අංක 2218/68 : ජනාධිපති එන්නෙ මොකාටද – ගැසට් පත්‍රයෙන් යන්නෙ කොහාටද ?

(ශාලික විමලසේන)
‘භාරවන්නෙකු හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකු සිදුකරන ලද වරදේ ස්වභාවය අනුව එකී තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඔහු මධ්‍යස්ථානයක් තුළ පුනරුත්ථාපනයට ලක්කිරීම සුදුසු බව නීතිපතිවරයාගේ මතය වන විට, නීතිපතිවරයාගේ ලිඛිත අනුමතය සමග එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා 3 වැනි නියෝගයේ සඳහන් වැරදිවලට අමතරව වෙනත් වැරදි සිදුකර ඇද්ද යන කාරණය පිළිබඳව සලකා බැලීමෙන් පසුව එකී තැනැත්තා වසරකට නොවැඩි කාලයක් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ හැකිය.’
ජනාධිපතිගේ ව්‍යවස්ථා විරෝධී ගැසට් පත්‍රයේ 04 කොටසේ එසේ සඳහන් ය.

නීතිපතිට වැරදුණොත් ?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව පසුගිය මාර්තු 12දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අංක 2218/68 දරන ගැසට් නිවේදනයේ මෙසේ සඳහන් වේ. එනම් නඩු විභාගයකින් තොරව පුද්ගලයෙකුට දඬුවමක් ලබාදීමට තීරණය කිරීමේ බලය නීතිපතිවරයාට පවරා ඇත. නීතිපතිවරයා යනු අධිකරණය ඉදිරියේදී තවත් එක් නීතිඥවරයෙකි. ඔහුගේ මතය ඒ ආකාරයෙන්ම පිළිගැනීමට අධිකරණය බැඳී නැත. නීතිපති මතය වැරදි බව අධිකරණයෙන් තහවුරු කළ අවස්ථාවලට උදාහරණ රැසකි. 2018 ඔක්තෝබර් 26දා ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කිරීමේ කුමන්ත්‍රණයෙන් පසු අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි. එහිදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්වේ ඒ තීරණය නිවැරදි බවයි. එහෙත් අනෙකුත් පාර්ශ්වවල කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ නීතිපතිවරයා වැරදි බවයි.

ව්‍යවස්ථාවක් මොනවටද?

නීතිපතිවරයාට මෙසේ තීන්දුවක් ලබාදීමට බලය පැවරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ඇති අයිතිවාසිකම් රැසක් උල්ලංඝනය වේ. අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයෙකුටම සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතියක් ඇත. එහෙත් ඉහත ගැසට් පත්‍රයට අනුව එම අයිතිය නැති වන අතර, නඩු විභාගයකින් තොරව නීතිපති මතය පිළිගැනීමට බල කෙරේ. එසේම සාධාරණ නඩු විභාගයකින් තමන්ට යුක්තිය ඉටුනොවූ බව විත්තිකරුවෙකුගේ අදහස වන අවස්ථාවකදී, ඔහුට අභියාචනා අවස්ථා දෙකක් නීතියේ ඇත. ඒ අදාළ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ය. ඉහත ගැසට් පත්‍රය මගින් මූලිකව නඩු විභාගයක් නොපැවැත්වීමට බලකෙරෙන තත්ත්වයක් තුළ, පුරවැසියා සතු මේ අභියාචනා කිරීමේ අයිතිය ද උල්ලංඝනය වේ. එසේම සාධාරණ නඩු විභාගයකින් පසු පුද්ගලයෙකු වැරදකරුවකු බවට තීන්දු කරන තුරු, ඔහු හෝ ඇය නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ. එය නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ලෙස හැඳින්වේ. ලංකාවේ නඩු විභාග කිරීමට ගතවන කාලය නිසා නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සහිතව, වසර ගණනාවක් රක්ෂිත බන්ධනාගාරගතව දඬුවම් විඳින අවස්ථා රැසකි. හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එකම සැකකරු පසුගිය වසරේ මැයි මාසයේදී වකුගඩු රෝගයෙන් මිය ගියේය. වෙනත් කිසිවෙකු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේ ද නැත. ඔහු මියගිය පසු නඩුව අවසන් කෙරිණි.
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 27 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ඇමැතිවරයා ලෙස මේ ගැසට් පත්‍රය නිකුත් කර ඇත. එම වගන්තියට අනුව ආරක්ෂක ඇමැතිවරයාට පනතේ මූලධර්ම ක්‍රියාත්මක කිරීම සඳහා නියෝග පැනවිය හැකිය. ඒවා ගැසට් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට, සම්මත කළ යුතුය. සරලව කිවහොත් මේ ගැසට් පත්‍රයෙන් සිදුකර ඇත්තේ මහේස්ත්‍රාත්වරයෙකු විසින් ආරක්ෂක අමාත්‍යංශයේ වාර්තාවක් මත නීතිපතිවරයා විසින් ලබාදෙන ලිඛිත කරුණු දැක්වීමකින් පුද්ගලයෙකු පුනරුත්ථාපන කඳවුරක රැඳවීමට අවශ්‍ය නීතිමය පසුබිම සැකසීම ය. මුල් වටයේදී එම කාලය අවුරුද්දකි. එය අවුරුදු දෙකක් දක්වා දීර්ඝ කිරීමේ හැකියාව ද තිබේ.

