ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : ගෝඨාගේ ඡන්ද පොරොන්දුවට මොකද වුණේ ?

(නිලූක සඳුන්)
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය මේ දිනවල දැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වී තිබේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට ගොදුරු වූ කාන්තාවන් ඇතුළු පිරිස් උද්ඝෝෂන ව්‍යාපාරවලද මේ දිනවල නිරතවෙමින් සිටී. ඉකුත් මාර්තු 08 වැනිදා ක්ෂුද්‍ර මූල්‍ය මාෆියාවට එරෙහිව සත්‍යග්‍රහයක් හිඟුරක්ගොඩ දී ද ආරම්භ වූ අතර මේ වන විට ඉන් සති දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් නිදහස උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය, අයිතීන් උදෙසා කාන්තාවෝ ඇතුළු සංවිධාන රැසක් උද්ඝෝෂණ සංවිධානය කරනු ලැබිණි.
මෙම ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හුදෙක් වර්තමාන ආණ්ඩුවේ ඡන්ද පොරොන්දුවක් පමණක් බවට පත්ව ඇතැයි එම සංවිධාන චෝදනා කරයි. අද (25) දිනයේද ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට විසඳුම් ඉල්ලා හිඟුරක්ගොඩදී උද්ඝෝෂනයක් පැවැත්වූ බව නිදහස උදෙසා කාන්තාවෝ ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න මහත්මිය MediaLK වෙත පැවසුවාය.

ගෝඨාභයගේ පොරොන්දුව

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණය සමයේදී නැවත නැවතත් ප්‍රකාශ කර සිටියේ මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට තමා ජනාධිපති වූ පසු විසඳුමක් ලබා දෙන බවයි. එමෙන්ම ඔහුගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේද මේ සම්බන්ධයෙන් පැහැදිලි ලෙස ස්ථාන තුනක සඳහන් කර තිබේ.
2019 ඔක්තෝබර් 09 වැනිදා ජනාධිපතිවරණ සමාරම්භක රැළියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා දැඩි ස්වරයෙන් ප්‍රකාශ කර සිටියේ “ඔය ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ ගොවි ණය සියල්ලම අපි කපා හරිනවායි කියන එක අපි තමුන්නාන්සේලාට කියන්නට කැමතියි.” යනුවෙනි.
වර්තමාන ජනපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 47 වැනි පිටුවේ එනම් එහි පස්වන කොටස වන ‘ජනතා කේන්ද්‍රීය ආර්ථිකය‘ නම් පරිච්ඡේදයේ මෙසේ සදහන් වෙයි.
“ගොවියා අවිධිමත් ණයකරුවන්ගේ සහ අධික පොලී ක‍්‍රම සහිත ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ග‍්‍රහණයට හසුවීම දේශීය ගොවියා වගාවෙන් ඈත් කිරීමට බලපාන ප‍්‍රධාන ගැටලූවක් බව අප හොඳින් වටහා ගෙන ඇත. ගොවියා මෙම ණය උගුලෙන් මුදවා ගැනීම සදහා අවම පොලී අනුපාත සරල ණය ක‍්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ. එම ණය ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම සියලූ රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලට අනිවාර්ය කෙරේ.“
එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 87 වැනි පිටුවේ ‘ගම සමඟ පිළිසඳර‘ නමැති දහවන කොටස ‘ගැමි ලියට රටේ සවිය‘ නම් කොටසේ මෙසේ දක්වා තිබේ.
“සමහර බැංකු තමන්ට නිත්‍යනුකූල අයිතියක් පවා නොතිබිය දී සහ ඇතැම් මූල්‍ය ආයතන පසුගිය කාලය පුරා කිසිදු නියාමනයකින් තොරව රට පුරා ප‍්‍රචලිත කළ ගිනි පොලීකරුවන්ටත් වඩා පීඩාකාරී ලෙස ලබාදුන් විවිධ ක්ෂුද්‍ර ණය වැඩසටහන් නිසා ග‍්‍රාමීය කාන්තාවන් ලක්ෂ ගණනක් පීඩනයකට පත් වී ඇත. එවැනි කාත්තාවන්ට කඩිනමින් සහන සැලසීම සදහා අසාධාරණ ලෙස ලබාදී ඇති ක්ෂුද්‍ර ණය කපා හැරේ.“
87 වැනි පිටුවේම ‘දමිළ මුස්ලිම් සහෝදරත්වය‘ නම් කොටසේ මෙසේ සදහන් වෙයි.
“උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ජීවනෝපාය මාර්ග සහ මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සවිබල ගැන්වීමට ‘පුනර්ජීවන අරමුදලක්‘ ආරම්භ කෙරේ. ඒ යටතේ; යුද්ධයෙන් පීඩාවට පත් උතුරු හා නැගෙනහිර පවුල් සඳහා නිවාස ලබා දීම සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක‍්‍රම නිසා පීඩාවට පත්ව සිටින උතුරු හා නැගෙනහිර පවුල්වල කාන්තාවන් සඳහා රජයේ මැදිමත් වීමෙන් විවිධ ව්‍යවසායන් සඳහා සහන ණය සහ කෘෂි කාර්මික ණය ලබාදීම.”

