මුතුරාජවෙල සංවර්ධනය පිටුපස කූඨ අරමුණක් : සංරක්ෂණයට ඒකාබද්ධ කමිටුවක් – කෝපා තීරණයක් ගනී !

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිවයුතු සියලු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) තීරණය කර තිබේ.
එම කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි සති දෙක තුළ රැස්වීමට සහ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට එහිදී එකඟතාවය පළ වී ඇත.
මෙම තීරණය ගනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදීය.
1996 අංක 947/13 දරන ගැසට් පත්‍රය මගින් මුතුරාජවෙල අභයභූමියක් ලෙස ගැසට් කර තිබුණද එම අභයභූමියේ මායිම් ලකුණු කිරිමක් මේ දක්වා සිදු නොවීම පිළිබඳව මෙහිදී කමිටුවේ අවධානයට යොමු වී තිබේ. එයට අමතරව මුතුරාජවෙල පරිසර පද්ධතිය හෙක්ටයාර 2569ක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය හඳුනාගෙන තිබුණද හෙක්ටයාර 1285ක් පමණක් අභයභූමිය ලෙස නම් කිරීමට හේතු කවරේද යන්න පිළිබඳවද කමිටුව එහිදී විමසා ඇත.
1990 ඔක්තොබර් 15 දින ශ්‍රී ලංකාව එළැඹි රම්සා සම්මුතියට අනුව මෙම තෙත් බිම් කලාපය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව කමිටුවේ අවධානය යොමු වී ඇති අතර මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය සහ මුතුරාජවෙල සුරැකීමේ අගරදගුරු පරිසර කමිටුව යන සංවිධාන නියෝජිතයන් විසින් මෙහිදී මුතුරාජවෙල සංරක්ෂණය පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීමක්ද සිදු කර තිබේ.
හෙක්ටයාර 6000කට අධික එහි ඉඩම් ප්‍රමාණය සහ එම අභයභූමිය තුළ පවත්නා පුද්ගලික ඉඩම් සහ රජයේ ඉඩම් වල ප්‍රමාණය තවමත් නිසි අයුරින් හඳුනා ගැනීමට අදාල ආයතන අසමත් වීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු වී ඇත.
මුතුරාජවෙල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආදී ආයතන වෙත ලැබුණද ඒවා සම්බන්ධ විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානයට ලක් වී තිබේ.
එයට අමතරව ජෛව විවිධත්වයට අදාළ සමීක්ෂණ හා පර්යේෂණ වලින් ලැබෙන ප්‍රතිඵල, වනජීවී සංරක්ෂණයට අදාල සියලුම අංශ අතර යාවත්කාලීනව හුවමාරු කරගැනීමේදී අදාල ආයතන අතර ඇති දුර්වලතාවන් මගහරවා ගතයුතු ආකාරය පිළිබඳව කමිටුව සිය අදහස් පළ කර ඇත.
ශ්‍රී ලංකාවට ආවේණික ශාක වාණිජකරණය නැවැත්වීමට අවශ්‍ය නීතිමය අවකාශය තවදුරටත් පුළුල් කළ යුතු බවද සත්ව විශේෂයන්හි ජාන මංකොල්ලය නැවැත්වීමට විශේෂ සම්බන්ධිකරණ ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය බවද මෙහිදී අවධාරණය කර තිබේ.
මෙම රැස්වීමට එම කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක, ජගත් පුෂ්පකුමාර, මොහොමඩ් මුසම්මිල්, බී.වයි.ජී. රත්නසේකර, වෛද්‍ය උපුලු ගලප්පත්ති, හරිනි අමරසූරිය, වීරසුමන වීරසිංහ සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මුතුරාජවෙල සුරැකීමේ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක්ද සහභාගී වී ඇත.

