වසංගතයේදී රුධිර පට්ටිකා සංචිත පවත්වාගෙන යාමේ අර්බුදයක් මතුවිය හැකියි – ලේ බැංකුව

කෝවිඩ් වසංගතය පැතිර යාමත් සමග ජංගම ලේ දන්දීමේ කඳවුරු පැවැත්වීම සීමාකිරීමට සිදුව ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

දින 14 පමණ කාලයක් සඳහා ප්‍රමාණවත් රුධිර සංචිතයක් මේ වන විට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව ඇති බවත් වසංගත තත්ත්වය තුළ රුධිර පට්ටිකා සංචිතය පවත්වාගෙන යාමේ අර්බුයක් මතුවිය හැකි බවත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමසීමේදී එදිරිසිංහ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

“ ජාතික රුධිර සංචිතය තුළ මේ දිනවලට ප්‍රමාණවත් රුධිර සංඝටක පවතිනවා. එහිදී ප්‍රධාන සංඝටක දෙකක් පිළිබඳව අපි විශේෂ අවධානය යොමුකරනවා. ඒ තමයි රතු රුධිරාණු සංචිතය සහ රුධිර පට්ටිකා සංචිතය. සති දෙකක කාලයක් පමණ කිසිම ගැටළුවකින් තොරව රතු රුධිරාණු සංචිත පවත්වාගෙන යන්න පුළුවන් මට්ටමක තිබෙනවා . නමුත් රුධිර පට්ටිකාවල තිබෙන සුවිශේෂිභාවය නිසා අපිට රුධිර පට්ටිකා සංචිත දින 05 ට වඩා තියාගන්න බැහැ. අපිට අභියෝගයක් වී තිබෙන්නේ එයයි.  රුධිර සංචිතය යථා පරිදි  පවත්වාගෙන යන්න රුධිර ඒකක 600 – 800 අතර ප්‍රමාණයක් එකතුකරගන්න අවශ්‍යයි.

ජාතික රුධිර සංචිතයට අවශ්‍ය රුධිරය විශාල ප්‍රමාණයක් එකතු කරගන්නේ ජංගම ලේ දන්දීමේ කදවුරු හරහායි. නමුත් කෝවිඩ් වසංගතය පැතිරයාමත් සමග ජනතාව අතර සිදුකරන ජංගම රුධිර කඳවුරු පැවැත්වීම අභියෝගාත්මක තත්වයකට පැමිණ තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ විශාලම රුධිර සංවිධාන එකතුව තිබෙන දිස්ත්‍රික්කයක්. නමුත් ඒ සියල්ල නවත්වලා තිබෙනවා. ගම්පහ ප්‍රදේශයේ නීරෝගී රුධිර දායකයෝ ඉන්නවානම් ආසන්නතම රුධිර මධ්‍යස්ථානයට හෝ නාරාහේන්පිට ජාතික රුධිරය මධ්‍යස්ථානයට කතාකොට වෙලාවක් වෙන්කරගැනීමෙන් පසුව තමන්ට රුධිර පරිත්‍යාග කරන්න අවස්ථාව තිබෙනවා කියලා අපි දැනුම්දෙන්න කැමතියි.

ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත දිස්ත්‍රික්කවල රුධිර කඳවුරු පැවැත්වීම සම්බන්ධයෙන් ආරක්ෂිත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව එක කඳවුරක දායකයින් සංඛ්‍යාව උපරිම 50 ට සීමාකරන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ. දිවයින පුරා පිහිටි අපගේ ප්‍රාදේශිය රුධිර මධ්‍යස්ථාන උදෑසන 8.00 සිට සවස 4.00 දක්වාත් නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය උදෑසන 8.00 සිට 6.00 දක්වා විවෘත කර තිබෙනවා. මෙම ආයතන සමග සම්බන්ධ වී රුධිර ලබාදීමට අවස්ථාව තිබෙනවා”

Previous articleසෘණෘත්මක මාධ්‍ය භාවිතාවට මහජන විරෝධය – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ
Next articleසිව්දෙනෙකු ඝාතනය වූ ඇමැතිගේ පවුලේ ව්‍යාපාරය යළිත් ආරම්භ කිරීමේ උත්සාහයක් ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here