ආගමික හෝ වාර්ගික වශයෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමේ තීරණයක්

යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 23දා රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි. පවතින නීතිය අනුව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනු ලබන්නේ ජාතික පක්ෂයක් ලෙස බැවින් ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කෙරෙන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණය වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇත්නම්, ඒවා සංශෝධනය කිරීමට මෙන්ම එම පක්ෂවල ව්‍යවස්ථාවේ එවැනි වගන්ති ඇතුළත් වන්නේ නම් අදාළ දේශපාලන පක්ෂ දැනුවත් කර, ඒවා සංශෝධනයට සාධාරණ කාලසීමාවක් ලබාදීමට ද මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී තීරණය කර තිබේ.
කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් සහ අදාළ රැස්වීමේදී ගන්නා ලද තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
01. පවතින නීතිය අනුව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනු ලබන්නේ ජාතික පක්ෂයක් වශයෙන් බැවින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී එම පක්ෂවල නිල නාම යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන්නේ නම් එවැනි පක්ෂ ලියාපදිංචි නොකිරීම.
02. එසේම දැනට ලියාපදිංචි කොට ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම එවැනි ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කොට තිබේ නම්, ඒවා සංශෝධනය කිරීම හා එම පක්ෂවල ව්‍යවස්ථාවල ද එවැනි වගන්ති ඇතුළත් වන්නේ නම් එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි හෙයින් ඒ පිළිබඳව අදාළ දේශපාලන පක්ෂ දැනුවත් කර, එවැනි පක්ෂවල නිල නාම හා පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය සඳහා සාධාරණ කාල සීමාවක් ලබාදීම.
03. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තැනැත්තන්ට මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී ඡන්ද බලය ලබාදීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ යෝජනාවකට අනුව 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතට අදාළ සංශෝධන අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා ජනාධිපතිතුමාගේ නියමය පරිදි 2021.03.16 දිනැති ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇති අතර, එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට කටයුතු කිරීම.
04. 1985 වර්ෂයේ සිට උතුරු-නැගෙනහිර ප්‍රදේශවල පැවැති යුදමය වාතාවරණය හේතුකොටගෙන යාපනය හා වන්නි මැතිවරණ කොට්ඨාසවල ජීවතුන් අතර නොමැති බවට තහවුරු වූ තැනැත්තන් පිළිබඳ තොරතුරු රජයේ ගැසට් පත්‍රයේ, මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ, අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල / දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල / ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරි කාර්යාලවල 2021.04.23 දක්වා ප්‍රදර්ශනය කොට තවදුරටත් එම තැනැත්තන් ජීවතුන් අතර සිටී නම් 2020 ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීම.
Previous articleපළාත් සභා පැරණි ක්‍රමයට – කෙටුම්පත අප්‍රේල් අවසානයේ පාර්ලිමේන්තුවට !
Next articleජිනීවා : රටට එරෙහි යෝජනාවක් ද – අපරාධකරුවන්ට එරෙහි යෝජනාවක් ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here