දින 90කට – 53කට පසු මාවනැල්ලෙන් එළියට ආ කොරෝනා මරණ දෙකක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (28) නිකුත් කළ කොරෝනා මරණ දත්ත වාර්තාවේ මීට දින 90කට හා දින 53කට පෙර සිදුවූ මරණ දෙකක් සදහන් කර තිබේ.
ඒ ඉකුත් දෙසැම්බර් 29 සිදුවූ මරණයක් හා ඉකුත් පෙබරවාරි 04 වැනිදා මාවනැල්ල මූලික රෝහලේ සිදූ වූ මරණ දෙකකි. ඉන් එක් පුද්ගලයකු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර අනෙක් පුද්ගලයා මාවනැල්ලේ පදිංචි පුද්ගලයෙක් වෙයි.
එහි මෙසේ සදහන් වෙයි.
“කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මාවනැල්ල මුලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී පෙබරවාරි මස 04 වැනිදින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදිත තත්වය සහ නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයයි.
මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් මස 29 දින මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙනුයේ කොවිඩ් ආසාදනය සහ උග්‍ර දියවැඩියා තත්වයයි.“

 

 

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔහු රැස්වීමක සිටින බැවින් සම්බන්ධ කළ නොහැකි බව දුරකථනයට ප්‍රතිචාර දැක්වූ නිලධාරීනිය පැවසුවාය. එමෙන්ම මේ පිළිබඳ විමසීමට වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගත් අතර තමා ⁣රැස්වීමක සිටින බැවින් පසුව අමතන ලෙස පැවසීය.
කොරෝනා ආසාදිතව ශ්‍රී ලංකාවේ මිය ගිය මුළු සංඛ්‍යාව අද වන විට 561ක් වන අතර ඉන් 349 දෙනකු පිරිමි පුද්ගලයන් වේ. මරණ 212ක් කාන්තාවන් වේ. මින් සැලකිය යුතු සංඛ්‍යාවක් රෝහලට පිට මරණ ලෙස වාර්තා වී තිබිණි එමෙන්ම වැඩි පිරිසක් වයස 61ත් 75ත් අතර අය වේ.
වයස අනුව කොරෝනා මරණ ප්‍රතිශතය
  • වයස අවුරුදු 15ට අඩු = 1%
  • වයස අවුරුදු 16 – 30 = 1%
  • වයස අවුරුදු 31 – 45 = 6%
  • වයස අවුරුදු 46 – 60 = 19%
  • වයස අවුරුදු 61 – 75 = 42%
  • වයස අවුරුදු 76 – 90 = 29%
  • වයස අවුරුදු 90ට වැඩි = 2%

Previous articleවිදුලි වැටට කෝටි ගණන් වැය කළත් අලි-මිනිස් ගැටුමට තාම විසඳුමක් නෑ – කෝපාවේදී හෙළි වෙයි 
Next articleමුතුරාජවෙල සංවර්ධනය පිටුපස කූඨ අරමුණක් : සංරක්ෂණයට ඒකාබද්ධ කමිටුවක් – කෝපා තීරණයක් ගනී !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here