳහා එක්ස්කැවේටර් යන්‍ත්‍රයක් (ධාරිතාව PC<=200) පමණක් භාවිත කළ හැකිය.
16. දූවිලි ඇතිවීම වැළැක්වීම සඳහා වැඩබිම හා පිවිසුම් මාර්ගවලට පැය 03කට වරක් ජලය ඉසීම කළ යුතුය.
17. කැණීම් කටයුතු කැණීම් භුමිය ආසන්නයේ සිටින පුද්ගලයන්ට සහ ඔවුන්ගේ කටයුතුවලට හානි සිදුනොවන අයුරින් සිදුකළ යුතුයි. කැණීම් සහ ප්‍රවාහන කටයුතු හේතුවෙන් ජල මාර්ගවලට සහ අසල නිවාසවලට හානි සිදු නොවිය යුතුයි.
23. මෙම බලපත්‍රය යටතේ කැණීම් කිරීමේදී පරිසර පනත ප්‍රකාරව කටයුතු කිරීම බලපත්‍රලාභියා සතු වගකීම වේ.
24. කැණීම් බලපත්‍රයේ වලංගු කාලසීමාව ආරම්භක දිනයේ සිට මාසයක් ඇතුළත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශය සහ ජල සම්පත් මණ්ඩලයේ නිර්දේශ ලබාගත යුතු අතර, එහි පිටපත් කාර්යාංශයට ඉදිරිපත් කළ යුතුය.

අපි බලපත්‍ර නීති රැක්කා

මේ සම්බන්ධයෙන් අදාළ ඉඩමේ හිමිකරු වන ඩබලිව්.ඒ.ඒ.ආර්. විජේසිංහ මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය.
ඔබට හිමි තල්කොටේවත්ත ඉඩමේ බලපත්‍ර උල්ලංඝනය කරලා පස් කපනවා කියලා චෝදනාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබට කියන්න තියෙන්නෙ මොකක්ද ?
මේ ඉඩමේ මම මුලින්ම වගාවන් සිදු කළා. ඔයාලා ගියොත් පෙනෙයි ඔයාලට. අර පාර අයිනේ තියෙනවා සමතලා බිමක්. ඒකෙ මම වගාකරලා තියෙන්නේ. පොල්, ගම්මිරිස්, අඹ, කෙසෙල්, කජු වගේ. හැම වර්ගයක්ම වගාකරලා තියෙන්නේ. පළතුරු ගස් කීපයකුත් හදලා තියෙනවා. බොරළු කැණීම් කරන ප්‍රදේශයෙත් මම පොල් පැළ 200ක් විතර හදලා තිබ්බා. මුළු ඉඩමේම ගම්මිරිස් හදලා තිබුණා. දැනට ගියොත් ගම්මිරිස් හදලා තිබුණු ඇල්බීසීයා කණු පේන්න තියෙනවා. ඉතින් ඒක වගාවකට හරියන තෙත් බිමක් නෙමෙයි. ඉතින් ඒ ඔක්කොම මැරුණා, වවපුවා ඔක්කොම. ඊට පස්සේ තමයි මම තීරණය කළේ ගෙයක් හදාගන්න මේකෙ. ඒ අතරතුර කන්ද ටිකක් පාත්කරලා ජලය ටිකක් රඳාපවතින විදිහට ඉඩම සකස් කරගෙන වගාබිමක් කරගන්න තමයි මගේ අදහස.
මේකෙ බොරළු කැණීම් කරන්නේ වෙන කෙනෙක්. මම එයාට බදු ගිවිසුමක් හරහා ඉඩම ලබාදීලා තියෙන්නේ බොරළු කැණීම් කරන්න. බලපත්‍ර හදාගන්න බදු ගිවිසුමක් ගැහුවා එයත් එක්ක.
ඉඩමේ අයිතිය තියෙන්නෙ කාටද?
ඉඩම මගේ.සින්නකර ඉඩමක්.
මේ ඉඩම ඔබ ගත්තේ කොයි කාලේ වගේද?
මම මේක ගත්තේ 2009දී. සින්නක්කර ඉඩමක්.
ඉඩමේ අතීතය සහ ඔබට අයිති වුණු විදිහ ගැන කිව්වොත්?
මේකේ 1922 ඉඳලා පෙළපත් සටහන අනුව පලිපාන කියන කට්ටියට අයිති ඉඩමක්. අක්කර 49ක ඉඩමක් තමයි තිබිලා තියෙන්නේ. පලිපාන කට්ටියගේ ඉඩමක් මේක. මේක අක්කර 49ක ඉඩමක් තමයි තිබිලා තියෙන්නේ 1922. ඊට පස්සේ එයාලගේ බර්ට්‍රම් පලිපාන කියන එක්කෙනා නැතිවෙලා ඊට පස්සෙ එ්ක බූදල් වෙලා මහනුවර දිසා අධිකරණයේ බූදල් නඩුවක් තිබිලා තියෙනවා, 3547 කියලා. ඒ නඩුවෙන් එයාලගේ හතර දෙනෙකුට බෙදිලා තියෙනවා. ඒ හතර කොටසෙන් එකක් ආනන්ද පරාක්‍රම පලිපාන කියන කෙනාට අයිති වෙලා තියෙනවා. එයාගේ කොටස තමයි මම මිලදී ගත්තේ 2009දී. අක්කර 12යි රූඩ් 1ක්. අරගෙන මම දැන් ඔය ලයිසියම් ඉන්ටර්නැෂනල් ඉස්කෝලේ ඇඩ්වෙන්චර් පාර්ක් එක දාලා තියෙන්නේ මිස්ටර් මොහාන් ලාල් ග්‍රේරු. 2014දි එයාට මම වික්කා අක්කර නවයක්. විකුණලා ඉතිරි කොටස තමයි දැන් ඔය මගේ ළඟ තියෙන්නේ.
කීයෙ ඉඳන් කීය වෙනකම්ද බොරළු කැණීම් කරන්නේ ?
අපිට බලපත්‍ර තියෙන්නේ උදේ අටේ ඉඳන් සවස පහ වෙනකම්. ඒ වෙලාවේ තමයි කපන්නේ.
පස් කපන අතරතුර පාරට වතුර දාන්න ඕනේ කියලා බලපත්‍රයේ තියෙනවා. ඒක හරියට කරනවාද?
වතුර දානවා අපි.
පැය කීයකට සැරයක්ද දාන්නේ?
සාමාන්‍යයෙන් පැය දෙකක්, දෙක හමාරක් වගේ ඇතුළත වතුර දානවා.
මීට පෙර මෙහි කැණීම් කරන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් 2018.07.31 වැනිදා මධ්‍යම පරිසර අධිකාරිය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ ප්‍රාදේශීය කළමනාකරු වෙත ලිපියකින් දැනුම් දී ඇත්තේ එම කැණීම් සිදුකිරීම මගින් පරිසර නිර්දේශ උල්ලංඝනය කර ඇති බවයි.
එම ලිපියේ සඳහන් කරුණු මෙසේය..
පැමිණිල්ලට අදාළ බොරළු කැණීම්, විල්බාව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ තල්කොටේවත්ත ඇල්හේන නව වත්ත යන ඉඩමේ පවත්වාගෙන යනු ලබන බව
  • කෑණීම් සිදුකිරීම ඉඩම් මායිමට සිදුකර ඇති බව
  • යාබද ඉඩම හරහා කැණිම් භුමිය වෙත ප්‍රවේශ මාරගයක් ඉදිකර ඇති බව
  • එම ප්‍රවේශ මාර්ගය ඉදිකිරීමේදී ස්වභාවික ඇල මාර්ග අවහිර වන සේ ඉදිකර ඇති බව
  • කැණීම් කිරීමේදී සහ ප්‍රවේශ මාර්ගය ඉදි කිරීමේදී හමුවන කළුගල් මාර්ගය අයිනේ අනාරක්ෂිතව රඳවා ඇති අතර එම ගල් පහළට පෙරලී යා හැකි බව
  • මෙම ස්ථානයේ කැණීම් සම්බන්ධව දැඩි මහජන විරෝධතා ඉදිරිපත් කර ඇති බව
  • මෙම නිරීක්ෂණ අනුව මෙම අධිකාරිය විසින් 2017.12.27 දිනැතිව නිකුත් කරන ලද පරිසර නිර්දේශයේ අංක 1.5, 1.6 සහ 3.2 නිර්දේශ උල්ලංඝණය කර ඇති බව
මේ සම්බන්ධයෙන් 2018.07.31 දින ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකරන ලද බවත් එම ක්ෂේත්‍ර පරීක්ෂණයේදී මෙම කරුණු අනාවරණය වූ බවත් එහි සඳහන් වෙයි.
එම සම්පූර්ණ ලිපිය පහතින්…

