සිව්දෙනෙකු ඝාතනය වූ ඇමැතිගේ පවුලේ ව්‍යාපාරය යළිත් ආරම්භ කිරීමේ උත්සාහයක් ?

(ශාලික විමලසේන)

පුද්ගලයන් සිව්දෙනෙකු මියගිය, වළපනේ ප්‍රාදේශීය සභාවට අයත් නාරංතලාව, මළපට්ටාව නායයෑමට හේතු වූ බවට භූවිද්‍යා හා පතල් කාර්යාංශය මගින් තහවුරු කර ඇති ගල් වළේ කටයුතු නැවත ආරම්භ කිරීමේ සූදානමක් ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

පදියපැලැල්ල – වලපනේ ප්‍රධාන මාර්ගයේ මෙම නායයෑම සිදු වූයේ පසුගිය දෙසැම්බර් 02 දා ය.

අලුත්ම සැලසුම

වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී.රත්නායකගේ ඥාතියකුට අයත් බවට ප්‍රදේශවාසීහු චෝදනා කරන මෙම ගල්වළ සහ ඒ ආශ්‍රිතව ඇති ගල් ක්‍රෂර් යන්ත්‍රයේ කටයුතු නායයෑමෙන් පසු තාවකාලිකව නතර කර තිබිණි. මධ්‍යම පරිසර අධිකාරිය මගින් වලපනේ ප්‍රාදේශීය ලේකම්වරයාට සහ නලපනේ ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැනුම් දී ඇත්තේ මෙම ගල්වළේ කටයුතු නැවත ආරම්භ කිරීම තහනම් කර ඇති බවයි. පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත මේ තීරණය ගන්නා බව ද අදාළ ලිඛිත දැනුම්දීමේ සඳහන් ය.

මේ වන විට අදාළ නායගිය ප්‍රදේශය අවට පදිංචිකරුවන් සියල්ලට ඉවත් වන ලෙස දැනුම් දී තිබේ. භූවිද්‍යා හා පතල් කාර්යාංශයෙන් ඔවුන්ට දැනුම් දී ඇත්තේ එම ප්‍රදේශය තවදුරටත් පදිංචියට නුසුදුසු බවයි. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙසේ පදිංචිකරුවන් ඉවත් කොට, නැවත අදාළ මළපට්ටාව ගල් වළේ කටයුතු ආරම්භ කිරීම සැලසුම වී ඇති බවයි. ඊට අදාළ මූලික මෙහෙයුම් කටයුතු ද මේ දිනවල සිදුවෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

 

ලක්ෂ 4 ට ගෙයක් ගන්න

මේ අතර ජනතාවට පදිංචි ඉඩම්වලින් ඉවත්වීමට උපදෙස් දී තිබුණද, ඔවුන්ට මෙතෙක් කිසිදු වන්දි මුදලක් ද ගෙවා නැත. ඒ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශවාසීන් පවසන්නේ ඉඩම් සොයාගෙන පැමිණ, ආණ්ඩුවෙන් ලබාදීමට යෝජිත රුපියල් ලක්ෂ 4 ක මුදල ලබාගන්නා ලෙස ග්‍රාම නිලධාරිවරයා දැනුම් දුන් බවයි. එහෙත් රුපියල් ලක්ෂ හතරක මුදලකින් ඉඩමක් ගෙන, නිවසක් ඉදිකළ හැකිද යනුවෙන් ඔවුන් අසන ප්‍රශ්නයට මෙතෙක් පිළිතුරක් ලැබී නැත.

ඇමැති සී.බී. චෝදනා ප්‍රතික්ෂේප කරයි

මේ සම්බන්ධයෙන් විමසීමේදී ඇමැති සී.බී.රත්නායක පවසන්නේ මෙවැන්නකි.

ප්‍රශ්නය – මේ වලපනේ ගල් වළ සම්බන්ධයෙන් ඔබටත් චෝදනාවක් එල්ලවෙනවා ?
පිළිතුර – ඔය නායගිය තැන තියෙන ගල් වළ සම්බන්ධයෙන් මට චෝදනා කරන්නෙ ඇයි, ඕකට මගෙ කිසිම සම්බන්ධයක් නෑ.

ප්‍රශ්නය – ඇමැතිතුමා, ඇයි එහෙම නම් ඔහොම කතාවක් මතු වුණේ ?
පිළිතුර – ඔය මගෙ දේශපාලන විරුද්ධවාදීන් කියන කතාවක්නෙ. එච්චරයි. දේශපාලන විරුද්ධවාදිම් කරන අයට හේතු ඕනෙද.

ප්‍රශ්නය – ඔය ගල් වළ කලින් කළේ ඔබතුමාගෙ මාමා, බිරිඳගෙ තාත්තා ?
පිළිතුර – ඔව්. මගේ මාමා මීට අවුරුදු හතකට කලින් නැති වුණා.

