මෛත්‍රී ජනපති සමයේ ආරක්ෂක ලේකම්වරුන් පස් දෙනෙක් කටයුතු කරලා

(හසරිඳු රාජපක්ෂ)

සතිපතා පැවැත්වීමට නියමිත බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම නිසි පරිදි නොපැවැත්වීම තුළින් සිය ධූර කාලයේ සේවය කළ සියලුම ආරක්ෂක ලේකම්වරුන් ඔවුන්ගේ වගකීම් පැහැරහැර ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එම රැස්වීම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේදී ඔවුන් තමන් නොමග යවා ඇති බව ද සිරිසේන මහතා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.

2015 සිට 2019 දක්වා කාලය තුළ ජනාධිපති ලේකම්වරුන් තිදෙනකු සහ ආරක්ෂක ලේකම්වරුන් පස් දෙනකු වරින් වර සේවය කිරීමට හේතුව කුමක්ද යන්න සාක්ෂි විමසීම අරඹමින් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසු අතර ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

“ජනාධිපති ලේකම්වරුන් අතර පළවෙනියා නේ පී.බී අබේකෝන්. ඔහු විශ්‍රාම ගිහින් ඉන්නකොට තමයි මම ඔහුට මේ වගකීම දුන්නේ. ඊට පස්සෙ ඔහු ආයෙත් කිව්වා විශ්‍රාම සුවයෙන් ඉන්න ඕනේ කියලා. ඒ ඉල්ලීමට ඉඩ දුන්නා. දෙවෙනියා ඔස්ටින් ප්‍රනාන්දු මහත්තයා. ඔහු හොදින් කටයුතු කරමින් ඉන්න අතරේ පුරප්පාඩු වෙලා තිබුණ ඉන්දියාවේ තානාපති ධූරයට යන්න ඔහුට කැමැත්තක් තිබෙන බව කිව්වා. ඒ අනුව ඔහුව ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කළා. ඉන් පසුව තමයි උදය ආර්. සෙනෙවිරත්න ජනාධිපති ලේකම් ලෙස පත් කළේ,”

එමෙන්ම තමන් යටතේ සේවය කළ ආරක්ෂක ලේකම්වරුන් පස් දෙනා වූ බී.එම්.යූ.ඩී බස්නායක, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න, හේමසිරි ප්‍රනාන්දු සහ ජෙනරාල් ශාන්ත කෝට්ටගොඩ යන අය පත්කිරීම සඳහා බලපෑ හේතු ගණනාවක් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

“මාධ්‍ය ඉන්න නිසා එක් එක් පුද්ගලයා පත්කිරීම සඳහා බලපෑ හේතු වෙන් වෙන්ව කියන්න බැහැ. නමුත් මම පොදුවේ කියන්නම්. ආරක්ෂක ලේකම් කියන්නේ රටේ තියෙන ලේකම් තනතුරුවලින් ප්‍රධානතම තනතුරක්. මේ යටතේ තමයි ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තියෙන්නෙ. හමුදා හතරක පරිපාලනය ඔහුට තමයි ලැබෙන්නේ. නමුත් මම දැකපු කාරණයක් තමයි මම කියපු අර නිලධාරින් තමන්ගේ යටතට ආවම ආරක්ෂක ලේකම්වරයාගේ මානුෂීය බව නැතිවෙනවා. ඒ නිසා ඒ අය අතර යම් යම් ප්‍රශ්න ඇති වුණා” යැයි ඔහු කීවේය.

එමෙන්ම හමුදාපතිවරුන්ට ඇති වුණ හිත් රිදීම් කිහිපයක් ද මෙලෙස ආරක්ෂක ලේකම්වරුන් නිරන්තරයෙන් ඉවත් කිරීම සහ පත් කිරීම සඳහා හේතු වූ බව ද ඔහු ප්‍රකාශ කළේය. තවත් සමහරුන් සෞඛ්‍ය හේතූන් මත ධූරයෙන් ඉල්ලා අස් වූ බවත් සමහරුන් විවිධ ආයතනික ගැටළු හේතුවෙන් ඉවත් වූ බවත් ඔහු කීවේය.

ආරක්ෂක ලේකම්වරුන් වරින් වර ඉවත් කිරීමට බලපෑ තවත් හේතු කිහිපයක් කොලයක සටහන් කර හිටපු ජනාධිපතිවරයා රහසිගතව කොමිසමට භාරදුන්නේය.