මහේස්‍ත්‍රාත්වරයාගේ වගකීම

මහේස්ත්‍රාත්වරයෙකු මේ ක්‍රියාවලිය සඳහා මැදිහත් වන නිසා අධිකරණ කටයුත්තක් සිදුවන බවට කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මුලින්ම සඳහන් කළේ නඩු විභාගයකින් තොරව යනුවෙනි. එනම් මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ගනු ලබන්නේ නඩු විභාගයකින් පසු නොවේ. පුද්ගලයෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වූ විට, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ අයිතිය ඔහු හෝ ඇය සතුවිය යුතුය. ඒ කරුණු සලකාබැලීමේ වගකීම අධිකරණයට තිබේ. සාධාරණ සැකයකින් තොරව අදාළ චෝදනා ඔප්පු කිරීමේ වගකීම පැමිණිලි පාර්ශ්වය සතු ය. එහෙත් මෙහිදී නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් එම වගකීම ඉටු කරන්නේ කෙසේද?

පොලිසිය කියන්නේ ඇත්ත විතරක් ද?

පොලිසිය යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, ඔහුගෙන් හෝ ඇයගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු, පාපොච්ඡාරණ හෝ එවැනි කරුණු සියල්ල එක්කොට වාර්තාවක් සකස් කරයි. ඉන්පසු එය නීතිපතිවරයා වෙත යොමුකරයි. නීතිපතිවරයා විසින් එම කරුණු සලකා බැලීමෙන් පසු, ලිඛිතව අධිකරණයට දැනුම්දෙන්නේ අදාළ පුද්ගලයා පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකළ යුතු බවට විය හැකිය. ගැසට් පත්‍රයෙන් කරන්නට හදන්නේ ඒක ය. පොලිසියේ තාප්ප කඩා වටේට මල් වැව්වාට, ඇතුළේ සිදු වූ දේවල් ඒ ආකාරයෙන්ම සිදුවන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. තවදුරටත් සැකකරුවන් ආයුධ පෙන්වන්නට ගොස්, මාංචු පිටින්ම ඒ ආයුධ ගෙන පොලිසියට පහරදෙන්නට උත්සාහ කරන්නේය. එවිට ආත්මාරක්ෂාව වෙනුවෙන් පොලිසිය වෙඩි තබයි. එයින් ඒ සැකකරුවන් මියයන්නේය. 1994 කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලට එරෙහි පනතට අනුව අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙකුගේම ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වගකිව යුතුය. එහෙත් පසුගිය කාලයේ සිදු වූ මෙවැනි සැකකරු ඝාතන කීයකට එසේ වගකිව්වාද?
එවැනි තත්ත්වයක් තුළ පොලිසියෙන් ලබාදෙන වාර්තාවක් පදනම් කරගනිමින් නීතිපතිවරයා විසින් අවසාන තීන්දුවක් ගැනීම කොතරම් සාධාරණ විය හැකිද? පුනරුත්ථාපන ක්‍රියාවලියක් යනුවෙන් හැඳින්වුවද, මෙය පුද්ගලයන්ගේ නිදහස ඇහිරීමකි. හිරකර තැබීමකි. පවුලේ සාමාජිකයන් මුණගැසීමට හැකියාව ලැබෙන්නේ සති දෙකකට වරකි. අධිකරණ ක්‍රියාවලියකින් තොරව එසේ තීන්දු ගෙන, හිරකිරීම යනු ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියකි.

