පළාත් සභා පැරණි ක්‍රමයට – කෙටුම්පත අප්‍රේල් අවසානයේ පාර්ලිමේන්තුවට !

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් වන යෝජනා සහිත වාර්තාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මේ මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය 22දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබිණි. පැරණි ක්‍රමයට එය පවත්වන්නේ නම් කළ යුත්තේ කුමක්දැයි වාර්තා කිරීමට එහිදී ඇමති අනුකමිටුවක් ද පත්කෙරිණි.
පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් යුත් මේ ඇමති අනුකමිටුවේ වාර්තාව ඉදිරි කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත ය. පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට අදාළ පනතක් මේ වන විට පවතින නිසා එය නැවත බලාත්මක කිරිමට යෝජනා කිරීමේ පනත් කෙටුම්පතක් අප්‍රේල් අවසාන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කමිටුව තීරණය කර තිබේ.
1987 පළාත් සභා මැතිවරණ පනත අප්‍රේල් අග වන විට බලාත්මක කළහොත් ජුනි මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මාධ්‍යයට පවසා තිබිණි. පසුගිය ආණ්ඩුව සම්මත කළ පළාත් සභා නව පනත දෝෂ සහිත බවත්, එය කාලීන නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මැති-ඇමතිවරුන් සමග පැවැති රැස්වීමකදී පෙන්වා දී තිබිණි.
නව පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට ගියහොත්, එය සම්මත කර ගැනීමට කල් ගත වන බැවින් පැරණි පනත ක්‍රියාත්මක කිරීමට අදාළ පනතක් ගෙන ඒම මගින් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙන බව ආණ්ඩුවේ තීරණය වී තිබේ. ඒ අනුව නව පනත අහෝසි වී පැරණි පනත බලාත්මක වන බවට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එය සරල බහුතරයකින් සම්මත කරගත හැකි බව ආණ්ඩුවට සමීප නීති විශාරදයන් විසින් ද ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here