එලෙස ආරක්ෂක ලේකම්වරුන් නිරන්තරයෙන් මාරු කිරීම නිසා ඔවුන් සමඟ කටයුතු කරන ජාතික ආරක්ෂාවට සම්බන්ධ නිලධාරීන්ට යම් යම් ගැටළු ඇති වූ බවට කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් අය පවසා තිබේ නම් එය පිළිගන්නේ ද යන්න අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවාය.

ඊට පිළිතුරු වශයෙන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ලේකම්වරු මාරුවීම හරහා එවැනි ගැටළු ඇති නොවූ සහ නොවන බවයි. “මං දන්න තරමට සෑම අඟහරුවාදවකම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වුණා. එතන ජාතික ආරක්ෂාවට සම්බන්ධ හැම කරුණක්ම කතා කරනවා. එතනට ඔක්කොම එකතුවෙනවානෙ. ආරක්ෂක ලේකම් වෙනස් වුණා කියලා දැනුම්වත් වීමේ ගැටලුවක් වෙන්නේ නැ. ඊළඟට ආරක්ෂක කවුන්සලයේ ආයෙත් ඒවා කතාකරන නිසා ඔවුන් යළි දැනුවත් වෙනවා,”යැයි සිරිසේන මහතා පැවසීය.

ආරක්ෂක කවුන්සලයේදී හමුවීමට අමතරව ආරක්ෂක ලේකම්වරයා සති දෙකකට වතාවක් හෝ කැඳවා රටේ ආරක්ෂාව හා සම්බන්ධ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් පියවර ගත් බවත් ඔහු කීවේය.

“ඔබතුමා දන්න විදිය ඒක වුණාට මේ කොමිසමේ දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් ඊට පරස්පර සාක්ෂි ඉදිරිපත් වුණා. හොදයි ඔබතුමා කියන විදියට සතිපතා අඟහරුවාදා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම් පැවැත්වුණා කියල ඔබ හිතනවද? ” යැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සිරිසේන මහතාගෙන් විමසුවාය. ඊට පිළිතුරු වශයෙන් ඔහු පැවසුවේ තමන් දන්නා තරමින් එය සෑම සතියකම රැස් වූ බවයි. “මට ආරක්ෂක කවුන්සලයේදී ආරක්ෂක ලේකම්වරුන් කියනවා බුද්ධි රැස්වීම පැවැත්වුවා කියලා,” යැයි ඔහු සඳහන් කළේය.

මේ වනවිට ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත්ව ඇති 2015 ජූලි 28 දින සිට 2019 ජූලි මස 21 දක්වා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වූ දින සටහන් සම්බන්ධයෙන් වන වාර්තාවක් මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළාය.

එමගින් අනාවරණය වුයේ 2016 අගෝස්තු මාසයේ හැර අන් කිසිදු මාසයක බුද්ධි සමාලෝචන රැස්වීම සතිපතා පවත්වා නොමැති බවයි. 2017 වසරේ මැයි මාසයේ සති හතර අඛණ්ඩව එම රැස්වීම පවත්වා ඇති නමුත් එම වසරේ සෙසු එකඳු මාසයක හෝ අඛණ්ඩව බුද්ධි රැස්වීම් පවත්වා නැති බව එම වාර්තා වල සඳහන් වන බවට ප්‍රකාශ විය.

2018 සහ 2019 යන වර්ෂවල අඛණ්ඩව බුද්ධි රැස්වීම පැවැත්වූ එකදු මාසයක් හෝ එම ලේඛණයේ අන්තර්ගත නොවූ අතර 2018 වසරේ අප්‍රේල්, ජුනි, අගෝස්තු, සැප්තැම්බර් සහ නොවැම්බර් යන මාසවල එක් දිනක හෝ බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම පවත්වා නැතැයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ජනාධිපති කොමිසමේ අවධානයට යොමුකළාය.

එහි ඇති කරුණු සම්බන්ධයෙන් දරන අදහස කුමක්දැයි විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ආරක්ෂක ලේකම්වරුන් වරින් වර ඉවත් කිරීමට තමන් ජනාධිපතිවරයා ලෙස ගත් තීන්දුව නිවැරදි බව එමගින් හැඟී යන බවයි. සතිපතා බුද්ධි රැස්වීම නොපැවැත්වීම හරහා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන මූලිකම කරුණු හිටපු ආරක්ෂක ලේකම්වරුන් විසින් පැහැර හැරනු ලැබ ඇති බවත් ඔහු සඳහන් කළේය.

