2015න් පසු ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් වුණේ නෑ – රනිල්

(හසරිදු රාජපක්ෂ)

2015 වසරට පෙර ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් වුවත්, 2015 වසරේදී නව රජය බලයට පත්වීමෙන් පසුව එය කිසිදු අවස්ථාවක සතිපතා පවත්වා නොමැති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ බව අනාවරණය වූයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී ය.

සහරාන් ඉන්දියාවට ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබූ බවත් සහරාන් ශ්‍රී ලංකාවේ සිට ඇති බවට දැනගත්තේ ප්‍රහාරයෙන් පසුව බව වික්‍රමසිංහ මහතා පැවසීය.2017 මාර්තු මස කාත්තන්කුඩි ප්‍රදේශයේ ආලියාර් මංසන්ධියේ ඇති වූ ගැටුමකින් පසුව අතුරුදන්ව සිටි ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මන්ද යන්න විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ සහරාන් ඉන්දියාවට පළා ගොස් ඇති බවට තොරතුරු ලැබුණු බවය. “අපි ආගමික අන්තවාදය පිළිබඳව හොයන්න වෙනම ඒකකයකුත් ආරම්භ කළා. ප්‍රහාරයෙන් පසුව තමයි දැනගත්තේ සහරාන් ඉඳලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා” යැයි හෙතෙම කීවේය.

එමෙන්ම සිය ධූර කාලය තුළ ඉස්ලාම් අන්තවාදීන් විසින් යම්කිසි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි තමන්ට හැඟුන බවත් වික්‍රමසිංහ මහතා කොමිෂන් සභාවට පැවසුවේය. “මට හිතුනා අපේ ජනතාව ඉලක්ක කරගෙන නොවුනත් විදෙස් තානාපති කාර්‍යාලයක් වැනි දෙයක් ඉලක්ක කරගෙන යම්කිසි ප්‍රහාරයක් දියත් කරන්න හැකියාවක් තියෙනවා කියලා. අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්‍යාලය පිහිටා තිබුනේ අරලියගහ මන්දිරය ලඟ. ඒකට ප්‍රහාරයක් එල්ල කළා නම් අපිටත් වදිනවා”, ඔහු පැවසුවේය.

මේ අතර බ්‍රිගේඩියර් සුරේශ් සලෛ ඉස්ලාම් අන්තවාදය පිළිබඳව කරුණු වාර්තා කිරීමේදී ඔහු ඒ පිළිබඳව විරුද්ධ වූයේ ද යන්න කොමිෂන් සභාවේ සාමාජිකයෙක් විමසූ අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එවැනි විරෝධතාවයක් තමන් නොදැක්වූ බවයි. කෙසේ නමුත් ඔහු ඊට අදාළ කරුණු කිහිපයක් මාධ්‍ය නොමැතිව කොමිෂන් සභාව හමුවේ විස්තර කළ යුතු බවද සදහන් කළේය .

තමා අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ පසුව පවත්වන ලද සියළුම ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට සහභාගී වූයේ ද යන්න අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හිටපු අගමැතිවරයා පැවසුවේ සියලුම රැස්වීම්වලට තමා සහභාගී නොවූ බවයි. විශේෂයෙන්ම ජාතික ආරක්ෂක හදිසියේ කැඳවීම නිසා ඒ සඳහා කාලය වෙන් කරවා ගැනීමේදී යම් යම් අපහසුතා ඇති වූ බව හෙතෙම පැවසීය.

එම ගැටළුව පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද දැනුවත් කිරීමට තමන් කටයුතු කළ බවද වික්‍රමසිංහ මහතා කීවේය.”ඒ වෙලාවේ ඔහු කිව්වා බුද්ධි අංශවලින් වාර්තා කරන කරුණු අනුව තමයි රැස්වීම පවත්වන්නේ කියලා, “යැයි ඔහු සඳහන් කළේය.

ජාතික ආරක්ෂක කවුන්සිලය නිරතුරුව රැස් වී සාකච්ඡා කළ යුතු ද යන්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වික්‍රමසිංහ මහතා පැවසුවේ අවම වශයෙන් සති දෙකකට වරක් හෝ එය රැස්විය යුතු බවයි. ජාතික ආරක්ෂක කවුන්සිලයට අග්‍රාමාත්‍යවරයා සහභාගී වීම වැදගත් වන්නේ කෙසේ ද යන්න අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරයා නොමැති අවස්ථාවක වැඩ බැලීමට හෝ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා වූ කරුණු මොනවාද යන්න අග්‍රාමාත්‍යවරයා දැනුවත්ව තිබිය යුතු බවයි.