විසදුමක් නැති දින 493ක්

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව වර්තමාන රජය බලයට පත්වීමට පෙර පොරොන්දු වී තිබෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය විසඳා එම ණය කපා හරින බවටයි. නමුත් මෙම උද්ඝෝෂන පැවැත්වෙන්නේ ඉහත පොරොන්දු ලබාදුන් ජනාධිපතිවරයා බලයට පත්වී දින 493ක් පසුවී ඇති අවස්ථාවකයි.

ලක්ෂ 29කට බලපෑම්

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිදහස උදෙසා කාන්තාවෝ ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා නිරෝෂා ගුරුගේ මහත්මිය මෙසේ පැවසූවාය.
“ලංකාව පුරා මේ වෙද්දි ව්‍යසනයක් එහෙම නැත්නම් ඛේදවාචකයක් බවට පත්වෙච්ච ප්‍රශ්නයක්. කාන්තාවෝ මූලික කරගෙන ණය දීලා ක්ෂුද්‍ර මූල්‍ය ණය දීලා කාන්තාවෝ අවසානයේ සියදිවි හානි කරගැනීම දක්වා යන ඛේදවාචකයක් සියලු දිස්ත්‍රික්කවල ජනතාව මුහුණ දීලා තියෙනවා. මේ වෙනුවෙන් අපිට දැවැන්ත අරගලයක් කරන්න තියෙනවා. මේ සහෝදරියන් කාන්තාවන් පමණක් නොව සමස්ත සමාජයම මේකෙන් ගලවගන්න. ඒ නිසා ඒකට එරෙහි අරගල සහ පසුගිය කාලයේ බලයට පත් වෙච්ච සියලු ආණ්ඩු මැතිවරණයෙන් මැතිවරණයට පොරොන්දු දීලා ඒ පොරොන්දු අමතක කරලා කාන්තාවන්ගේ ඡන්දයෙන් ගිහින් පුටු රත් කර කර ඉන්න තත්ත්වයකට තමයි පත්වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට නැවත නැවතත් ජනතාව දැනුවත් කරමින් ජාතික තලයේ උද්ඝෝෂණ කරමින් මේක මතක් කරන්න සිද්ධ වෙලා තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ ප්‍රශ්නයට ඉතා ඉක්මණින් පිළිතුරු අවශ්‍යයි කියන මතක් කිරීම කරන්න ඕන. මේ වෙද්දි ලංකාව පුරා විසි අට ලක්ෂ අනු දාහක් ඒ කියන්නේ ආසන්න වශයෙන් ලක්ෂ 29ක් කාන්තාවන් සහ පිරිමින් සියල්ලම, පවුල් විදියට ගත්තොත් ලංකාවේ පවුල් ලක්ෂ 60යි. ඒ ලක්ෂ 60න් ආසන්නව ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් මේ ක්ෂ්‍රද්‍ර මූල්‍ය අර්බුදයේ හිර වෙලා තියෙනවා. මේක ඇහුවට පස්සේ පාලකයෝ කියන්නේ ‘කාන්තාවෝ ගිහින් කුඩා කණ්ඩායම් ක්‍රමයට ගිහින් පුංචි පුංචි උවමනාවන් වලට අරහෙන් මෙහෙන් ණය අරගෙන දැන් ඒ ණය ගෙවන එක ඒගොල්ලොන්ගේ වැඩක්‘ කියලා. හැබැයි මේ ණය ගන්න තැනට ඇයි මේ කාන්තාවෝ පත්වුණේ මොකද්ද මේකේ මුල. හැම පැත්තකින්ම අර්බුදයකට ගිහින් තියෙන්නේ.