“මේකෙන් පෙනී යනවා මම ආරක්ෂක ලේකම්වරුන් අයින්කිරීම නිවැරදි කියලා. සතිපතා බුද්ධි රැස්වීම නොපැවැත්වීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කළයුතු මූලිකම දෙය පැහැර හැරීමක් ලෙස තමයි හැඟෙන්නෙ. මටත් බොරුව තමයි කරලා තියෙන්නෙ.” යැයි හෙතෙම පැවසීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය රජය සමයේදී විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලනඥයින් සමග එක්ව හමුදා සහ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කළ බවද සිරිසේන මහතා ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළේය.

යුද්ධය පැවති සමයේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් අධිකරණයට ගෙන යාමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බවත් ඒ බව ජනාධිපතිවරයා ලෙස තමාට දැනුම් නොදුන් බවත් හෙතෙම කීවේය .

එසේ කරන ලද්දේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී තිබූ පැමිණිල්ලක් අනුව බවත් එම කොමිසමේ එවකට අධ්‍යක්ෂවරිය කොමිසමේ කාර්‍යයන් සිදු කිරීමට අමතරව දේශපාලන කටයුතුවලද නිරත වූ බවත් සිරිසේන මහතා පැවසීය. ” පසුව මම ප්‍රසිද්ධියේ කිව්වා ඇයගේ ක්‍රියාකලාපය පිළිබඳව. ඊට පසුව ඇය ඉල්ලා අස් වුණා. ” යැයි ඔහු සඳහන් කළේය.

එමෙන්ම වර්තමාන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක, බ්‍රිගේඩියර් සුරේෂ් සලෛ අත්අඩංගුවට ගැනීම සඳහා ද සූදානමක් පවතින බව දැනගන්නට ලැබුණු හෙයින් එවකට හමුදාපතිවරයා සමග සාකච්ඡා කොට ඔහු මැලේසියාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙස පත්කිරීමට ද තමන් පියවර ගත් බව හෙතෙම කීවේය.

ආරක්ෂක මණ්ඩලය හමුවේ එක් දිනක සුරේෂ් සලේ මහතා විසින් ඉස්ලාම් අන්තවාදී සංවිධාන පිළිබඳව සිදු කළ යම් ඉදිරිපත් කිරීමක් ඔහු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ විරෝධය මතු වීමට හේතු වූ බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

පවතින ආණ්ඩුව තුළ යම් යම් මත ගැටුම් ඇතිවීමට සහ මුස්ලිම් ප්‍රජාව තුළ මේ හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවට හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අදහස වූ බව හිටපු ජනාධිපතිවරයා සදහන් කළේය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මණ්ඩලය රැස්වීම්වලට සහභාගි වූවත් ඔහු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එක් වචනයක් හෝ කතා කර ඇති බවක් තම මතකයේ නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පැවසීය.

“හමුදා සහ බුද්ධි නිලධාරීන් වෙනුවෙන් එවකට රජයේ පෙනීසිටියේ මම. ඒ ආකාරයෙන් විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලනඥයින්ගේ ඕනෑකම් මත විමර්ශන පවත්වාගෙන ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවලා මම ඉතා තදින් ඔවුන්ට දෝෂාරෝපණය කළා” යැයි හිටපු ජනාධිපතිවරයා කීවේය.

හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඔවුන් විසින් සිදුකරගෙන යනු ලැබූ යම් යම් විමර්ශන සම්බන්ධයෙන් විමසීමක් කළේ ද යන්න අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

මීට පෙර කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දී තිබූ සාගල රත්නායක මහතා පවසා තිබුණේ සිය ධූර කාලය තුළ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් සිදු වෙමින් පැවති විමර්ශන සම්බන්ධයෙන් විවිධ බලපෑම් සිදු කළ බවයි. එම බලපෑම්වල ප්‍රතිඵලයක් වශයෙන් තමන් එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කරනු ලැබූ බව දැනුවත්ව සිටියේද යන්න කොමිෂන් සභාවේ සාමාජිකයින් සිරිසේන මහතාගෙන් විමසු අතර  එයට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කළේ තමන් ඒ පිළිබඳව දැනුවත්ව නොසිටි බවයි.

එම නිලධාරීන් විමර්ශන සිදු කරගෙන ගියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන සහ පොලිස් බලතලවලට අනුව නේදැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එම විමර්ශන ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොවූ බවයි.

