අද තරුණ පරපුරට ලොකු අභියෝගයක් තියෙනවා : 71 මම හිටියෙ විරෝධය කණ්ඩායමේ – ගම්පහ හිටපු ප්‍රා.ලේ. රංජිත් සිරිලාල් !

කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි 1971 අප්‍රේල් 05 වැනි දින හිමිදිරි පාන්දර, එනම් හරියටම මීට වසර 50 කට පෙර මෙරට තරුණ නැගිටීමක් සිදු විය. එය ඇරඹුණේ වැල්ලවායෙනි. 71 කැරැල්ල ලෙස අප හඳුන්වන්නේ වැල්ලවායෙන් ඇති වී රට පුරා පැතිරුණු මෙම තරුණ නැගිටීමයි.
මෙම තරුණ නැගිටීමෙන් පසු ඇති වූ තත්ත්වය පිළිබඳව සමාජයේ විවිධ පාර්ශ්ව විවිධ කෝණවලින් විග්‍රහ කළත්, එක අරමුණක් වෙනුවෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමට තරුණ පිරිසක් ඉදිරියටම පැමිණීම සහ අවසානය තෙක් ඒ වෙනුවෙන් පෙනීසිටීම ගෞරවයට ලක්වන්නකි.
1943 ජූලි 14 දින උපත ලද රෝහණ විජේවීර නමින් ප්‍රකට, පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නම් වූ රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ තරුණයා, ලංකාවට පැමිණ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමට මුල් විය. ක්‍රමයෙන් පෝෂණය වූ මේ පක්ෂය, එවකට පැවැති සමාජ පීඩනයට එරෙහි විකල්පයක් ලෙස සමාජගත විය. 1970 වසරේ අග වන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජනතා විමුක්ත පෙරමුණේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටි අතර, එම වසරේ අගෝස්තු වන විට ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම සඳහා ජනතාවගෙන් සහාය ඉල්ලා සිටීම ද, හදිසි නීතිය පැනවීමට ක්‍රියා කිරීම ද සිදු විය.
ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයක් සඳහා රහසිගතව ආයුධ රැස්කරන බවට ආණ්ඩුවට තොරතුරු ලැබී තිබූ බව මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. 1971 මාර්තු මාසයේදී රෝහණ විජේවීර අම්පාරේදී අත්අඩංගුවට ගැනිණි. පසුව ඔහු යාපනය බන්ධනාගාරයට මාරු කෙරිණි. රහසිගතව සංවිධානය වෙමින් සිටි තරුණ පිරිසේ නැගිටීම, එවකට පැවැති ආණඩුව අපේක්ෂා නොකළ පරිදි 1971 අප්‍රේල් 05 දා වැල්ලවායෙන් ආරම්භ විය. එම තරුණ නැගිටීමට අද, අප්‍රේල් 05 දිනට වසර 50 කි.
71 තරුණ නැගිටීම සිදුවූ කාලයේදී විකල්ප මත දරන කණ්ඩායම් නියෝජනය කළ, ගම්පහ හිටපු ප්‍රාදේශීය ලේකම් රංජිත් සිරිලාල් මහතා සමග මේ පිළිබඳව අපි කතා කළෙමු. මේ ඔහුගේ අදහස් ය.

විරෝධය කණ්ඩායම

ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ අවදියේ මම හිටියෙ ‘විරෝධය කණ්ඩායම’ නමින් හැඳින්වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංවිධානයේ හිතවතෙක් ලෙසයි. එය දැන් හඳුන්වන්නෙ සමාජවාදී සමානතා පක්ෂය නමින්‍. මේ නිසාම ජවිපෙ සමග ඇති වූ මත ගැටුම් රාශියකට මැදිහත් වෙන්නත් අපිට සිදුවුණා. විශේෂයෙන්ම විද්‍යෝදය විශ්වවිද්‍යාලය තුළ පැවැත්වුණු සාකච්ඡාවලදි ඇතිවුණු ගැටුම්වලට මැදිහත් වෙන්නත් අපිට සිදු වුණා.

චේ ගුවේරා කල්ලිය

රුසියාවේ අධ්‍යාපනය ලබමින් හිටපු රෝහණ විජේවීර කිසියම් මතබේදකාරී තත්ත්වයක් නිසා ලංකාවට ආවා. ඔහු ඒ කාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂය සමග කිසියම් සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබුණා. නමුත් පසුව ඒ පක්ෂය සමග තිබුණු සම්බන්ධතාවලින් ඉවත් වෙලා, සගයන් කිහිපදෙනෙක් සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණ බිහිකළා. මේ පක්ෂය මුල් කාලයේදී ජනතාව අතරට ගියේ ‘චේ ගුවේරා කල්ලිය’ කියලා. කියුබානු විප්ලවයේ තිබුණු ආශ්වාදය නිසා චේ ගැන ලොකු අවධානයක් යොමු කළ නිසා චේ ගුවේරා කල්ලිය කියන නම ප්‍රසිද්ධ වුණා.