ඔන්ලයින් අධ්‍යාපනයේ අභියෝගය

බඩු මිල වැඩී. අධ්‍යාපනයට ගෙවන්න වෙලා තියෙනවා. දෙමාපියන්ට පාසලට ගෙවන්න තියෙනවා. ටියුෂන්වලට ගෙවන්න තියෙනවා.  ආපහු ගෙදර එන්නනම් ඒවට යන්න බස්වලට ගෙවන්න ඕන. මේ හැම පැත්තකින්ම ගත්තොත් ගෙවීම් තමයි ඉතිරිවෙලා තියන්නේ. මේ වෙද්දි කොවිඩ් වසංගතයෙන් පස්සේ අලුත්ම එකක් ඇවිල්ල තියෙනවා. ඔන්ලයින් අධ්‍යාපනය. ගෙදර ළමයි තුන් දෙනෙක් ඉන්නවානම් තුන්දෙනාට ස්මාට් ෆෝන් තුනක් අරන් දෙන්න වෙලා. නැත්නම් ලැප්ටොප් අරන් දෙන්න වෙලා. මේවාට දෙමාපියන්ට සල්ලි කොහෙන්ද?. ලංකාවේ ඉතාමත් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වලට මේක කරන්න පුළුවන්ද? දවසට කුලී වැඩකට ගිහිල්ලා රුපියල් 1200-1500 තමයි ලැබෙන්නේ කුලී වැඩ කරන කෙනෙක්ට.  ඒකෙන් දවසට කන්න හාල් පොල් ටික ගත්තම ඒක ඉවරයි. වෙන අවශ්‍යතාවක් ආවට දෙමාපියන්ට මුදල් නෑ ළමයින්ට ඒවා අරගෙන දෙන්න. ඉතින් කාගෙන් හරි කමක් නෑ ණය අරගෙන තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.

සිස්ටම් එක ඇතුළේ ණය ප්‍රධාන සාධකයක්!

ණය ප්‍රධාන සාධකයක් වෙලා තියෙන්නේ මේ සිස්ටම් එක ඇතුළේ. අපෙන් අහනවා ඇයි කාන්තාවෝ ණය ගන්නේ කියලා. කාන්තාවෝ ණය ගන්නේ නැතිව මේ ගෘහය ඇතුළේ පවත්වාගෙන යන්නේ කොහොමද කියලා අපිට අහන්න වෙලා තියෙන්නේ. සෞඛ්‍ය පැත්තෙන් සිතුවොතින්… හදිසියේ ලෙඩක් ආවොතින්… වකුගඩු රෝගයකින් පෙළෙන දෙන්නෙක් ගෙදර හිටියොතින්… දැන් මේ අනුරාධපුර පොලොන්නරුව පැත්ත කියන්නේ වකුගඩු රෝගය ඉතාමත් බරපතල විදියට තියෙනවා. ඒ පැතිවල කාන්තාවන්ට වෙලා තියෙනවා තමන්ගේ පවුලේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යන්න ණය ගන්නට. ගොඩක් ණය ගත්ත අයත් එක්ක අපි කරපු සාකච්ඡා වලදී ඒ කාන්තාවන්ගෙන් අපට අහන්න ලැබිච්ච දෙය තමයි කිසිම තැනක කිසිම කාන්තාවක් ව්‍යාපාර කිරීමට නෙමෙයි ණය අරගෙන තියන්නේ. නැත්නම් කරගෙන යන ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න නෙමෙයි ණය අරගෙන තියෙන්නේ. ජීවත් වෙන්න හදිසි අවශ්‍යතාවන් සපුරාගන්න තමයි ණය ගන්නේ. හදිසි අවශ්‍යතා මොනවද – මං අර කලින් කිව්ව අධ්‍යාපන ප්‍රශ්නයක් නැත්නම් සෞඛ්‍ය ප්‍රශ්නයක්.. එහෙම නැත්නම් හදිසි උත්සවයකට වියදම් කරන්න සල්ලි නැති වුණාම. මළගෙදරකට වියදම් කරගන්න සල්ලි නැති වුණාම… මේ වගේ දේවල් ඇතුළේ තමයි මේ කියන ණයවලට දුප්පත්කම විකුණන් කන ණයවලට හිරවෙන්න වෙලා තියන්නේ. රාජ්‍ය බැංකුවකට ගියහම ඒ අයට ණය ගන්න බෑ. මොකද ඒකට ඉල්ලනවා රජයේ ඇපකාරයෝ ඉල්ලයි.. දේපළ ඉල්ලයි ගොඩක් දේවල් ඉල්ලනවා.