“ස්වාධීනව අදාළ විමර්ශන සිදු වුණා නම් ප්‍රශ්ණයක් නැහැ. නමුත් මට පැහැදිළිවම තොරතුරු ලැබුණා ඔවුන් අදාළ විමර්ශන සිදු කරගෙන යන්නේ විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලනඥයින්ගේ අවශ්‍යතාවය මත කියලා. ඒ නිසයි ඔවුන්ව කැඳවලා අවවාද කළේ එහෙම කරන්න එපා කියලා” යැයි සිරිසේන මහතා පැවසීය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීම දේශපාලන යක්ෂයෙකු සමග කටයුතු කිරීමක් වැනි වුවත් රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය පිළිබඳව සිතා තමන් කෙසේ හෝ ඔහු සහ එම ආණ්ඩුව සමග කටයුතු කරගෙන ගිය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

2018 වසරේ සිදු වූ ආණ්ඩු පෙරළිය නිසා ඇති වූ දේශපාලන අස්ථාවරත්වය නිසා අන්තවාදී ක්‍රියාකාරකම් වල නිරත වූවන්ට හිතකර ආකාරයෙන් බලපා තිබෙන බව කරුණු අනාවරණය වී තිබේ නම් එය පිළිගන්නේද යන්න අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසු අතර ඊට පිළිතුරු වශයෙන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ දේශපාලනික වශයෙන් ගැටළු ඇති වූ නමුත් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අනිකුත් ආයතන ඔවුන්ගේ කාර්‍යයන් සිදු කරගෙන ගිය බවයි. එම ආයතනවල කටයුතුවලට කිසිදු බාධාවක් නොවූ බවත් ආයතනික වශයෙන් එම ආයතන හරහා ඉටු විය යුතු රාජකාරි නිසි පරිදි ඉටු වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් එම තත්ත්වය තුළ නිලධාරීන්ට විවිධ ගැටළුවලට මුහුණපෑමට සිදු වූ බවට වන කරුණු කොමිෂන් සභාව හමුවේ අනාවරණය වී තිබෙන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළාය. හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තමන් එය කිසිසේත්ම පිළිනොගන්නා බවයි.

“නිලධාරීන්ට කිසිදු ගැටළුවක් ඇති වුණේ නැහැ. ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ජාතික ආරක්ෂක කවුන්සිලය ඇතුළු තැන්වලදී ඕනෑ තරම් අවස්ථාව ලබා දී තිබුණා” යැයි ඔහු පැවසීය.

2015 වසරේ ජනවාරි මස ජනාධිපති ධූරයට පත්වී සතියක් වැනි කෙටි කාලයක් තුළ අග්‍රාමාත්‍යවරයා සහ තමන් අතර මතගැටුම් ආරම්භ වූ බවත් හෙතෙම කීවේය.

“ඔහු ඇවිල්ලා කිව්වා මහ බැංකුවේ අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන්න ඕනෙ කියලා. නමුත් මම ඒකට කැමති වුණේ නැහැ. ඔහු දිගින් දිගටම කිව්වා මහේන්ද්‍රන් තමයි ඊට සුදුසුම පුද්ගලයා කියලා. මටත් අවශ්‍ය වුණේ නැහැ බලයට පත් වෙලා සතියක් වැනි කාලයක් තුළ ගැටුමක් ඇති කරගන්න. ඒ නිසා මම ඒකට ඉඩ දුන්නා” යැයි ඔහු සඳහන් කළේය.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කිරීමෙන් පසුව වික්‍රමසිංහ මහතා තමන් සමග දැඩි වෛරයෙන් පසු වූ බවද හෙතෙම කීවේය.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවේ කිසිදු දේශපාලන පක්ශයක සාමාජිකයෙකු නොවී ජනාධිපතිවරයා ලෙසට කටයුතු කරන බවට සිරිසේන මහතා එකඟ වූ බවට හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් කොමිෂන් සභාව හමුවේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සිරිසේන මහතාගෙන් විමසුවාය. ඊට පිළිතුරු වශයෙන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් තමන් එවැනි කිසිදු එකඟතාවයකට නොපැමිණි බවත් ය.

“හැසිරීම නිසා පොලිස්පතිට ආරක්ෂක මණ්ඩලයට එන්න එපා කිව්වා”

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ යම් යම් හැසිරීම් හේතුවෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගී නොවන ලෙසට තමා හිටපු පොලිස්පතිවරයා දැනුම්වත් කළ බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

නමුත් එම රැස්වීම්වලට සහභාගි වීමට හිටපු පොලිස්පතිවරයට තහනමක් පනවා නොතිබුණු බව හෙතෙම කීවේය.

