ජිනීවා යෝජනාව නව බලාපොරොත්තුවක් – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ නව යෝජනාව වැදගත් ඉදිරිගාමී පියවරක් බවත් එමගින් ශ්‍රී ලංකාවේ වසර 30 ක සිවිල් ගැටුමට ගොදුරු වූවන්ට දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි යුක්තිය පිළිබඳ නව බලාපොරොත්තුවක් ලබා දෙන බවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.
මෙම යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර අධීක්ෂණය හා සෝදිසි කිරීම පමණක් නොව, අනාගත නඩු පැවරීම් සඳහා සාක්ෂි එකතු කිරීම හා සංරක්ෂණය කිරීම මෙන්ම යුක්තිය සහ වගවීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවට ගත හැකි පියවර පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට බලය පවරයි.
“මෙය මානව හිමිකම් කවුන්සිලයේ වැදගත් පියවරක්. මෙය ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රවේශයේ ද වෙනසක් පෙන්නුම් කරනවා. ජාතික මට්ටමින් යුක්තිය පසිඳලීම සඳහා ශ්‍රී ලංකාවට වසර ගණනාවක සහයෝගය හා දිරිගැන්වීම් කළත් ඔවුන් අත්කර ගත් දෙයක් නැත. මෙම යෝජනාව මගින් අතීතයේ අපරාධ කළ සහ වර්තමාන අපරාධවල නියැලී සිටින අයට දඬුවම් ලැබෙන බවට පැහැදිලි පණිවිඩයක් යැවිය යුතුය.” යැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි ජිනීවාහි එක්සත් ජාතීන්ගේ නියෝජිත හිලරි පවර් පවසයි.
“මෙය වැදගත් ආරම්භක පියවරක්. මෙම යෝජනාව පදනම ලෙස භාවිත කරමින්, විශ්වීය අධිකරණ බලය යටතේ විමර්ශනය හා නඩු පැවරීම සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීම ඇතුළුව තවදුරටත් අධීක්ෂණය හා වාර්තා කිරීමේ සැබෑ බලපෑම එක්සත් ජාතීන්ගේ අනෙකුත් සාමාජික රටවල් මත රඳා පවතිනු ඇත.
වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සමඟ ඵලදායී ලෙස කටයුතු කරන ලෙසත් රටට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ඉඩ ලබා දෙන ලෙසත් අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමු.
මෙය අසාර්ථක වුවහොත්, මානව හිමිකම් කවුන්සිලය ස්වාධීන වගවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළුව වඩාත් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇත. ”යැයි හිලරි පවර් තවදුරටත් පැවසීය.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය මෙසේද සඳහන් කරයි.
” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා විස්තර කළ පරිදි මෙම යෝජනාව, ‘ජාතික මට්ටමින් වින්දිතයින්ට යුක්තිය ලබාගැනීමට ඇති දරාගත නොහැකි බාධක’ සහ ‘ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරීමට හා දඬුවම් කිරීමට රජයට ඇති නොහැකියාව සහ අකමැත්ත’ යන කරුණු සැලකිල්ලට ගනිමින් සම්මත විය.
ශ්‍රී ලංකාවේ අතීත අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීම ශ්‍රී ලංකාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හෙළා දකිමින් සහ රටේ මානව හිමිකම් පිරිහීම පිළිබඳව අනතුරු අඟවමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වැනි ආයතන සහ පුද්ගලයන් විසින් කරන ලද වාර්තා හමුවේ මෙම යෝජනාව ඉදිරිපත් විය.
එම යෝජනාව ජිනීවාහි සාකච්ඡා වූ කාලයේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම හිස් ප්‍රතික්ෂේප කිරීම් ඉදිරිපත් කළ අතර එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සොයා ගැනීම් සහ නීත්‍යානුකූලභාවය ප්‍රතික්ෂේප කළේය. මේ අතර, මෙම කරුණු තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ බලධාරීන් සුළුතරයන් ඉලක්ක කරගනිමින් නව රෙගුලාසි සම්මත කරමින් සිටී.
එම යෝජනාව චීනය සහ පාකිස්තානය විසින් කැඳවන ලද ඡන්දයකින් සම්මත විය. යෝජනාවට නායකත්වය දුන්නේ කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානියයි. රට තුළ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා පසුගිය රජය සම අනුග්‍රහය දැක්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 දරන වැදගත් යෝජනාවෙන් 2020 පෙබරවාරි මාසයේදී වර්තමාන ශ්‍රී ලංකා රජය ඉවත් විය.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇස්තමේන්තු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වසර 30 ක සිවිල් ගැටුමේදී 60,000 කට අධික පිරිසක් අතුරුදහන් වූ බවයි. යුද්ධයේ අවසන් සමයේදී දෙපාර්ශ්වයම ජාත්‍යන්තර මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කර ඇති බවට එක්සත් ජාතීන්ගේ අඛණ්ඩ පරීක්ෂණ මගින් විශ්වාසදායක චෝදනා සොයාගෙන ඇත.”
Previous articleඩෝසරේට හසු වූ ගම සමග පිළිසඳර ගෙන යා යුත්තේ කොතැනට ද ?
Next articleඅංක 2218/68 : ජනාධිපති එන්නෙ මොකාටද – ගැසට් පත්‍රයෙන් යන්නෙ කොහාටද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here