මන්න පිහිය උකස් කරලා බේත් ගන්න සමාජයක්

මන්න පිහිය විකුණලා තමන්ගේ දරුවාට බෙහෙත් ටික අරන් දෙන සමාජයක – පොලොන්නරුවේ පැත්තේ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට උණ ගැනිලා දරුවට බෙහෙත් ටික අරන් දෙන්න විදියක් නැතිව මන්න පිහිය උකස් කරන්න යනවා. එහෙම සමාජයක් මේ සමාජය. මහලොකු දේවල් තියෙන මිනිස්සු නෙමෙයි  මේ. ඒ අය කොහොමද දේපළ උකස් කරන්නේ. දේපළ උකස් කරන්න නෑ. තමන් ඇප වෙලා නැත්නම් තමන්ගේ වටේ ඉන්න අය එකතුකරගෙන ඒ අය ඇපවෙලා තමයි මේ ණය ගන්නේ. ඒ නිසා ඔවුන් ඒ අර්බුදයට යනවා. ඔවුන්ට ගෙවන්න විදියක් නෑ…මේ ණය දෙන කම්පැනි හොදටම දන්නවා ගෙවන්න ක්‍රමයක් නෑ කියලා. ඒ නිසා තමයි මේ සූරාකෑම කරන්නේ මොවුන්ගේ නොදැනුවත්කමත් ප්‍රයෝජනයට අරගෙන. මේකේ ණය පොලි අනුපාතය සියයට 35ක්. ඒ පොලිය කාටද ගෙවන්න පුළුවන්… ? දවසකට මොනව හරි කරලා ගන්න එකකින් සියයට 35ක පොලී අනුපාතයක් ගෙවාගෙන යන්න පුළුවන්ද? එහෙම ගෙවාගෙන යන්න බෑ. හැබැයි මේවාට දිගින් දිගටම 2014 ඉදලා 2016-2017-18 කාලයේ උද්ඝෝෂන තලයක් මතුවෙනවා වවුනියාව වගේ දිස්ත්‍රික්කවලින්. ඒ ගොඩක් තැන්වලට මේවා අවධානයට ලක් කෙරෙනවා. එක වෙලාවක 45000කගේ විතර නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ ණය කපාහරිනවා. එච්චරයි මෙතෙක් බලයට පත්වෙච්ච තැනකින් වෙලා තියෙනවනම් වෙලා තියෙන්නේ. වෙන කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.ඒකත් සහනයක් නෙමෙයි. ගෙවලා ගෙවලා වැල් පොලී හැදුනට පස්සේ තමයි මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. ණය දෙන කාඩ්වල තියෙන්නේ දිනය වාරිකය සහ අත්සන විතරයි. මේකේ කිසිම තැනක නැහැ මම ඊළගට ගෙවන්න තියෙන මුදල කීයද කියලා. දිනපතා මුදල් අයකරගෙන තියෙනවා. දිනපතා මුදල් අයකරගත්තට කිසිම තැනක තව කීයක් ගෙවන්න ඕනද පොලිය කීයක් යනවද කියලා නෑ.