කැඳ කෝප්ප සටන්

මේ වන විට ලංකාවේ තිබුණු සාම්ප්‍රදායික කම්කරු පක්ෂ වන ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වැනි පක්ෂ 1964දී  ධනපති පක්ෂයක් වන ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග සම්මුතියකට ගොස් සභාග රජයකට ගියා. මේ නිසා මේ කාලයේදී කම්කරු පක්ෂයක් සඳහා රට තුළ හොඳ ඉඩක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ, කම්කරු පක්ෂයකටත් වඩා අලුත් ජාතිකවාදී මුහුණුවරක් අරගෙන තිබුණා. කම්කරු පංතියේ කම්කරු සටන්, වැඩවර්ජන ආදිය ඔවුන් හැඳින්වූයේ ‘කැඳ කෝප්ප සටන්’ ලෙසයි. රත්මලානේ දුම්රිය කම්කරුවන් වර්ජනය කරපු අවස්ථාවේ ඔවුන් එයට සහයෝගය නොදී ඒවා කැඳ කෝප්ප සටන් ලෙස හැඳින්වූවා. මොකද ඒ වර්ජන අවසානයේ ධනපති පක්ෂයට යටත් වෙනවා කියලා ඔවුන් පැවසුවා. මේ නිසා ඒවාට සහයෝගයක් දැක්වුවේ නැහැ.
ඔවුන් හැමවෙලාවෙම විශ්වාසය තැබුවෙ පීඩිත තරුණ කණ්ඩායම කෙරෙහියි. ගම්බද තරුණයන්, ඒ වගේම කුල පීඩිත තරුණයන් මේ අතරින් විශේෂ වී තිබුණා. ඔවුන්ව දිනාගන්න මේ කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ සැහෙන්න උත්සාහ කළා.

තරුණයන්ගේ ශක්තිය අධිතක්සේරු කළා

ඇත්තෙන්ම තරුණයන්ගේ ශක්තිය ඔවුන් අධිතක්සේරුවකට ලක්කරලා තිබුණා කියලා කිව්වොත් නිවැරදියි. කැලේ ඉඳලා පිස්තෝල, සුළු බෝම්බ, තුවක්කු ආදී ප්‍රාථමික මට්ටමේ ආයුධ හදලා, ඒවගෙන් තරුණ පිරිස ලවා ධනේශ්වර ආණ්ඩුව වට්ටන්න පුළුවන් කියන මිත්‍යාව තුළ ඔවුන් හිටියා. ඉන්දීය හමුදා සතුව තිබුණු ආයුධ ගැන ඔවුන්ට නිසි තක්සේරුවක් තිබුණේ නැහැ. ඒ වගේම ආණ්ඩුවට විදේශයෙන් ආධාර ලබාගන්නට පුළුවන් කියන කාරණය ගැන ඔවුන් ඒ තරම් අවධානයක් යොමුකරලා තිබුණේ නැහැ.
මේ නිසා ක්‍රමයෙන් මාක්ස්වාදී චින්තනය ප්‍රතික්ෂේප වුණා. ජාතිකවාදී චින්තනය ඉදිරියට ගෙනියන්න ඔවුන් උත්සාහ කළා. අපේ හිටපු රජවරු පිළිබඳව, ජාතික චින්තනය පිළිබඳව, කැප්පෙටිපොළ වගේ පැරණි වීරයන් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වුණා. මේක කොයිතරම් දුරට ව්‍යාප්ත වුණාද කිව්වොත් නන්දසිරි විජේවීර කියන පුද්ගලයා රෝහණ විජේවීර ලෙස නම වෙනස් කරගන්නා තරමට ව්‍යාප්ත වුණා.
මොකද රුහුණ කියන්නෙ වීරයන් බිහිවුණු ප්‍රදේශයක්. ජාතිකවාදී පුද්ගලයන්ගෙ මට්ටමෙන් ජාත්‍යන්තර මට්ටම අමතක කරලා ජාතිකවාදී පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට යන්න උත්සාහ කළා. මේ නිසාම ධනේෂ්වර ආණ්ඩුව පිළිබඳවත් ඔවුන් තුළ තිබුණේ කිසියම් අඩු තක්සේරුවක් කියලා මම හිතනවා.

