ඩෝසරේට හසු වූ ගම සමග පිළිසඳර ගෙන යා යුත්තේ කොතැනට ද ?

(සුපුන් ළහිරු ප්‍රකාශ්,කැඳවුම්කරු – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය)
ශ්‍රී ලංකාව, ඉන්දියාවේ වෙස්ටන් ගාට්ස් කඳු පන්තිය සමග එක්ව ගත් කල ලොව ජෛවවිවිධත්ව උණුසුම් කේන්ද්‍ර අතරින් එකකි. එය එසේ වන්නේ අපේ රට ඉතා පොහොසත් ජෛව විවිධත්වයකින් හෙබි නිසා ය. එසේම එම ජෛවවිවිධත්වය සීග්‍රයෙන් වැනසෙමින් යන නිසා ය. එසේ වැනසී යන ජෛවවිවිධත්වයේ තරම කොතෙක්ද යත් කිසිදු හව්හරණක් නැතිව ඩෝසර් යන්ත්‍රවලට හසුවෙමින් පවතින වනාන්තර වලින්ද නව ජීවී විශේෂ සොයාගැනීමට පර්යේෂකයන්ට හැකිවී තිබේ.

රාජ්‍ය පාලනය

අතීත ශ්‍රී ලංකාවේ වනාන්තර සහ ස්වභාවික සම්පත් සංරක්ෂණය සමකාලීන ලොව අනෙක් රටවල් සමග සැසඳීමේදී පැවතියේ ඉතා ඉහළ තැනක ය. ක්‍රිස්තු පූර්ව 236 වසරේදී මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග ලොව ප්‍රථම අභයභූමිය මිහින්තලාවේ ස්ථාපනය කිරීමේ සිට බුදු දහම අනුව ගිය අතීත රජවරු මේ බිම සියලු සතුන්ට නිදහසේ සැරීමට හැකි තැනක් බවට පත්කළෝය. එකල ඔවුන් කටයුතු කළේ මේ බිමේ අයිතිකරුවන් ලෙස නොව භාරකරුවන් ලෙස සිතමිනි. නමුත් කාලයාගේ ඇවෑමෙන් එම තත්ත්වය වෙනස් වී අද වන විට දිවයින පුරා සියලු වනපෙත්වල පැවැත්ම අභියෝගයට ලක්වන තරමට රාජ්‍ය පාලකයන්ගේ ක්‍රියාකලාපය අගතිගාමී තත්ත්වයට පත්ව තිබීම කණගාටුවට කරුණකි. ඊට එදා-මෙදා තුර රට කරවූ සියලු පාලකයන් වගකිව යුතුය. තවද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහු සඳහන් කරන ආකාරයට යහපත් චේතනාවෙන් සිදුකරන ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන් මාලාව හරහා ද එකී වන විනාශයට උඩගෙඩි දෙන තැනට මේ වන විට තත්ත්වය ඉතා දරුණු ය.
ග්‍රාමීය ජනතාව වසර ගණනාවක් තිස්සේ පීඩාවට පත්කළ ගැටළුවලට සහන සැලසීමේ අරමුණින් ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන ආරම්භ වූයේ 2020 සැප්තැම්බර් 25 වැනිදා බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල, වෙලන්විට ගම්මානයේදී ය. එහි 14 වැනි වැඩසටහන පැවැත්වුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ, හික්කඩුව, ගලගොඩ ගම්මානයේදී ය. නමුත් එහිදී ප්‍රාදේශීය දේශපාලකයන් සහ පරිපාලන නිලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ගේ සැබෑ ඕනෑ-එපාකම් යටපත්කරමින් සංවිධානාත්මකව හා පූර්ව සූදානමකින් යුතුව ප්‍රශ්න ඉදිරිපත් කළ බවට චෝදනා එල්ල විය. එසේම ඒ සඳහා ජනාධිපතිවරයා ලබාදුන් මතභේදාත්මක තීන්දු-තීරණද හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ස්වභාවික පරිසර පද්ධතීන්ට සහ වනාන්තරවලට තර්ජන එල්ලවීම කණගාටුවට කරුණකි.