උදාහරණයක්

2018 එක් ලක්ෂ දොලොස් දාස් පන්සීයකින් පටන් ගත්ත එක කාන්තාවකට 2019 වෙනකොට ගෙවලා ගෙවලා ඇවිල්ලා ආපහු පටන් ගන්නවා 165 900ක් ගෙවන්න තියෙනවා කියලා. මේ අතරින් පතර මාසයක් දෙකක් ගෙවාගන්න බැරි වුණාම ඒකට වැල් පොලී හදලා. එතකොට දැන් පටන් ගන්නේ 112500න් ආපහු ඊළග අවුරුද්ද වෙනකොට ඒක වැඩි වෙලා.  අවසානයේ සිද්ධ වෙන කතාව තමයි කොවිඩ් කාලය ඇතුළේ මේ කාන්තාවට මේක ගෙවාගන්න බැරි වෙනවා. ගෙවාගන්න බැරි වුණාට පස්සේ ණය කපාහරින්නේ නැහැ. සහනයක් දෙන්නේ නෑ කිසිම දෙයක් දෙන්නේ නැතිව මෙන්න ගෙදරට එනවා උසාවි නියෝගයක්. උසාවි නියෝගයේ තියන්නේ කීයද 258 138ක් ගෙවන්න ඕන කියලා.මේකට සහනයක් විදියට කොටස් විදියට ගෙවන්න හදලා දෙන්නම් කියලා තියෙනවා. පටන් ගන්නේ 112500න් ඒකට පොලි හදලා – මුදල් ගෙවලත් ඒ මුදල් අඩු කරලා නැහැ. මේවා තමයි මේ කම්පැනිවලින් කරන්නේ. ඒකයි අපි කියන්නේ මේක මංකොල්ල කෑමක්… මේක තනිකර මංකොල්ලකෑමක්…
රාජ්‍ය බැංකු කරන්නේ රටේ දුප්පත් මිනිස්සුන්ට ණය දෙන්නේ නෑ. ඒවට අදාළ ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. ණය දෙන එක අපි අනුමත කරන්නෙත් නෑ. කරන්න ඕන මිනිස්සුන්ට ජීවත් වෙන්න අදාළ සරිලන සමාජ පසුබිමක් – රැකියා සහ ඔවුන්ට අවශ්‍ය දේවල් රජයක් විසින් බලන එක. කුලී නිවසක ඉන්න කෙනෙක් නම් ඒ අයට ගෙයක් හදලා දෙන්න මැදිහත් වෙන එක. රැකියාවක් අහිමි කෙනෙක්නම් රැකියාවක් හදලා දෙන එක. ජීවත් වෙන්න අවශ්‍ය කුමන හෝ ක්‍රියාවලියක් ඇතුළේ සුරක්ෂිතභාවයක් හදන එක. ණය අපි අනුමත කරන්නේ නැහැ. අපි විශ්වාස කරන්නේ නැහැ ණය වලින් මේක ගෙනියන්න පුළුවන් කියලා. හැබැයි මේ සිස්ටම් එක ඇතුළේ සිද්ධ වෙලා තියෙනවා කාන්තාවන්ට ණය ගන්න.
මේ අරගෙන තියෙන්නේ ජීවත් වෙන්න.කන්න-බොන්න, උගන්වන්න, සෞඛ්‍ය පහසුකම් වලට.. හැබැයි ඒ ගන්න මිනිස්සුන්ට වෙලා තියෙන්නේ දිගට ජීවිතයට ඉවර වෙන්නේ නෑ මේ කම්පැනිවලට දෙන ඒවා ඉවර වෙන්නේ නෑ. මේ කම්පැනි රාජ්‍ය බැංකුවලින් ණය අරගෙන තමයි මේවා බෙදාහරින්නේ.. රාජ්‍ය බැංකුවලින් මේවා කරගෙන යන්න අවසර දීලා තියෙනවා. මහ බැංකුවෙන් අවසර දීලා තියෙනවා. දැන් කියනවා කරන්න දෙයක් නෑ කියලා. විසි අට ලක්ෂ ගානක් – එකෙන් විසි හතර ලක්ෂයක් කාන්තාවෝ මේ අර්බුදයට මුහුණ දිලා තියෙනවා.ඉතාමත් ඛේදජනක සිදුවීම් මේ කාන්තාවන්ට සිදුවෙලා තියෙන්නේ. අපි දන්නවා පහුගිය කාලයේ කාන්තාවෝ දෙසීය ගාණකට ආසන්නව පිරිසක් මේ වෙද්දි සිය දිවි හානිකරගෙන තියෙනවා. මේවා නිශ්චිතව ණය ගෙවාගන්න බැරුව කියලා තහවුරු වෙච්ච මරණ. හැබැයි එහෙම තහවුරු නොවී මානසික තත්ත්වයන්වල වෙනස්කම් මත සිත්තැවුල් මත ගෙදර ආරවුල් මත සියදිවි හානිකරගැනීම් ගණනය කරන්න බැරි තරම් තියෙනවා. මේ සිත්තැවුල් ආරවුල්වලට ගොඩක් දේවල්වලට හේතුව සොයාගෙන යද්දි ඒවා ගැන විපරම් කරලා බලද්දි තනිකර හේතුව වෙන්නේ ණය අරගන්නවා – ණය ගෙවාගන්න දෙමාපියන්ට බෑ. එතන රණ්ඩුවක් පටන් ගන්නවා එතකොට…

තවත් උදාහරණ !

එක් කාන්තාවක් ණය ගන්නවා..ඒ අම්මට අවුරුදු 54ක් වගේ කාලසීමාවක්.. ඒ අම්මා ණය අරගෙන ඒ ණය ගෙවාගන්න බෑ.. පිරිමි ළමයි දෙන්නෙක් දිනපතා ගෙදරට එනවා. තමන්ගේ මහත්තයා සැක කරන්න ගන්නවා. ලොකු පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා ඒ අම්මට. ඒ ළමයි දෙන්නා අම්මගෙන් ප්‍රශ්න කරනවා. ඇයි අම්මේ මේ හැමදාම දෙන්නෙක් ඔයාගේ පස්සෙන් එන්නේ.. ඔයාට වෙන සම්බන්ධයක් තියෙනවාද කියලා…අම්මට ඒක දරාගන්න බෑ. අම්මා ජීවිතය නැති කරගන්නවා… මේවා තමයි ඛේදවාචක කියලා මම මුලින් කිව්වේ ඒකයි..සමාජ ඛේදවාචක බවට පත්වෙලා තියෙනවා.
තව කාන්තාවක් උත්සව ගෙදරක යන්න අල්ලපු ගෙදරකින් ආභරණ ඉල්ලගෙන ඒවා දාගෙන පාරට බැස්සට පස්සේ ත්‍රිවීල් එකක් ඇවිත් නතරකරලා අක්කේ මම ඔයාව පාරට දාන්නම් කියලා එක්ක ඇවිල්ලා අර මාලය ගලවගෙන අපි මෙන්න මේ අහවල් ආයතනයෙන් ඔයා ගත්ත ණය ගෙවන්නේ නැති නිසා මේක අපි අරගෙන යනවා කියලා. ඒ කාන්තාව පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරන්න හදනකොට ඒ පැමිණිල්ල පොලිසියෙන් බාරගන්නේ නෑ.. මේ තරම් බරපතලයි මේ ප්‍රශ්නය…

ස්ත්‍රීන් බිළිගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසි කරනු!