පසුබිම් කතාව

මුතුරාජවෙල අභයභූමි කලාපය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට ආණ්ඩුව පසුගිය සති කිහිපයක සිට උත්සහ කළ අතර එලෙස ආණ්ඩුව සූදානම් වන්නේ එය ආරක්ෂා කිරීමට නොව එහි සංවර්ධන කටයුතු වේගවත් කිරීමේ කූඨ අරමුණ සහිතව බවට පරිසරවේදීහු චෝදනා කළහ.
රැම්සා තෙත්බිමක් ලෙස ද ප්‍රකාශයට පත්කර ඇති, බස්නාහිර පළාතේ ඇති මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා එය නාගරික සංවර්ධන අධිකාරියට ලබාදෙන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
මුතුරාජවෙල අභය භූමිය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ය. මේ පනතේ 2(2) උප වගන්තියට අනුව 1996 ඔක්තෝබර් මස 31 වැනි දින අංක 947/13 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් මේ තෙත් බිමේ හෙක්ටයාර 1028.62ක භූමි ප‍්‍රදේශයක් මුතුරාජවෙල අභයභූමිය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. මීට අමතරව ජාතික පාරිසරික පනතේ 24(ඇ) හා 24(ඈ) උපවගන්තිවලට අනුව මුතුරාජවෙල ස්වාරක්ෂක කලාපය ලෙස වෙන්කර ඇති තෙත් බිම් ප‍්‍රදේශය ලංකාවේ ප‍්‍රථම පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ. ඒ 2006 ඔක්තෝබර් මස 13 වැනි දිනැති අංක 1466/26 දරන ගැසට් නිවේදනය මගිනි. මෙම ගැසට් නිවේදනයෙන් ස්වාරක්ෂක කලාපයේ තෙත් බිම් හෙක්ටයාර 206.678ක් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත. 2018 සැප්තැම්බර් 25 වැනි දිනැති අංක 2090/11 දරන ගැසට් නිවේදනය මගින් මුතුරාජවෙල තෙත් බිමේ තවත් හෙක්ටයාර 162.10ක් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශයට එක්කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ තෙත් බිම් පද්ධති 12න් එකක් ලෙසද හඳුනාගෙන ඇති මුතුරාජවෙල තෙත් බිම පාරිසරික කාරණා ගණනාවක් හේතුවෙන් සුවිශේෂී වේ. සමස්ත මුතුරාජවෙල ප‍්‍රදේශය නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වන සාගර මත්ස්‍ය විශේෂ, ඉස්සන් හා කකුළුවන් විශේෂවල ප‍්‍රධාන බෝවීමේ ප‍්‍රදේශයකි. එමෙන්ම කඩොලාන බිම්, ලවණ වගුරු බිම්, ලවණ ජලය හා මිරිදිය ජලය සහිත ඇළ මාර්ග, තෘණ භූමි, පඳුරු වනාන්තර, ගංගාශ්‍රිත වනාන්තර ආදී පරිසර පද්ධති රාශියකි. මෙම පරිසර පද්ධතිවල ශාක කුල 66කට අයත් ශාක විශේෂ 194ක් වාර්තා වී ඇති අතර, සමනළයන්, බත්කූරන්, මත්ස්‍යයන්, උභයජීවීන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ 7ට අයත් විශේෂ 449ක් පමණ මේ පරිසර පද්ධතියෙන් වාර්තා වී තිබේ. ඉන් විශේෂ 27ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ ලෙස හඳුනාගෙන ඇති අතර, නේවාසික පක්ෂි විශේෂ 86ක් පමණ මෙහි ජීවත් වේ. එමෙන්ම සංක‍්‍රමණික පක්ෂි විශේෂ 43ක් පමණ මේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
Previous articleදින 90කට – 53කට පසු මාවනැල්ලෙන් එළියට ආ කොරෝනා මරණ දෙකක්
Next articleකවි පොතක් ලීවාට අත්අඩංගුවට ගත් තරුණයාගේ ජීවිත ආරක්ෂාව සහතික කරන්නැයි ඉල්ලති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here