රහස් සාකච්ඡා

ඔවුන් කැලෑවල, හේන්වල එකතු වෙලා රහස් සාකච්ඡා සිදු කළා. පන්ති පැවැත්වුවා. විවිධ අවි පුහුණු ලබාදුන්නා. බෝම්බ වැනි දේ අත්හදා බැලුවා. ඉතා ඉක්මනින් ආණ්ඩුව මේ ගැන දැනුවත්‌ වෙලා හිටියා. කොහොම වුණත් මේ කාලය වන විට ජනතා විමුක්ති පෙරමුණේ පහළ ස්ථරයේ සාමාජිකයන්ගෙන් පැමිණි අධික බලකිරීම සහ පෙළඹවීම මත ඔවුන්ට නැගිටීමකට නොයා ඉන්න බැරි වුණා. ආණ්ඩුව සමග ගැටුමකට යන්න සිදු වුණා. ඉහළ ස්ථරය නොදැන, මේ නැගිටීම පහළින් ආරම්භ වුණා කියන දේ සිදු වුණේ එහෙමයි.

කැපකිරීම හා අධිෂ්ඨානය

කොහොම වුණත්, මොනතරම් අඩුපාඩු තිබුණත් හැත්තෑ එකේ කැරැල්ලෙදි මියගිය තරුණ ස‍හෝදරවරුන්ගෙ කැපකිරීම හා අධිෂ්ඨානය පිළිබඳව කිසිම සැකයක් නැහැ. ඔවුන් අවංක චේතනාවෙන්මයි එය සිදු කළේ. අවසාන ඉලක්කය කරා ඔවුන් අධිෂ්ඨානපූර්වකව කටයුතු කළා. නමුත් හැත්තෑ එකේ කැරැල්ලෙන් පසුව එක් දෙයක් සනාථ වුණා. ඒ තමයි ලංකාව වැනි රටක ආණ්ඩුවකට එරෙහිව අවි ගන්න බෑ කියන, විප්ලවයක් කරන්න බෑ කියන මිත්‍යා විශ්වාසය බිඳවැටුණා. ඒ මිත්‍යා විශ්වාසය බිඳවැට්ටවීමේ ගෞරවය හිමිවෙන්නෙ හැත්තෑ එකේ කැරැල්ලෙන් දිවි පිදූ තරුණයන්ටයි.
නමුත් එය ලබාගන්න ගෙවන්නට සිදු වූ වන්දිය අතිවිශාලයි. අනාගත හානිය අතිවිශාලයි. පනස් වසරකට පසුව අද ආපහු හැරිලා බලනකොට හැත්තෑ එකේ කැරැල්ල අපරිණත එකක් විදිහටයි මම දකින්නෙ. නමුත් කැරැල්ලට සම්බන්ධ වූ සියලුදෙනා කෙරෙහි මගේ ගෞරවයක් තිබෙනවා. කොහොම වුණත් මේ කැරැල්ල නිසා දශක ගණනක පසුබෑමක් සමාජයේ ඇති වුණා.