පත්තිනි දේවාලයට අයත් ඉඩමක් බවට ලිපියක්

මෙම ඉඩම ⁣ඓතිහාසික විල්බාව ශ්‍රී පත්තිනි දේවාලයට අයත් ඉඩමක් බවට එහි බස්නායක නිලමේවරයා දිස්ත්‍රික් ලේකම්වරයාට 2018 වසරේ බොරළු කැපීමට අදාළව ඇතිවූ සිද්ධිය අවස්ථාවේ දැනුම් දී තිබිණි. එම පස් කැපීම දේවාලයේ අවසරයකින් තොරව සිදුවන බවටත් ලිපියකින් දැනුම් දී තිබිණි.
එම ලිපිය පහතින්…

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පොලිස් නිලධාරීන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ප්‍රතිචාරයක් නොලැබිණි.
ඉකුත් සිකුරාදා දිනයේ මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ සියලු වගකිව යුතු ආයතන ගෙන්වා පැමිණිලි විභාග කරන බවයි.

කුඹුරු යාය සහ ‘ඉහළ ළිඳ’
කැණීම් කරන ස්ථානයට යන පාර

Previous articleඅද තරුණ පරපුරට ලොකු අභියෝගයක් තියෙනවා : 71 මම හිටියෙ විරෝධය කණ්ඩායමේ – ගම්පහ හිටපු ප්‍රා.ලේ. රංජිත් සිරිලාල් !
Next articleආණ්ඩුව ඇඟිලි ගහන්නෙම නෑ : නඩු දැමීමේ පූර්ණ අයිතිය පොලිසියට සහ නීතිපතිට දීලා තියෙන්නෙ – ඇමැතිවරු තිදෙනෙක් පාස්කු ප්‍රහාරය ගැන කියති !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here