මියන්මාර තානාපති කාර්‍යාලයේ වරදින් ලංකාවේ ධීවරයන්ට සිර දඬුවම් !

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය හේතුවෙන් එරට අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයන් 12 දෙනෙකුට සිර දඬුවම් නියම වී තිබේ.

නිලධාරීන් කිසිවෙකු නෑ

ත්‍රීකුණාමලයෙන් මුහුදු ගිය මේ ධීවරයන්ට එරෙහිව මියන්මාර පොලිසිය මගින් චෝදනා 04 ක් ඉදිරිපත් කර තිබිණි. එහෙත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඔවුන් සම්බන්ධයෙන් කිසිදු විධිමත් මැදිහත්වීමක් සිදුකර නැති අතර, ඇඟළුම් ආයතනයක සේවය කරන සාමාන්‍ය සේවකයෙකු පමණක් අදාළ ධීවරයන් වෙනුවෙන් අධිකරණයට යවා ඇත.

චෝදනා 4 ක්

පසුගිය පෙබරවාරි 11 වැනිදා මේ ධීවරයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, අවස්ථා ගණනාවක් ලබාදීමෙන් පසු ඔවුන්ට අදාළ තීන්දුව ලබාදී ඇත්තේ පසුගිය 02 දා ය. මියන්මාර මුහුදු සීමාවට ඇතුළු වීම, එම මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම, එරට නාවික හමුදා අණ නොතැකීම සහ එරටට ඇතුළු වීම යන චෝදනා ඔවුන්ට එල්ල කර තිබිණි. අදාළ ධීවර බෝට්ටුවේ නායකයන් දෙදෙනාට වසර 5යි මාස 6ක සිර දඬුවම් නියම කර ඇති අතර, අනෙකුත් ධීවරයන් දසදෙනාට වසර 3යි මාස 6ක සිර දඬුවම් නියම කර ඇත. ඊට අමතරව ඔවුන්ට දඩ මුදලක් ද නියම කර තිබේ. මේ වන විට අදාළ ධීවරයන් මියන්මාරයේ පතේන් බන්ධනාගාරයේ රඳවා සිටී.

‘දැනුවත් නෑ’

මේ ධීවරයන්ට එරෙහිව නඩු වාර 05 ක් චෝදනා විභාග කර ඇති අතර, ඒ එක් අවස්ථාවක හෝ තම නිලධාරියෙකු යැවීමට එරට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා කටයුතු කර නැත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු සම්බන්ධතා පිළිබඳ ප්‍රධානී නිර්මලා පරණවිතාන පවසා ඇත්තේ මේ සිද්ධිය පිළිබදව දැනුවත්ව නොසිටි බවයි.

නිදහස් කරගැනීමේ අවස්ථාව

එහෙත් රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කරන්නේ මෙවැනි අත්අඩංගුවට ගැනීමකින් පසු අදාළ රටට දැනුම් දීම අනිවාර්යයෙන්ම සිදුකරන බවයි. විශේෂයෙන්ම මියන්මාරය වැනි ලංකාව සමග සමීප සම්බන්ධතා පවත්වන රටක් එය අනිවාර්යයෙන්ම සිදුකිරීම මෙන්ම අදාළ ධීවරයන් නිදහස් කරගැනීමට අවස්ථා ලබාදීමද සිදුකරන බවත් ඔවුහු පෙන්වා දෙති.

තානාපති කාර්‍යාලය වගකිව යුතුයි

එවැනි අවස්ථාවක් ලබාදුන්නේද යනුවෙන් අප කළ විමසීමකදී මේ ධීවර ගැටළු සම්බන්ධයෙන් මැදිහත් වන මත්ස්‍ය අපනයන ව්‍යාපාරිකයෙකු වන නඳුන් තාරක ලියනගේ සඳහන් කළේ මේ ධීවරයන් නිදහස් කර ගැනීමට අධිකරණයෙන් අවස්ථා කිහිපයක් ලැබුණද, තානාපති කාර්‍යාලයේ මැදිහත්වීමක් නොමැති වීම නිසා එම අවස්ථා මගහැරුණු බවයි. රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ නීතිය පිළිබඳ කිසිදු දැනුමක් නොමැති පුද්ගලයෙකු පමණක් භාෂා පරිවර්තකයෙකු ලෙස යවා ඇති බවත්, අදාළ ධීවරයන්ගේ දඬුවම දඩයකට මාරුකිරීමට අවස්ථාව තිබූ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Previous articleආණ්ඩුව ඇඟිලි ගහන්නෙම නෑ : නඩු දැමීමේ පූර්ණ අයිතිය පොලිසියට සහ නීතිපතිට දීලා තියෙන්නෙ – ඇමැතිවරු තිදෙනෙක් පාස්කු ප්‍රහාරය ගැන කියති !
Next articleනැගෙනහිර වෙරළ : ඇමැති නොදත් සමාගම දත් උමා ඔය පන්නයේ ඛනිජ වැලි බිස්නස් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here