ගැටළු නිරාකරණ ක්‍රමය

තමන් ප්‍රකාශ කරන දෑ චක්‍රලේඛ ලෙස භාරගන්නා ලෙස ද, යම් කාර්යාලයකට යැවූ ලිපියකට දින 14ක් ඇතුළත ප්‍රතිචාර නොදැක්වුවහොත්, ලියුමෙන් කරන ලද ඉල්ලීම පිළිගත්තා සේ සලකන ලෙස ද ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේ තමන් පැවැත්වූ පළමු පිළිසඳරේදීම ය. එසේම ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරතවීමට සියලු ගොවීන්ට පූර්ණ අනුමැතිය දෙන බව 06 වැනි පිළිසඳරට සහභාගි වෙමින් පොළොන්නරුව, මැදිරිගිරිය, වොඩිකච්චිය ග්‍රාමයේදී ඔහු ප්‍රකාශ කළේය. එසේම පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි වනජීවී සංරක්ෂණ, වන සංරක්ෂණ සහ පොලිස් දෙපාර්තමේන්තු ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ට ජනාධිපතිවරයා එහිදී නියෝග කළේය. තවද මොණරාගල, හම්බේගමුව, අලුත්වැව ප්‍රදේශයේ පැවැත්වූ පිළිසඳර අට වැනි වැඩසටහනේදී පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති-රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස්කර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ‘ගම සමග පිළිසඳර’ හිදී ජනතාවගෙන් නිරන්තරයෙන් ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් වනජීවී සංරක්ෂණ, වන සංරක්ෂණ, පරිසර සහ ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා ආයතනවලට ජනතා යහපතට ඉවහල්වන අයුරින් නව නීති සැකසීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. පවතින ගැටළු නිරාකරණය කරමින් නව නීති කඩිනමින් සැකසෙන බවත්, වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය ආයතන සමග නඩු කියමින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසනු පිණිස මේ තීරණයට එළැඹි බවත් ඔහු සඳහන් කළේය.

නියෝග ඉටු කිරීම

ආණ්ඩුව ඉහත කී ඇතැම් තීන්දු-තීරණ ගනු ලැබුවේ කෘෂිකර්මාන්තය සංවර්ධනය තුළින් රට ඉදිරියට ගෙන යෑමේ සහ නීතිමය ලියකියවිලි නොමැතිව ජනතාව පාරම්පරිකව භුක්‌තිවිඳි ඉඩම්වල අයිතිය ඔවුන්ට ලබාදීමේ යහපත් අරමුණ ඇතිව විය හැකිය. නමුත් ඒ සඳහා මුල පිරුණේ ‘රජයට අයත් සියලුම අවශේෂ කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම සඳහා වන සංරක්ෂකට පැවරීම’ හිසැති 2001. 08. 10 දිනැති 05/2001 අංක දරන චක්‍රලේඛය අවලංගු කිරීමට පිඹුරුපත් සකසමිනි. ඒ වෙනුවට ‘රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය’ මැයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2020. 11. 04 දිනැති MWFC/1/2020 අංක දරන චක්‍රලේඛය නිකුත් කෙරිණි. ‘වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වගා කළ හැකි ඉඩම් පිළිබඳ තොරතුරු ලබාගැනීම’ මැයෙන් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ අතිරේක ලේකම් (සංවර්ධන) විසින් 2020. 06. 26 දිනැති 4/3/8/4 අංක දරණ ලිපියද නිකුත් කෙරිණි.
තවද ‘කිසිදු ලියවිල්ලක් ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීම’ මැයෙන් 2020 සැප්තැම්බර් 10 දිනැති 2192/36 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි. ඊට අදාළ ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2020. 09. 09 දිනැති අංක 2020/16 අංක දරන චක්‍රලේඛය නිකුත් කෙරිණි. මෙකී ලිපිලේඛන වැරදි ලෙස අර්ථකථනය කරමින් මහා පරිමාණ වන විනාශයකට රට ඇද දැමීමට ඇතැම් දේශපාලකයන් සහ උසස් නිලධාරීන් කටයුතු කළේ වර්තමාන රජය බලයට පත්වූ මුල් අවදියේ සිට ම ය. එහි ප්‍රතිඵලයක් ලෙස ‘නීත්‍යනුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීම’ සඳහා අයදුම්පත් උත්සවාකාරයෙන් බෙදාහරිමින් ජනතාව, වනාන්තර ඉඩම් අනවසරයෙන් අත්පත්කර ගැනීමට පෙළඹවීමට අවස්ථාවාදී දේශපාලකයන් සහ පරිපාලන නිලධාරීන් කටයුතු කළෝය. ‘පාරම්පරිකව භුක්‌තිවිඳි ඉඩම්වල අයිතිය’ දඩමීමා කරගෙන අනවසරයෙන් අල්ලා ගනු ලබන වනාන්තර ඉඩම්වලටද නීත්‍යනුකූලභාවයක් ලබාගත හැකි බවට ජනතාව තුළ මතයක් ඇති කිරීමට ඔවුහු කටයුතු කළෝය. එසේ සාමාන්‍ය ජනතාවට සොච්චම් දොළපිදේනියක් ලබාදී ඉදිරියේදී මහා පරිමාණ ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් ඉඩම් ලබාදීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමටද ඔවුන් කටයුතු කළා විය යුතුය. පසුව අදාළ ගැසට් පත්‍රය අවලංගු කිරීමට කටයුතු කෙරුණද ‘පිළිසඳර’ හරහා ජනාධිපතිවරයා ලබාදෙන වාචික චක්‍රලේඛ සහ නියෝග මගින් සිදුවන්නේ තවදුරටත් එකී වන විනාශයට උඩගෙඩිදීම ය. තවද එම අවස්ථාවලදී අදාළ දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන් ජනතාව ඉදිරියේ අපහසුතාවට පත්කිරීම මගින් ද සිදුවන්නේ තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරීම ය.