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ආරක්ෂක මණ්ඩල රැස්වීම් සදහා සහභාගි වීමට තහනමක් පනවා තිබුණේ ද යන්න කොමිසම ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එලෙස තහනමක් පනවා නොතිබූ නමුත් පූජිත් ජයසුන්දර මහතාගේ යම් යම් හැසිරීම් හේතුවෙන් ඔහුට ඒ සඳහා සහභාගී නොවන ලෙස දැනුම්වත් කළ බව හිටපු ජනාධිපතිවරයා කීවේය.

බොහෝ අවස්ථාවල ආරක්ෂක මණ්ඩල රැස්වීමට පූජිත් ජයසුන්දර මහතා පැමිණියත් එහි සාකච්ඡා කරන කරුණු වෙත අවධානය යොමු නොකොට ඔහුගේ ජංගම දුරකථන දෙක වෙත දැඩි ලෙස අවධානය යොමු කරන ආකාරය තමාට නිරික්ෂණය වූ බවත් මේ පිළිබඳව ආරක්ෂක මණ්ඩල රැස්වීම අවසානයේ පුද්ගලිකවම ඔහුට උපදෙස් ලබා දුන් බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

කිසිදු අවස්ථාවක පොලිස්පතිවරයා ලෙස සාර්ථකව කිසිදු ඉදිරිපත් කිරීමක් ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පූජිත් ජයසුන්දර මහතා විසින් සිදුකරනු ලැබ නැති බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඒ මහතා මෙසේද කීවේය.

“පූජිත් ජයසුන්දර මහත්තයා මහනුවර පෙරහරේ නැටුවා, මේක මාධ්‍ය මඟින් විශාල ලෙස ප්‍රචාරය වුණා, දවස් දෙක තුනකට පස්සෙ මම ඇහුවා පෙරහැරට නැටුම් කණ්ඩායම් අඩුයි කියලා දියවඩන නිලමේ තුමා කිව්වද කියලා

ඒ විතරක් නෙමෙයි මාතර පැත්තේ ඉස්කෝලෙක උත්සවයකට ගිහිල්ලා ළමයිගෙ දේශනයක් කරද්දි මෙයා පැය තුනකට වඩා දීර්ඝ කතාවක් කරලා තිබ්බා.

බොහෝ අවස්ථාවල මට පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කතා කරලා කිව්වා සර් මෙයාව නං එවන්න එපා රැස්වීම් වලට කියලා.

එක් අවස්ථාවක පොලිස් මූලස්ථානයෙ මාසික රැස්වීමක් තියෙන වෙලාවක ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට වචනයක්වත් කතා කරන්න නොදී උදේ ඉඳන් හවස් වෙනකන් මෙයා සම්පූර්ණම කතා කරා කියලා මට පැමිණිලි ලැබිලා තිබ්බා.

ඒ විතරක් නෙවෙයි, එස්ටීඑෆ් එක, මත්ද්‍රව්‍ය කාර්යංශය සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ඔත්තුකරුවන්ට අවශ්‍ය ත්‍යාග මුදල් ලබා දෙන්න නිසි පරිදි හිටපු පොලිස්පතිවරයා කටයුතු කළේ නැහැ කියලත් මට පැමිණිලි ලැබිලා තිබුණා.

ඒ කාලේ රංජිත් මද්දුම බණ්ඩාර හිටපු ඇමතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපදෙස් පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දරට විරුද්ධව එල්ල වුණු චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කමිටුවක් දාලා තිබ්බා කියලා මට ආරංචියි. මෙතෙක් කමිටුවෙන් ගත්ත තීන්දු තීරණ ගැන මම දැනුවත් නැහැ.

ඔන්න ඔය වගේ ප්‍රශ්න හින්දා මම ආරක්ෂක මණ්ඩල රැස්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට එන්න කියලා කිව්වා.

ඔහුට පුළුවන් සෘජුවම ගිහිල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කරන්න ආරක්ෂක මණ්ඩලයේදී ගන්න තීරණ ගැන”

Previous articleපරිසර විනාශයක් ගැන වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට ප්‍රහාරයක්
Next articleමුලතිව්හී පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් දෙදෙනාට යුක්තිය ඉල්ලයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here