ඔහු සහභාගී වූ ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලදී ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් වන කරුණු පිළිබඳව සාකච්ඡා වූයේ ද යන්න කොමිෂන් සභාව විමසු අතර හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඉස්ලාම් අන්තවාදය පමණක් නොව, අනිකුත් ආගම්වල අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් ද තොරතුරු ලැබුණු බවයි. “කාත්තන්කුඩි සිට කල්මුණේ දක්වා වන ප්‍රදේශයේ තමයි වැඩි වශයෙන් අන්තවාදී කටයුතු සිදුවන බවට වාර්තා වුණේ. රජයක් විදියට අපි සෑම අවස්ථාවකම උපදෙස් දුන්නා සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් ආරක්ෂා කරන්න සහ අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්න කියලා, “ඔහු පැවසීය.

එමෙන්ම සහරාන් සිටින ස්ථාන සහ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡාවට ලක් වූ අවස්ථාවල නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට තමන් ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දුන් බවත් ඔහු පැවසුවේය.

“ඉස්ලාම් අන්තවාදය ඉදිරියේදී විශාල තර්ජනයක් වියහැකි බව මම එවකට නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක සමගත් සාකච්ඡා කළා. ඉස්ලාම් රාජ්‍ය මතවාදය බොහෝ සෙයින් ව්‍යාප්ත වෙමින් තිබුණේ අන්තර්ජාලය හරහා. ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්න කියලා උපදෙස් දුන්නා” යැයි ඔහු සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පැවසූවේ ත්‍රස්තවාදී කටයුතු වල නිරත වන පුද්ගලයෙක් නම් කිසිදු ජාති ආගම් භේදයකින් තොරව අත්අඩංගුවට ගත යුතුව තිබූ බවයි.

ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ නිසා ප්‍රතිත්‍රස්ත පනත හඳුන්වා දීම සඳහා කෙටුම්පත් සකස් කළ බවත්, එහිදී ඇති වූ විවිධ ගැටළු නිසා එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් හෙතෙම පැවසීය.

ඉස්ලාම් රාජ්‍ය සංවිධානය මෙරට තහනම් කිරීම සඳහා ඔහුගේ නායකත්වයෙන් යුතු රජය පියවර නොගත්තේ මන්ද යන්න කොමිසම විමසූ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා පැවසුවේ එය සංවිධානයක් ලෙස මෙරට ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා නොවූ බවයි. එලෙස තොරතුරු තිබු⁣ණේ නම් අවම වශයෙන් විවාදයක් හෝ පැවැත්වීමට තිබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2018 දෙසැම්බර් මස මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී බුදු පිළිම කිහිපයකට අලාභ හානි සිදු කිරීම සහ වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිදුවීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් ද විමර්ශන නිසි පරිදි සිදු කරන ලෙසට තමන් පොලිස්පති පූජිත් ජයසුන්දර ට දැනුම් දුන් බව ද හෙතෙම  පැවසීය.

එම අවස්ථාවේ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් විවෘත විමර්ශන සිදු නොකරන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දුන් බවට පොලිස්පතිවරයා පැවසුවේ ද යන්න අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය වික්‍රමසිංහ මහතාගෙන් විමසූ අතර  ඊට පිළිතුරු වශයෙන් ඔහු පැවසුවේ එවැනි දැනුම්දීමක් සිදු නොකළ බවයි.
මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය වන ආකාරයෙන් අඳින ඇඳුම් තහනම් කිරීම සම්බන්ධයෙන් තමන් අකමැත්තක් පළ කළේ එවැනි දෙයක් සිදු කිරීම තුළින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන් ලැබුණු තොරතුරු නොලැබී යා හැකි බව හැඟුන නිසා බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීවේය.

1983 වර්ශයේදී ඇති වූ ජාතිවාදී කෝලහලයන් නිසා ද්‍රවිඩ ජනතාව විසින් එල්ටීටීඊ. සංවිධානය පිළිබඳව ලබාදුන් තොරතුරු නැති වී ගියා වැනි තත්ත්වයක් ඇති වීම වළක්වාගැනීමට තමන්ට අවශ්‍ය වූ බවයි.

මුස්ලිම් ජනතාව විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳව තොරතුරු ලබාදුන්නේ නම් 2019 අප්‍රේල් මස ත්‍රස්ත ප්‍රහාරයක් දියත් විය හැකි බවට වන තොරතුර විදේශ බුද්ධි අංශ විසින් අනාවරණය කරගන්නා තෙක් මෙරට බුද්ධි අංශවලට ඒ පිළිබඳව අනාවරණය කරගැනීමට නොහැකි වූයේ මන්ද යන්න කොමිෂන් සභාවේ සාමාජිකයින් සාක්ෂිකරුගෙන් විමසීය. ඊට පිළිතුරු වශයෙන් වික්‍රමසිංහ මහතා පැවසුවේ මුස්ලිම් ජනතාව විසින් ඉස්ලාම් අන්තවාදය පිලිබඳව බොහෝ තොරතුරු මෙරට ආරක්ෂක අංශ වලට ලබා දී තිබූ නමුත් එම තොරතුරු අනුව කටයුතු කිරීම ආරක්ෂක අංශවලට අයත් කටයුත්තක් බව ඔහු පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here