නියෝගවල තරම

මේ ආකාරයෙන් පාලකයන්ගේ අඥාන ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර අභියෝගයට ලක්වූ අවස්ථා කිහිපයක් පමණක් මෙහි ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය තුළ අනවසරයෙන් වී වගාවේ නිරතවූ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අධිකරණ ක්‍රියාමාර්ග මගින් උද්‍යානයෙන් ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා කටයුතු කරනු ලැබුවේ මීට කලකට පෙර ය. තවද ජාතික උද්‍යානයට හීලෑ ගවයන් ඇතුළු කිරීම ද එවැන්නකි. නමුත් මැදිරිගිරිය, වොඩිකච්චිය ග්‍රාමයේ පැවති පිළිසඳරේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබාදුන් තීන්දු මගින් සිදුවූයේ වනජීවී නිලධාරීන්ගේ කැපවීම අභියෝගයට ලක්වීම ය. ජලගැලුම් නිම්නය යනු මහවැලි ගංගාවේ පහළ නිම්නයේ පිහිටි ඊට ම අනන්‍ය වූ සුවිශේෂී පරිසර පද්ධතියකි. එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම මගින් සෙත සැලසෙන්නේ වනජීවීන්ට පමණක් නොවේ. පටු අවස්ථාවාදීන් පිරිසකට එහි වගා කිරීමට සහ ගවපාලනයට ඉඩ ලබාදීම මගින් මෙම ජාතික උද්‍යානයේ දිවි ගෙවන අලි-ඇතුන්ගේ පැවැත්මට තර්ජන එල්ල වේ. එහි ප්‍රතිඵලය ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම ඉහළ ගොස් මිනිස් ජීවිත හා දේපොළවලට ද තර්ජන එල්ලවීම ය.

