මුලතිව්හී පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් දෙදෙනාට යුක්තිය ඉල්ලයි

 

මුලතිව්හි පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

ඊට පෙර පහරකෑමට ලක්වූ සහ මරා දැමුණු මාධ්‍යවේදීන් වෙනුවෙන් ද යුක්තිය ඉටු කිරීම සඳහා විමර්ශන සිදු කර සැකකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසත් එම සංගමය ඉල්ලයි.

එහි මෙසේද සඳහන් වෙයි.

“මුලතිව්හි ගස් කැපීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට අද (12) පිරිසක් විසින් පහර දෙනු ලැබ තිබේ.පහරකෑමෙන් ශම්මුගන් තවසීලන් සහ කේ කුමනන් යන මාධ්‍යවේදීන් දෙදෙනා තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා රෝහල් ගත කරනු ලැබ සිටිති.

නීති විරෝධීව තේක්ක ගස් කැපීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය එම මාධ්‍යවේදීන් දෙදෙනාට හතර දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පහර දී තිබේ. මාධ්‍යවේදීන් අත තිබූ කැමරාවල දර්ශන ද මකා දමා ඇතැයි වාර්තාවේ.”

සමාජයේ සිදුවන නීති විරෝධී ක්‍රියා අනාවරණය කිරීමට ජනමාධ්‍යවේදීන්ට අයිතියක් ඇතැයිද එය ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරියේ කොටසක් බවද එය මහජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියේ ද කොටසක් බවද එබැවින් මෙම මාධ්‍යවේදීන්ට සිදුවූ පහරදීම මහජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියට ද එල්ල කළ ප්‍රහාරයක් සේ සලකන බව ද එම සංගමය පවසයි.

2004-2015 කාලයේ ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට විවිධාකාරයේ බාධා කිරීම් බලපෑම් පැමිණි බවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ඝාතනයට ලක්වූ බවත් තවත් පිරිසකට පහර දී තුවාලකරනු ලැබූ බවත් එම සංගමය මතක් කර සිටියි.

මෙවැනි සිදුවීම් 126ක් නීතිය හා සාමය අමාත්‍යවරයාව සිටි සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබු නමුත් යම් දුරකට විමර්ශනයක් හෝ ආරම්භ වූයේ ඒ්වායින් කිහිපයකට පමණක් බවත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.

විශේෂයෙන් දමිළ භාෂාවෙන් වැඩ කරන ජනමාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් සම්බන්ධයෙන් පිළිගත හැකි විමර්ශනයක් හෝ පැවැත්වූයේ නැතැයි ද එම සංගමය අවධාරණය කරයි.

2015-2020 අතර කාලයේ පැවැති යහපාලන යැයි කියා ගන්නා ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව කීවද සිද්ධි 126ක් අතුරින් ඔවුන් විමර්ශන ආරම්භ කළේ සිද්ධි පහක් සම්බන්ධයෙන් පමණක් බවත් එම ආණ්ඩු කාලයේ ද මාධ්‍යවේදීන්ට එරෙහි සිදුවීම් කිහිපයක්ම වාර්තා වූ බවත් එම සංගමය පෙන්වා දෙයි.

නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදියකුට පහර දෙනු ලැබුවේ ද එම ආණ්ඩුව සමයේ වුවද ඒ්වාට නීතිය ක්‍රියත්මක වූයේ නැතැයිද මෙවැනි අපරාධවලට නීතිය ක්‍රියාත්මක නොවීම ඉදිරියටත් මාධ්‍යවේදීන්ට එරෙහිව කටයුතු කරන අයට ආණ්ඩුව සහ පොලීසිය දක්වන සහයෝගයක් සේ සලකන බව ද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

 

Previous articleමෛත්‍රී ජනපති සමයේ ආරක්ෂක ලේකම්වරුන් පස් දෙනෙක් කටයුතු කරලා
Next articleමාධ්‍යවේදීන්ට පහරදීම ගැන පරීක්ෂණයක් – ජනමාධ්‍ය ඇමති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here