ඔබත් අන්තවාදියෙක් ?

මෙමගින් තීන්දු ගැනෙන්නේ අන්තවාදී චෝදනා මත අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් ය. ගැසට් පත්‍රයේ අන්තවාදීන් යන්න මෙසේ පැහැදිලි කර තිබේ.
‘කියනු ලබන නැතහොත් කියවීමට අදහස් කරනු ලැබූ වචන මගින් හෝ සංඥා මගින් හෝ දෘෂ්‍ය නියෝජන මගින් හෝ අන්‍යාකාරයෙන් සාහසික ක්‍රියා හෝ විවිධ ජන කොටස් නැතහොත් වර්ගීය හෝ ආගමික කණ්ඩායම් අතර ආගමික, වර්ගීය නැතහොත් ජාතිවාදී අසංගතිය නැතහොත් දුර්වේතනික හෝ එදිරිවාදී හැඟීම් ඇතිවීමට සලස්වන්නා වූ හෝ ඇති කිරීමට අදහස් කරන්නා වූ හෝ තැනැත්තෙකු ලෙස සැකකරන යම් තැනැත්තෙකු…’
මේ පැහැදිලි කිරීමට ඕනෑම අවස්ථාවක ඔබව ඇතුළත් කිරීමේ ඉඩක් නැද්ද? ශක්තික සත්කුමාර විසින් ලියන ලද අර්ධ නම් කෙටිකතාව මගින් ආගමික අපහාසයක් සිදුවන බවට ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් පොල්ගහවෙල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගැනුණු ශක්තික සත්කුමාර නම් ලේඛකයාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත යටතේ චෝදනා ගොනුකෙරිණි. මේ පනත යටතේ චෝදනා ගොනු කළ විට මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදිය නොහැකිය. එම නිසා ශක්තික සත්කුමාරට දින 130ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදු විය. කුරුණෑගල මහාධිකරණයේ විභාග වූ ඇප අයැදුම්පත සලකා බැලීම ද අවස්ථා ගණනාවකදී කල්දැමුණේ නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් එය අධ්‍යයනය කිරීමට තවත් කාලය අවශ්‍ය බව දැනුම් දුන් නිසා ය. පසුව නඩු විභාගයෙන් ශක්තික නිදොස් කොට නිදහස් කෙරිණි.

වාසියට පමණයි !

ඉහත ගැසට් පත්‍රයට අනුව ඔහුට එරෙහි තීන්දුව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් ගත්තේ නම්, ඔහුට වසරක් හෝ දෙකක් අනිවාර්යෙන්ම දඬුවම් විඳීමට සිදු වේ. නඩු විභාග නැත. අනෙක් අතට ගැසට් පත්‍රයේ අන්තවාදී යන්න පැහැදිලි කර ඇති ආකාරයට ශක්තිකව ඒ තුළට දැමීම අසීරු කරුණක් නොවේ. අහ්නාෆ් ජාසීම් කවියා මාස ගණනාවක් තිස්සේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින්නේ ද මේ ආකාරයට චෝදනා ඉදිරිපත් කරමින් ය. පසුගිය ජනවාරි මාසයේදී ෆසාල් මොහොමඩ් නිසාර් අත්අඩංගුවට ගනු ලැබුවේ ජාතීන් අතර සුහදතාව බිඳවැටෙන ආකාරයට, ආගමික පාර්ශ්වවලට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ය. මේ ආකාරයේ උදාහරණ රැසකි.
එහෙත් 2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු නිකවැරටිය, පඬුවස්නුවර, කුලියාපිටිය, නාත්තන්ඩිය යන ප්‍රදේශවල සැලසුම් සහගතව සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධවූවන්ගෙන් බහුතරයකට චෝදනා ගොනු කෙරුණේ දේපොළ අලාභහානි කිරීම සම්බන්ධයෙන් ය. එහිදී මේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත හෙවත් අයිසීසීපීආර් යොදාගැනුණේ නැත. එම ප්‍රහාර මෙහෙයවූ දේශපාලනඥයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද සාක්ෂි සහිතව අනාවරණය කෙරිණි. ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක වූයේ නැත. 2018 මාර්තු මාසයේ සිදු වූ මහනුවර, දිගන, අකුරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ද මේ පනත භාවිත කෙරුණේ අවම වශයෙන් ය. මෙවැනි උදාහරණ සහිත තත්ත්වයක් තුළ, ජනාධිපතිගේ අලුත් ගැසට් පත්‍රයෙන් මොනවා නොකරාවිද?