විනාශයේ උදාහරණ

තණමල්විල, අලුත්වැව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ, කුකුල්කටුව වැව ඉස්මත්තේ පැවති ‘පිළිසඳර’ 08 වැනි වැඩසටහන හරහා ද මෙවැනිම අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත විය. උඩවලව ජාතික උද්‍යානය සහ බෝගහපට්ටිය යෝජිත අභයභූමිය අතර අලි-ඇතුන් සංක්‍රමණය වන්නේ දහයියාගල අලිමංකඩ ඔස්සේ ය. නමුත් ප්‍රාදේශීය දේශපාලකයන් විසින් එහි ඉඩම් අල්ලාගැනීමට ජනතාව පොළඹවනු ලැබුවේ ජනාධිපතිවරයා මගින් ඊට නීතිමය හිමිකම් ලබාදෙන බව සඳහන් කරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ ජනතාව මෙන්ම පිටස්තර පුද්ගලයන්ද සියගණනින් පැමිණ දහයියාගල අලිමංකඩ අභයභූමියේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට කටයුතු කළෝය. එය වැළැක්වීමට වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට සහ පරිසර ක්‍රියාකාරීන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු විය. එමගින් දහයියාගල අලිමංකඩ යම්තරමකින් හෝ බේරාගැනීමට හැකියාව ලැබුණද, මේ දක්වාම ඒ අවට තිබූ වනාන්තර අත්පත් කරගැනීම නොකඩවා සිදුවෙමින් පවතී.
මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුදුම්බර, මීමුරේ ප්‍රාථමික විද්‍යාලයේ පැවති  ‘පිළිසඳර’  10 වැනි වැඩසටහනේදී නකල්ස් වනාන්තරය තුළ එනසාල් වගාව සිදුකිරීම පිළිබඳව සාකච්ඡාවට ලක්විය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත වැවිලි බෝග හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා විසින් මීමුරේ සිදු කරන ලද සංචාරයකින් පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ යටි වනාන්තරය ඉවත් කර, එනසාල් වගා බිම් ව්‍යාප්ත කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කර තිබේ. මෙහි වඩාත් ජුගුප්සාජනක කරුණ වන්නේ මෙහි නීතිවිරෝධී ලෙස හා හානිකර අන්දමින් පවත්වාගෙන ගිය එනසාල් වගා බිම් ඉවත් කිරීමට කටයුතු කෙරුණේ ඉකුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී වීම ය.

ඇත්ත වෙනුවෙන් එකට එක්ව!

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලකුණු කරන ලද, පාරම්පරිකව වගා කටයුතුවල යෙදී සිටි ඉඩම්වල නැවත වගාකිරීම සඳහා ඒවායේ පාරම්පරික අයිතිකරුවන් වෙත අවසර ලබාදීමට රජය ප්‍රතිපත්තීමය තීරණයක් ගෙන ඇති නමුත්, මෙම අවසරය දඩමීමා කරගනිමින් නොයෙක් වෙනත් පාර්ශ්වයන් විසින් වනාන්තර විනාශ කරමින් සිටින බවට තොරතුරු ලැබෙමින් පවතින බව කෑගල්ල, දැරණියගල, දික්ගල්ලකන්ද ප්‍රදේශයේ පැවති ‘පිළිසඳර’ වැඩසටහනේදී ජනාධිපතිවරයා පිළිගෙන තිබේ. නමුත් මේ දක්වා ම එකී වන විනාශය පිටුදැකීමට අවංකව මැදිහත්වීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවක් අපට නොපෙනේ. තවද තමන් විසින් දියත් කර ඇති ‘පිළිසඳර’ වැඩසටහන පිළිබඳව සමාජ මධ්‍ය ජාලාවල නොයෙකුත් අවලාද නැගුවත්, මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ‘ගමේ ලස්සන ආරක්ෂා කරන අතරම ගම්වැසියන්ගේ ජීවිතත් ලස්සන කිරීම’ බව මීමුරේ ප්‍රාථමික විද්‍යාලයේ පැවති ‘පිළිසඳර’  10 වැනි වැඩසටහනේදී ජනාධිපතිවරයා පවසා තිබිණි. නමුත් දැරණියගලදී පැවති පිළිසඳරේදී මාකන්දාව රක්ෂිතය මැදින් පල්ලේබාග සිට කිතුල්ගල දක්වා කිලෝමීටර් තුනක දුරකින් යුත් මාර්ගයක් ඉල්ලා සිටි පුද්ගලයාගේ ඉල්ලීම ජනාධිපතිවරයාට ඉවත දැමීමට සිදුවූයේ එකී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එල්ලවූ විරෝධය නිසාම ය. එබැවින් රටේ තිරසර සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය අපේක්ෂා කරන සියල්ලන්ටම තවදුරටත් ඉතිරිව ඇත්තේ කිව්වා නාහන ආණ්ඩුවට එරෙහිව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හෝ අරගල කිරීම ය. ඉන් එහාට සාමූහිකව ඇත්ත වෙනුවෙන් අරගල කිරීම ය.
Previous articleලංකාවට එරෙහි චෝදනා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනියි – විදෙස් ඇමති දිනේෂ්
Next articleජිනීවා යෝජනාව නව බලාපොරොත්තුවක් – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here