ලංකාවට එරෙහි චෝදනා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනියි – විදෙස් ඇමති දිනේෂ්

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇත්තේ ආධිපත්‍යවාදී රටවල් පමණක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය දරන රටවල් අතරින් තෝරා ගත් රටවල් තනිකර ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි බවද ඔහු පෙන්වා දුන්නේය.
කවුන්සිලයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති රටවල් 47 න් 22 ක් පමණක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කීරීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බව ද ඡන්ද විමසීමෙන් අනතුරුව විදේශ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඔහු මෙසේද කීවේය.
“ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති ලෙස රටේ අති බහුතර ජනතා ඡන්දයෙන් පත් කරගෙන ඉන් පසුව එතුමාට ශක්තිමත් ආණ්ඩුවක් හදා ගන්න රටේ බහුතරය ඡන්දය පාවිච්චි කර තිබෙනවා. පහුගිය ආණ්ඩුව අපේ රට භයානක තත්ත්වයකට ඇද දමන්න ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම අනුග්‍රාහකත්වය ලබා දීල යෝජනා සම්මත කරගෙන තිබුණා. අපේ රජය පත්වුණාට පසුව 2019 වසරේදී අපි 43 වැනි මානව හිමිකම් සමුළුවට සහභාගි වී ඒ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුණා. අපි එදා කිව්වා අපි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරනවා කියල. අපි එදා සිට අද දක්වා ඒ අනුව කටයුතු කරමින් ඉන්නවා. අද ලෝකයම කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්නේ. රටවල් 100කට වැඩිය එන්නත ලබා ගන්න බැරිව දුකට පත්වෙලා ඉන්නවා. එවැනි වෙලාවක මානව හිමිකම් කොමිසමේ පළමු වගකීම වෙන්න ඕනේ කොවිඩ් වසංගතයට ගොදුරු වන ජනතාව ඉන් මුදවාගෙන ඔවුන් ජීවත් කරවීම. අපි මේ ගැන සමුළුවට ප්‍රකාශ කළා.
අපිට එරෙහි මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව පදනම් විරහිත වැරදි සංඛ්‍යා ලේඛන සහ වැරදි තොරතුරු ඇතුළත් වාර්තාවක් බව අපි පෙන්වා දී එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම එ් යෝජනාවට එරෙහි වෙන්න කියලා අපි මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල්වලින් ඉල්ලුවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට එරෙහිව කටයුතු කරන්න මානව හිමිකම් කවුන්සිලයට බෑ. මානව හිමිකම් කවුන්සිලය පිහිටුවීමේ මූලික යෝජනාවට පටහැනිව ඔවුන්ට කටයුතු කරන්න බෑ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය අනුව ඔවුන්ට අවශ්‍ය විදියට රටවල් තෝරාගෙන ඒ ඒ රටවලට චෝදනා එල්ල කරන්න බැහැ. ඒ මූලික ප්‍රතිපත්තියට පටහැනිව අපේ රටට එරෙහිව එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් එක්වෙලා ඉදිරිපත් කළ යෝජනාවට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් රටවල් 22ක් පමණයි ඡන්දය ප්‍රකාශ කර තිබන්නේ. මේ නිසා ඔවුන්ට බහුතරය අහිමි වෙලා තිබෙනවා. උතුර විසින් දකුණ පාලනය කිරීම හෙවත් යටත්විජිතවාදී රටවලින් අමාරුවෙන් ලබා ගත්තු නිදහස පාලනය කීරිමේ උත්සහය අප පරාජය කර තියෙනවා. විශේෂයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අපේ රජයත් රටේ වැදගත් රටට ආදරය කරන අයත් එක්වෙලා ලෝකය දැනුවත් කළා. කොවිඩ් වසංගතය නිසා අපි කාටවත් මේ සමුළුවට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණෙ නෑ. විද්‍යුත් මාර්ගයෙන් සමුළුව පවත්වා අපි වැනි රටවලට බලපෑම් කරමින් කටයුතු කළත් අපේ රටේ ස්වෛරීත්වය, නිදහස ආරක්ෂා කරමින් අපිට එරෙහි යෝජනාව පරාජය කිරීමට අපි කැප වුණා. අපි එදා සහතික වුණ පරිදි මානව හිමිකම් උල්ලංඝනය වී ඇත්නම් ඒ පිළිබඳ විමර්ශනය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් ⁣ජනාධිපති කොමිසමක් පත් කරලා එහි කටයුතු දිගටම කරගෙන යනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙන පරිදි අප 2030 තිරසර සංවර්ධන සැලැස්ම ජයග්‍රහණය කරන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපේ රටේ ජීවත්වෙන සිංහල, දෙමළ, මුස්ලිම් යන ඕනෑම ජාතියකට පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුව වෙනකම් ගමන් කරන්න, ජීවත් වෙන්න, පදිංචි වෙන්න පුළුවන් පරිසරයක් අපි ඇති කරලා තිබෙනවා. LTTE ත්‍රස්වාදීන් විසින් විනාශ කරපු ප්‍රජා අයිතීන් ආරක්ෂා කර දෙන දේශයක් බවට අප අද රට පත් කර තිබෙනවා. මේ සාධනීය කරුණු බැහැර කරමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් අපට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවට බහුතරය නොලැබී ඡන්ද 22 ක් පමණයි ලබාගන්න හැකි වුණේ. එ් වගේම ඡන්ද 11 ක් එක්සත් රාජධානිය ඇතුළු රටවල් ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඡන්ද 14ක් එම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා. මේ අනුව රටවල් 47 න් 25ක් ම මේ යෝජනාවට කැමැත්ත දීලා නෑ. ඒක ඉතාම වැදගත්”
https://medialk.com/archives/4309
Previous article‘පාඩම් උගන්වන විදිහ මං දන්නවා’ : ජනපතිගේ ප්‍රකාශයට එරෙහිව මාධ්‍ය සංවිධාන එක්වෙයි
Next articleඩෝසරේට හසු වූ ගම සමග පිළිසඳර ගෙන යා යුත්තේ කොතැනට ද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here