ප්‍රශ්නය – හරි. එතකොට මස්සිනාත් කළු ගල් ව්‍යාපාරයක්නෙ කරන්නෙ ?
පිළිතුර – ඔව්. එයාට ගල් ක්‍රෂර් එකක් තියෙනවා. ක්‍රෂර් එකක ගල් කඩන්නෙ නෑනෙ.

ප්‍රශ්නය – හරියට හරි. ඒත් ක්‍රෂර් එකක ගල් කැබලි කරනවා, කුඩු කරනවා. ඒකට ගල් ඕනෙ ?
පිළිතුර – ඔව්. ඒ ගල් මස්සිනා වටෙන් හොයාගන්නවා.

ප්‍රශ්නය – මේ නායගියපු තැන තියෙන ගල් වළත් මස්සිනා ගල් හොයාගන්න තැනක් ?
පිළිතුර – ඒක මං දන්නෙ නෑ.

ප්‍රශ්නය – ඔබතුමාලගෙ පවුලේ ගල් ව්‍යාපාර පවත්වාගෙන යන්න මේ ගල් වළ අවශ්‍යයි. ඒක නිසා අවදානම් කියලා තියෙද්දිත්, නායයනකම්ම වහන්න දුන්නෙ නෑනෙ ?
පිළිතුර – කවුද එහෙම කියන්නෙ.

ප්‍රශ්නය – කියන අයට වඩා වැදගත් කාරණය ?
පිළිතුර – අපිට වැඩක් නෑ, ඔය ගල් වළෙන්.

ප්‍රශ්නය – ඔච්චරටම වැඩක් නැති ගල් වළ වෙනුවෙන් වළපනේ ප්‍රාදේශීය සභාවට බලපෑම් කළේ ඇයි ?
පිළිතුර – මම බලපෑම් කළේ නෑ.

ප්‍රශ්නය – වැරදියි. ඔබ බලපෑම් කළා. ඔබ ලිපි පවා නිකුත් කළා, ඒ වෙනුවෙන් ?
පිළිතුර – රජයේ ආයතන හතක් ඔය ගල් වළ පවත්වාගෙන යන්න නිර්දේශ කරලා තියෙනවා. ඒ වෙලාවෙ මම කිව්වෙ සුදුසු නම් දෙන්න කියලා විතරයි.

ප්‍රශ්නය – නෑ, ඔබ ඊට වඩා බලපෑම් කළා වගේම ඔබට ඒ වෙනුවෙන් වරප්‍රසාද ලැබෙන්න ඇති කියලත් මං යෝජනා කරනවා ?
පිළිතුර – නෑ. ඔය චෝදනා කරන අයට මං එන්තරවාසියක් යවනවා.

ප්‍රශ්නය – නායයෑමෙන් පස්සෙ නැවත ගල් වළේ කටයුතු ආරම්භ කිරීමේ උත්සාහයක් තිබෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා ?
පිළිතුර – නෑ. එහෙම කිසිම උත්සාහයක් නෑ. නැවත ඒවා කරන්න දෙන්නෙ නෑ.

රංබණ්ඩා මාමාගේ කතාව

මේ නායයෑමෙන් සම්පූර්ණයෙන්ම වැළලුණු නිවසේ හිමිකරු වන රංබණ්ඩා මාමා 2018 දෙසැම්බර් 02 වැනිදා පුවත්පතකට පවසා තිබුණේ අනතුරක් අත ළඟ බවයි. ගල් වළේ බෝර දමන විට තම නිවස අවට ප්‍රදේශය දෙදරන බවත්, කන්දේ පස් කුට්ටි එහෙ-මෙහෙ වෙමින් පවතින බවත් ඔවුන්ට දැනී තිබිණි. ඒ බව වගකිව යුතු බලධාරීන්ට කියා තිබිණි. එහෙත් බලධාරීන් කිසිවකු ඔවුන් කී දේ බලන්නට ආවේ නැත. එම නිසා ඊට වසරකට පසු, 2019 දෙසැම්බර් 02 දා නායයෑමෙන් මිය ගිය ඔහු, පවුලේ අනෙකුත් සාමාජිකයන් සමගම මිහිදන් කෙරිණි.

ස්වභාවික විපතක් ද ?

ස්වාභාවික විපත් නිසා සිදු වන මරණ වළක්වා ගැනීමට ඇති ඉඩ අවම ය. උදාහරණයක් ලෙස 2004 දෙසැම්බර් 26 දා ලංකාවට පැමිණි සුනාමි ව්‍යසනය දැක්විය හැකිය. එහෙත් ඉන්පසුව වුවද, සුනාමියක් ආවා නම් සිදු වන්නේ පෙර තත්ත්වයම ය. ජීවිත විනාශය පමණක් තරමක් එහෙ-මෙහෙ විය හැකිය. ඊට හේතුව සුනාමි ආපදා තත්ත්වයන් හඳුනාගැනීම සඳහා රට පුරා වෙරළ ආශ්‍රිත ව ස්ථාපිත කළ මාපක අතරින් සියයට අසූවක් අක්‍රීය ව තිබීම ය. වළපනේ නායයෑම යනු ස්වභාවික විපතක් නොවේ. එය අපරාධයකි. ඒ ගැන අනතුරු ඇඟවීම් රැසක් කර තිබිණි. එය තවමත් අවසන් නැත. යළිත් ඒ උත්සාහය දරමින් සිටී.