මේ නිසා එල්ලිලා මැරෙන්න, වස බොන්න, ගගේ පනින්න, දරුවත් අරගෙන එල්ලිලා මැරෙන්න යනවා. අපි දැක්කා පහුගිය කාලයේ දරුවත් එක්කම සියදිවි හානි කරගත්ත… ඊට පස්සේ මේ දේවල්වලින් බැරි වුණාට පස්සේ විදෙස්ගත වෙන්න වෙනවා. ණය ගන්නවා.. ඒ ණය ගෙවාගන්න බැරිව විදෙස්ගත වෙනවා..විදෙස්ගත වෙලා ඒ යන තැන්වලදී අඩත්තේට්ටම්වලට මුහුණ දීල විවිධ ශාරීරීක හිංසනවලට මුහුණ දීලා මානසික හිංසනවලට මුහුණ දීලා ඒ ණයත් කරගහගෙන ආපහු ලංකාවට එනවා. එතනදිත් මේ වෙලාවේ ලංකාවට එන්න බෑ… නිරෝධායනයට වෙනම ලක්ෂ ගාණක් ගෙවන්න ඕන…හොටෙල්වලට ගෙවන්න ඕන. හොටෙල්වලට අදාළ ගෙවීම කරේ නැත්නම් ටිකට් දෙන්නේ නෑ. අන්න එතකොට ලංකාවේ ඉන්න දෙමාපියන්ට සිදුවෙනවා මෙවැනි ආයතනවලින් ණය අරගෙන අර මුදල පියවලා ගෙන්වාගෙන්න. මේක චක්‍රයක් වෙලා තියෙන්නේ. එකකට එකක් සම්බන්ධයි… ඒ නිසා මේකේ හොදම දේ තමයි මේ ණය අහෝසි කරන එක. අපිට රජයට කියන්න සිද්ධ වෙලා තියෙනවා මේ වෙලාවේ ගෙවන්න බෑ ගෙවන්නේ නෑ.. ස්ත්‍රීන් බිළිගන්නා මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසිකරන්න කියලා. ගෙවන්න බෑ. එකක් ගෙවන්න මුදල් නෑ.. කිසිම තැනක කිසිම කෙනෙක් අතේ අද මුදල් නෑ. අපි ගෙවන්න ඕනේ නෑ කියලා අපි විශ්වාස කරනවා. දිනපතා හැම තප්පරයකම මේ රටේ කාන්තාවෝ මේ රටේ ජාතික ආර්ථිකය පොහොසත් කරනවා. ගෙදර ඉදන් කරන වැඩේ ඉදලා පාරට බැහැලා අතුගාන එකේ ඉදලා, සියලු ආයතන, සියලු රාජ්‍ය ආයතනව,ල පෞද්ගලික ආයතනවල, ගාමන්ට් ඇතුළේ, වතුකරයේ, විදෙස්ගත වෙලා මේ රටේ කාන්තාවෝ මේ රටේ ආර්ථිකය පොහොසත් කරනවා.”
මහ බැංකුව විසින් 2019 අප්‍රේල් 26 නිකුත් කර ඇති චක්‍රලේඛයේ සදහන් වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා අයකරගත හැකි උපරිම වාර්ෂික පොලිය සියයට 35ක් බවයි.