කම්කරු ව්‍යාපාරය විශාල පසුබැස්මක

හැත්තෑ එකේ කැරැල්ල නිසා ලංකාවේ තරුණයන් විශාල ප්‍රමාණයක් රටට අහිමි වුණා. එය රටට පමණක් නොව වාමාංශික ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය විශාල පසුබැස්මක් කරා යොමුවෙන්න හේතු වුණා. එය බොහෝ වධ-වේදනාවලින් කෙළවර වුණු සටනක්. ආණ්ඩුව අමානුෂික විදිහට එය යටපත් කළේ. එය තරුණ පරපුරේ පමණක් නොව කම්කරු ව්‍යාපරය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක, දශක ගණනාවක පසුබැස්මකට යොමුවෙන්න මෙය හේතු වුණා කියලයි මම හිතන්නෙ. අසූ ගණන් වන විට ජනතා විමුක්ති පෙරමුණ නැවත තහනමකට ලක්වෙද්දි, මුළු සමාජයම භීතියට ලක්කරලා, භීෂණයෙන් මුසපත් කරන තැනට පවා යොමුවෙන්නෙ හැත්තෑ එකේ කැරැල්ල නිසා කියලයි මට හිතෙන්නෙ.
හැත්තෑ එකේ කැරැල්ල ආසන්න කාලයේදී අපි තරුණයෝ විදිහට විවිධ වාද-විවාද කරගනිමින්, මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ලොකු කතාබහක හිටියේ. හැත්තෑ එකේ අප්‍රේල් ළංවෙද්දි මේ ගැන අපිටත් ඉවෙන් වගේ දැනිලා තිබුණා. මොකද තිබුණු තත්ත්වය හැටියට මෙවැනි පිපිරීමක් ඇතිවෙයි කියලා අපිටත් හිතුණා. ඒ වෙද්දි විජේවීරවත් අත්අඩංගුවට අරගෙන හිටියේ. ඒ ගැන හොඳම කාරණයක් කියනවා නම් කැරැල්ලට කලින් දවසේ මම ගම්පහ දුම්රිය ස්ථානයෙන් බැහැලා එද්දි ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන මගේ මිත්‍රයෙක් මුණගැසුණා. ඔහු මට කිව්වා, ‘හෙට දවස ඇතුළත උඹලට තේරුම්ගන්න පුළුවන් වෙයි කවුද හරි කියලා.’ හෙට දවස ඇතුළත ප්‍රශ්නය විසඳාගන්නවා කියලා ඔහු මට කිව්වා. නමුත් ඔහුට එය ඔප්පු කර පෙන්වන්න බැරි වුණා. ඊට දවස් කිහිපයකට පසුව ඒ මගේ මිත්‍රයා වේයන්ගොඩ ශාන්ත මරියා විදුහල අසල මරා දමා තිබුණා. ඒ කාලයේ අපි ජනතා විමුක්ති පෙරමුණේ නොවුණත් වාමාංශික පක්ෂවල සිටි නිසා අපේ ගෙවල්වල අයත් බයෙන් හිටියෙ. මගේ තිබුණු පොත්පත් පවා හංගලා තියාගන්න වුණා. අපි විතරක් නෙමෙයි, සාමාන්‍ය මිනිස්සුත් බයෙන් හිටියෙ. ගම්පෙරළිය වගේ පොතක් අතේ තියාගෙන හිටියත් ඒකත් වැරැද්දක් ලෙස දකින කාලයක් ලෙසයි, ඒ කාලය හඳුන්වන්නෙ.

හුදෙකලා කණ්ඩායම්වල ඉදිරි ගමන

අවුරුදු පනහකට පස්සෙ වර්තමානයේ කම්කරු ව්‍යාපාරය දෙස බලන විට, අද කම්කරු ව්‍යාපාරයක් කියලා දෙයක් නැති තත්ත්වයට පත්වෙලා. ඉස්සර වරාය කම්කරුවො, දුම්රිය කම්කරුවො කියන්නෙ පුදුමාකාර ශක්තියක් තිබුණු කම්කරු ව්‍යාපාර. ආණ්ඩුව පවා ඒවට බයයි. දැන් එහෙම සහයෝගයක් නැහැ. කම්කරු ව්‍යාපාර මර්දනය කිරීම පහසුවෙන්න එය එක හේතුවක්. ඒ වගේම කම්කරු නායකයන් ධනේෂ්වර පක්ෂවලට ගිහින් තියෙනවා. කොහොම වුණත් අද වන විට කම්කරු පන්තිය කියලා නියෝජනය කරන පොඩි-පොඩි කණ්ඩායම් තිබුණත්, කම්කරු නායකයෙක් කියලා හඳුන්වන්න පුළුවන් කෙනෙක් ලංකාවෙ නැහැ. මේ වෙනකොට සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය මැරුණු පක්ෂ බවට පත්වෙලා. ඒ නිසා අවුරුදු පනහකට පසුව, බලාපොරොත්තු තියාගන්න පුළුවන් තත්ත්වයක් නැහැ.
ඒ නිසා මේ කැරැල්ලට අවුරුදු පනහක් ගතවෙන කාලයේදී ඉස්සර තිබුණු තත්ත්වය දැන් නැහැ. ලෝකයේ දියුණු රටවල් පවා දැන් වෙනස්වෙලා. සමාජවාදී රටවල් වෙනස් වෙලා. මේ නිසා අපේ රටෙත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජාතීන් සමග ඉදිරියටයෑමක් තමයි සිදුවිය යුත්තේ. එහෙම නැතිව හුදෙකලා කණ්ඩායම්වලට ඉදිරි ගමනක් නැති බවයි මම දකින්නෙ. ඉස්සර තිබුණු මාක්ස්වාදී අධ්‍යාපනය අද නැහැ. ඒ පොත් නැහැ. එවැනි ව්‍යාපාරයක් කොහෙවත් නැහැ. මේ නිසා වත්මන් තරුණ පරපුර ඉදිරියේ ලොකු අභියෝගයක් තියෙනවා.’
Previous articleචීනය මැදිහත්වී මිනීමරු මියන්මාර් ජුන්ටාව බේරා ගත්හැටි
Next articleබලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි : කුරුණෑගල විල්බාවේ පස් කන්ද නීතිවිරෝධීව කැපුවේ කාගේ හයියෙන් ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here