අනතුරු ඇඟවීම්

වළපනේ ප්‍රාදේශීය සභාව මේ ගල් වළට වෙළෙඳ බලපත්‍රය ලබා දුන් ආයතනයයි. භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන නවයක් මේ ගල් වළ මෙහි පවත්වාගෙන යා හැකි බවට නිර්දේශ ඉදිරිපත් කර ඇත. ගල් වළ පිහිටි භූමියට ඉහළින් කන්දේ රණවිරුගම පිහිටා ඇත. එහි පවුල් විසි හයක් පමණ පදිංචි ය. මේ ගම්මානයේ පවුල් පදිංචි කරවීමට පෙර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු ගල් වළට බලපත්‍ර දෙන්නට අනුමැතිය දුන් ආයතන කියා ඇත්තේ නිවාස ඉදි කරන්නේ නම් බැකෝ යන්ත්‍රයක් හෝ භාවිත නොකරන ලෙසයි. නිවාස අත්තිවාරම් අතින් කපන ලෙසයි. ඊට හේතුව මේ කලාපය නායයෑමේ අවදානමක් සහිත කලාපයක් ලෙස කාලයක් තිස්සේ හඳුනාගෙන තිබීමයි. එහෙත් එම නිර්දේශ ගල් වළට අදාළ වූයේ නැත.

රුපියල් 3,000 වටිනාකම

මේ ගල් වළ සඳහා වෙළෙඳ බලපත්‍රය ලබා දුන් වළපනේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු 55 ක් සිටී. ඒ අතරින් හත් දෙනෙකු හැර, ඉතිරි සියල්ලන් මේ වැඩේට එකඟතාව පළකර තිබිණි. ඒ පෙර නායයෑම්, නායයෑම් අනතුරු ඇඟවීම් සියල්ල තිබියදී ය. ඒ ප්‍රාදේශීය සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට අනුව මේ ගල් වළෙන් සභාවට මාසිකව ලැබෙන රුපියල් 3,000 ක ආදායම නැති කරගන්නට හැකියාවක් නැත. එම නිසා බලපත්‍රය දීම අත්‍යවශ්‍ය ය. ඔවුන් තමන්ගේ හිත හදාගන්නට නිර්ණායක කිහිපයක් ද තම අනුමැතිය සමග ඉදිරිපත් කර තිබේ.

‘පිපිරවීම් පරීක්ෂාව සඳහා නිශ්චිතව හඳුනාගත් ස්ථාන හතරක කම්පන මාන ස්ථාපනය කොට ඒවා අධීක්ෂණය කිරීම‘ ඒ අතර ඇති මූලික නිර්ණායකයකි. එහෙත් නය යන තෙක් ගල් වළේ බලධාරීන් විසින් එවැනි කම්පන මාන එකක්වත් ස්ථාපිත කර නොතිබිණි. ප්‍රාදේශීය සභාවේ හෝ වෙනත් රජයේ වගකිවයුතු කිසිදු ආයතනයක් එම කම්පන මාන නිරීක්ෂණය කිරීමට පැමිණියේ නැති බව ද ප්‍රදේශවාසීහු පවසති.

දිස්ත්‍රික් ලේකම්ගේ වාර්තාව

නායයෑමෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පසුගිය දෙසැම්බර් 04 දා වළපනේ ප්‍රාදේශීය සභාවට යොමු කළ අංක GANE/LAND/10/25 දරන ලිපියේ 04 කොටසේ සඳහන් වන්නේ මෙසේ ය. ‘දැනටමත් ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වන දැඩි විරෝධය හමුවේ විධිමත් පරීක්ෂණයක් කර, කරුණු අනාවරණය කරගන්නා තුරු සහ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අවසන් වන තුරු ගල් වළේ කැණීම් තාවකාලිකව අත්හිටුවීමට….‘ කෙසේ වෙතත් ඉන්පසු මධ්‍යම පරිසර අධිකාරිය මෙම ගල්වළේ කටයුතු ස්ථිරව නතර කිරීමට අදාළ තමන්ගේ නිර්දේශය ඉදිරිපත් කළේය.
ප්‍රදේශවාසීන් පවසන ආකාරයට යළිත් වැඩ ආරම්භ කිරීමට උත්සාහ දරන්නේ එසේ නීතිමය කටයුතු සිදු වී ඇති ගල් වළේ ය.

i

Previous articleවසංගතයේදී රුධිර පට්ටිකා සංචිත පවත්වාගෙන යාමේ අර්බුදයක් මතුවිය හැකියි – ලේ බැංකුව
Next articleප්‍රධාන පාසල් ළඟවත් සමාජ දුරස්ථභාවය නෑ : සිසුන් කිලෝමීටර් ගණන් පයින් ගිහින්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here