ක්ෂුද්‍ර මූල්‍ය ගැන මහබැංකුව

ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් වන අතීත සහ වර්තමාන නීතිමය තත්ත්වය මහ බැංකුව මෙසේ සදහන් කරයි.
“දිළින්දන් හට සහයෝගීතාවය දැක්වීමේ උපදේශාත්මක සමූහය (CGAP-Consultative Group to Assist the Poor) විසින්  නිර්වචනය කර ඇති පරිදි “ක්ෂුද්‍රමූල්‍ය” යනු අඩු ආදායම්ලාභීන්ට මූල්‍ය සේවා සැලසීමයි. ප්‍රධාන වශයෙන්ම, ප්‍රමාණවත් ඇපකර ඉදිරිපත් හැකියාවක් නොමැතිකම හේතුවෙන් විධිමත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම් සපුරාගත නොහැකි දිළිඳු පුද්ගලයින් වෙත ණය පහසුකම්, ඉතිරිකිරීමේ පහසුකම් සහ වෙනත් මූල්‍ය පහසුකම් සැලසීම මෙමගින් සිදු කෙරෙනු ලැබේ. ක්ෂුද්‍රමූල්‍ය මගින් අපේක්ෂා කරනු ලබන්නේ අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් උත්පාදනය කිරීමේ කටයුතු සහ ආදායම් උත්පාදන ධාරිතාවයන් වැඩිදියුණු කිරීම සහ ප්‍රසාරණය කිරීමයි. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම අපේක්ෂා කෙරෙන අතර, රටෙහි ආර්ථික සංවර්ධනයෙහිලා ඔවුන්ගේ ක්‍රියාකාරී දායකත්වයක් බලාපොරොත්තු වේ.
ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව තුළ ඉතාම ප්‍රාථමික මට්ටමේ ක්ෂුද්‍රමූල්‍ය පද්ධතියක් පැවති බවට සාක්ෂ්‍යය ඇත. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන “සීට්ටු” ක්‍රමය, 20 වන ශත වර්ෂයේ මුල් භාගයේදී පමණ ඇරඹි නිළ නොවන නමුත් සඵල ඉතුරුම් සහ ප්‍රාග්ධන ඒකරාශීකරණ ක්‍රමයකි. එම නිසා එය, දිළිඳු පුද්ගලයින් වෙත ක්ෂුද්‍රමූල්‍ය සපයන ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස ක්‍රියාත්මක වේ.  මේ වන විට ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය අංශය පුඵල් පරාසයක විහිදුණු නිෂ්පාදන සහ ආයතන දක්වා වර්ධනය වී ඇති අතර, එය මූල්‍යමය අන්තර්ගතභාවය සහ සමාජයේ අඩු ආදායම්ලාභී සහ දිළිඳු ජන කොට්ඨාස බලගැන්වීම සඳහා වූ විශේෂිත ක්‍රමයක් ඉදිරිපත් කරයි.
ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිති, දිවිනැගුම බැංකු සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධාන, ක්ෂුද්‍රමූල්‍ය සමාගම්, ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන රාජ්‍ය නොවන සංවිධාන වැනි ආයතන රාශියක් ක්ෂුද්‍රමූල්‍යකරණයේ නිරත වේ. මින් සමහරක් ආයතන, විවිධ අධිකාරීත්වයන් යටතේ නියාමනය වේ. බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්, ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නියාමනය වේ.  සමුපකාර ග්‍රාමීය බැංකු සහ සමුපකාර සහ ණය ගනුදෙනු පිළිබඳ සමිති සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේද, දිවිනැගුම බැංකු දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේද, නියාමනය කෙරේ. කෙසේ වෙතත්, කවර ආකාරයක හෝ නියාමන රාමුවකට යටත් නොවත ක්ෂුද්‍රමූල්‍ය සම්පාදකයින්ද ශ්‍රී ලංකාව තුළ බොහොමයක් පවතී.
බොහෝ අඩු ආදායම්ලාභී පුද්ගලයින්හට මූලික මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය අහිමිය. එමනිසා, ඔවුනට මූල්‍ය පහසුකම් සැලසීමේ අභියෝගය තවදුරටත් පවතී. මූල්‍ය සඳහා අඩු ආදායම්ලාභීන්ගේ ඉහළ ප්‍රවේශය ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් වෙත මගපාදන අතර එම පුද්ගලයින්ගේ ඉතිරිකිරීමේ පුරුදු සහ ජීවන තත්ත්වයන්  ඉහළ දැමීමටද හේතු වේ. තවද “තිරසාර ක්‍රමවේදයක් මගින් තමා විසින්ම දිළිඳුකමට එරෙහිව සටන් වැදීමට මිනිසුන්ට උපකාර කිරීම ක්ෂුද්‍රමූල්‍ය” වේ (CGAP – 2006). එමනිසා දිළිඳුකම තුරන් කිරීම, වත්කම් ගොඩනගා ගැනීම සඳහා දිළිඳු පුද්ගලයින්ට අවස්ථාව සැලසීම, ඔවුන්ගේ ආදායම් ඉහළ නැංවීම සහ ආර්ථිකමය වශයෙන් ආතතියකට ලක්වීමේ අවධානම  අවම කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අරමුණු කරගත් මූල්‍ය සේවාවන් හේතුවෙන් ක්ෂුද්‍රමූල්‍ය, දිළිඳු පුද්ගලයින් හට ඉතාම ප්‍රබල මෙවලමක් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථික කටයුතු වෙත ක්‍රියාකාරී දායකත්වයක් ලබාදෙන අතරම දිළිඳු පුද්ගලයින් හට තම ජීවන තත්වය ඉහළ නංවාගත හැක.