කේවල් කිරීමේ මෙවලමක්

එසේම මේ ගැසට් පත්‍රය නිසා ආගමික සහ ජනවාර්ගික ප්‍රජාවන් වෙනස් කොට සැලකීමට භාජනය වන බව නීතිවේදීන්ගේ ජාත්‍යන්තර කොමිසම පෙන්වා දෙයි.
‘නව රෙගුලාසි කේවල් කිරීමේ මෙවලමක් ලෙස භාවිත කිරීමට ඉඩ ඇත. එහිදී රැඳවියෙකුට නීත්‍යනුකූල චෝදනා මත සාධාරණ නඩු විභාගයක් වෙනුවට වසරක් හෝ දෙකක් පුනරුත්ථාපනයේ සිටීම හෝ අවිනිශ්චිත කාලයක් රැඳවුම් බාරයේ සිට නඩු කටයුතුවලට මුහුණ දීම යන තෝරාගැනීම් දෙකෙන් එකක් කිරීමට සිදු වේ.’
එම කොමිසම මතුකරන මේ කාරණය අතිශයින් වැදගත් ය. දේශපාලන පළිගැනීම් කොමිසම වැනි අත්තනෝමතික ක්‍රියාවලි හරහා අපරාධ නඩුවලට සම්බන්ධ සැකකරුවන් නිදහස් කළ යුතු බවට සමාජ මතයක් ගොඩනගන අවස්ථාවක, අනෙක් පැත්තෙන් වෙනස් මත දරන පුද්ගලයන් මර්දනය කිරීම සඳහා මේ නියෝග යොදාගත හැකිය. එවැනි මත දරන්නෙකු කරනු ලබන ප්‍රකාශයක් වාසි පැත්තට හරවාගැනීමේ ඉඩක් මෙහි ඉහතින් දැක්වූ අන්තවාදීන් යන්න නිර්වචනය කිරීමේ ම තිබේ. පොලිසිය ඉදිරිපත් කරන කරුණු මත, නීතිපතිවරයාට ඔහුව අවුරුදු දෙකක් දක්වා පහසුවෙන්ම නිහඬ කළ හැකිය.

රිවස් කරගත යුතු ගැසට් !

මේ සියලු හේතු නිසා අදාළ ව්‍යවස්ථා විරෝධී ගැසට් පත්‍රය වහාම අවලංගු කරන ලෙස ජනාධිපතිවරයාට බල කළ යුතුය. ඒ වෙනුවෙන් මෙතෙක් ප්‍රමාණවත් සංවාදයක් ඇති වී නැත. මීට පෙර මත්ද්‍රව්‍ය වැරදිවල ස්වභාවය සම්බන්ධයෙන් ද මෙවැනි නියෝගයක් පැනවුණු අතර, එහි සඳහන් වූයේ සැකකරු සතුව ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව නඩු විභාගයකින් තොරව පුනරුත්ථාපනය සඳහා යොමුකළ හැකි බවයි. එමගින් ද ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබාදී ඇති ඉහතින් දැක්වූ අයිතිවාසිකම් උල්ලංඝනය වේ. තමන්ට එහි ප්‍රතිඵල අත්විඳින්නට සිදු වන තුරු ඕනෑම කෙනෙක්ට නිහඬව, සතුටින් සිටිය හැකිය. වැදගත්ම දේ ගැසට් රිවස් කිරීම කියන්නේ ජනාධිපතිවරයා නොදන්නා දෙයක් නොවීම ය. පසුගිය කාලය තුළ එසේ රිවස් කළ ගැසට් සංඛ්‍යාව 10කට වැඩි ය. එහෙත් ඒ සියල්ල පාරිභෝගික අයිතිවාසිකම් සම්බන්ධ ඒවා ය. තමන්ගේ බලය පවත්වාගැනීමේ සෘජු අරමුණ වෙනුවෙන් ගෙනෙන මෙවැනි නියෝග ද රිවස් කරගත යුතුය. අවශ්‍ය වන්නේ එක්ව, ඒ වෙනුවෙන් බලපෑම් කිරීම ය.

 

Previous articleජිනීවා යෝජනාව නව බලාපොරොත්තුවක් – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
Next articleක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : ගෝඨාගේ ඡන්ද පොරොන්දුවට මොකද වුණේ ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here