ක්ෂුද්‍රමූල්‍ය සඳහා නියාමන යාන්ත්‍රණයක අවශ්‍යතාවය

නියාමනයකට ලක් නොවූ, ක්ෂුද්‍රමූල්‍ය ක්‍රියාකාරකම්, නීති විරෝධී තැන්පතු භාරගැනීම්, අධික පොළී අනුපාත හරහා ගනුදෙනුකරුවන් සූරාකෑම සහ ආචාරශීලී නොවන නැවත අයකිරීමේ ක්‍රම වැනි කටයුතු වලට මගපාදයි.  මීට අමතරව, දුර්වල යහපාලනය හේතුවෙන් ණය නැවත අය වීම අඩුවීම, වියදම් වැඩිවීම සහ පාඩු ලැබී‍ම මෙම ආයතන ආපදා තත්ත්වයන් කරා යොමු කරයි. බාරගත් තැන්පතුවල ආරක්ෂාව තහවුරු නොවන බැවින්, තැන්පතු බාරගන්නා ආයතන යම් නියාමනයකට යටත් නොවීම තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව මත දැඩි තර්ජනයක්  ඇති කරයි.
නියාමනයකට ලක් නොවූ මෙවැනි ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල අනිසි ක්‍රියාකාරකම් ක්ෂුද්‍රමූල්‍ය පහසුකම්ලාභීන් මත අහිතකර බලපෑමක් ඇතිකර, අඩු ආදායම්ලාභීන් සහ දිළිඳු පුද්ගලයින් දරිද්‍රතාවයෙහි චක්‍රය තුළම රැඳී සිටීමට මගපාදමින් රටෙහි ආර්ථික දියුණුව කෙරෙහි අහිතකර ලෙස බලපායි. මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් තුළ නියාමනයකට ලක් වූ අංශයද ඇතුළත්ව සම්පූර්ණ මූල්‍ය අංශය පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටේ.
මේ අනුව පාරිභෝගික විශ්වාසය බිඳවැටීම තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් නීති පනතේ (422 වන අධිකාරය) දක්වා ඇති අරමුණක් වන මූල්‍ය පද්ධති ස්ථායිතාවය පවත්වාගැනීම කෙරෙහි අහිතකර අයුරින් බලපානු ලබයි. එම නිසා ශ්‍රී ලංකාව තුළ ඉහත කී නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන ආයතන නියාමනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මතුව තිබේ.

2016 අංක 6 දරණ ක්ෂුද්‍රමූල්‍ය පනත

ශ්‍රී ලංකාව තුළ දශකයකට අධික කාලයකට පෙර සිටම නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍රමූල්‍ය අංශයේ ආයතන නියාමනය සඳහා නීති පැනවීමට විවිධ උත්සාහයන් ගන්නා ලදී. කෙසේ වුවද, අවසානයේදී, 2016 අංක 6 දරණ ක්ෂුද්‍රමූල්‍ය පනත (ක්ෂුද්‍රමූල්‍ය පනත) පාර්ලිමේන්තුව මගින් පනවන ලද අතර, 2016 ජූලි මස 15 දින සිට එය බලාත්මක වේ.මෙම පනත මගින් ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන සමාගම් (බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම්) සඳහා බලපත්‍ර නිකුත් කිරිමට, ඒවා නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට අදාළ විධිවිධාන පනවා ඇත. බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) හරහා සෘජුවම නියාමනය කෙරේ. එසේම, 1989 අංක 30 දරණ සමාජ සේවා සංවිධාන පනත යටතේ ලියාපදිංචි වූ ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ‍රෙජිස්ට්‍රාර්වරයා යටතේ නියාමනය කිරීමට ක්ෂුද්‍රමූල්‍ය පනත මගින් විධිවිධාන සපයා ඇත.
ක්ෂුද්‍රමූල්‍ය පනත ප්‍රකාර “ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාර”  වශයෙන් අර්ථ දක්වා ඇත්තේ;
තැන්පතු භාරගැනීම සහ ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී තැනැත්තන්ට හා ක්ෂුද්‍ර ව්‍යවසායන්ට
අ)     ඕනෑම ආකාරයක මූල්‍ය පහසුකමක් සැපයීම;
ආ)    වෙනත් මූල්‍ය සේවා සැපයීම; හෝ
ඇ)     ඕනෑම ආකාරයක මූල්‍ය පහසුකමක් සහ වෙනත් මූල්‍ය සේවා සැපයීමයි “
මේ සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය ගැන කරුණු විමසීම සඳහා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ නමුත් ඇමතුමට පිළිතුරු දුන් නිලධාරීනිය පැවසූවේ ඔහු රැස්වීමක බැවින් සම්බන්ධ කිරීමට නොහැකි බවයි.
Previous articleඅංක 2218/68 : ජනාධිපති එන්නෙ මොකාටද – ගැසට් පත්‍රයෙන් යන්නෙ කොහාටද ?
Next articleඑක රටක් – එක නීතියක් කියලා ආවෙ නීති කඩන්නද ? – විදුහල්පතිවරු චෝදනා කරති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here