අන්තවාදී චෝදනා මත අත්අඩංගුවට ගැනීම් : නඩු විභාගත් නෑ – ජනපතිගේ ගැසට් පත්‍රය ව්‍යවස්ථා විරෝධී ද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව පසුගිය මාර්තු 12දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අංක 2218/68 දරන ගැසට් නිවේදනය මගින් සෑම පුද්ගලයෙකුටම සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතිය උල්ලංඝනය වන බව නීති විශාරදයෝ අවධාරණය කරති.

නීතිපති ලිඛිත අනුමැතිය පමණයි

මෙය 2021 අංක 01 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ) නියෝග ලෙස ගැසට් නිවේදනයේ හඳුන්වා ඇත. එහි අංක 05 යටතේ ඇති 04 වැනි කොටසේ සඳහන් කර ඇත්තේ මේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකු නඩු විභාගයකින් තොරව පුනරුත්ථාපනය සඳහා යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකි බවයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නීතිපතිවරයාගේ ලිඛිත අනුමැතියක් පමණක් බව ද එම කොටසේ වැඩිදුරටත් දැක්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් වන්නේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකුට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ මූලික අයිතියක් ඇති බවයි. එසේ තිබියදී මේ ආකාරයට නීතිපතිවරයාගේ මතය මත පමණක් පුද්ගලයෙකු පුනරුත්ථාපනයට යොමුකිරීමේ තීරණය ගැනීම බරපතළ කරුණක් බව ද අදාළ නීති විශාරදයෝ පෙන්වා දෙති.

සාධාරණ නඩු විභාගයක අයිතිය

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් අවධාරණය කළේ අධිකරණයක් මගින් යම් සිදුවීමක දෙපාර්ශ්වයේ කරුණු විමසා බලා තීන්දුවක් ගත්තද, නීතිපතිවරයා කරනු ලබන්නේ එවැන්නක් නොවන බවයි. නීතිපතිවරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයා පිළිබඳව ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා සිය තීරණය ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන බවත්, එම තීරණය සාධාරණද යන්න සම්බන්ධයෙන් අධිකරණය තීරණය කරනු ලබන්නේ සාධාරණ නඩු විභාගයකින් පසුව බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේය. එහෙත් මේ ගැසට් නිවේදනයේ සඳහන් කර ඇති ආකාරයට නීතිපතිවරයාගේ අදාළ මතය පිළිබඳ දෙපාර්ශ්වයේ කරුණු විමසීමක් හෙවත් නඩු විභාගයක් නොපැවැත්වෙන තත්ත්වයක් මතුවන බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය උල්ලංඝනය කෙරෙන බවත් පැවසූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ්, මේ ගැසට් නිවේදනයේ අදාළ චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පුනරුත්ථාපනය කෙරෙන ක්‍රමවේදය පැහැදිලිව සඳහන් නොවීම ද බරපතළ කරුණක් බව පෙන්වා දුන්නේය.

සුළුවෙන් තකන්න බෑ

මේ පිළිබඳව සිය ට්විටර් පිටුව ඔස්සේ අදහස් දක්වමින් නීතිඥ විරාන් කොරයා පෙන්වා දී තිබුණේ මේ ගැසට් නිවේදනය මගින් පුද්ගල නිදහස පිළිබඳ බරපතළ ගැටළුවක් මතුවන බවයි. ඊට හේතුව පිළිගත් විනිසුරුවරයෙකුට ඊට අදාළ තීන්දුවක් ගැනීමට ඇති ඉඩ නැතිවීම බව ද ඔහු පෙන්වා දී තිබිණි. ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම පවසන්නේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පිළිබඳව නඩු විභාගයකින් තොරව තීන්දු ගන්නේ නම්, එය සුළුවෙන් තැකිය නොහැකි කරුණක් බවයි.

පුද්ගලයන් ඉලක්ක කරයිද?

මීට පෙර මත්ද්‍රව්‍ය වැරදිවල ස්වභාවය සම්බන්ධයෙන් ද මෙවැනි නියෝගයක් පැනවුණු අතර, එහි සඳහන් වූයේ සැකකරු සතුව ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව නඩු විභාගයකින් තොරව පුනරුත්ථාපනය සඳහා යොමුකළ හැකි බවයි. එමගින් ද ව්‍යවස්ථාවේ අදාළ වගන්තිය උල්ලංඝනය වන බවත්, මෙවැනි අත්තනෝමතික නියෝග මගින් පුද්ගලයන් ඉලක්ක කොට, ඔවුන් පීඩාවට පත්කිරීමේ අවස්ථාව ලබාගැනීමේ අවදානමක් ඇති බවත් නීති විශාරදයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

ගැසට් පත්‍රයේ වගන්තිය

(4) භාරවන්නෙකු හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකු සිදුකරන ලද වරදේ ස්වභාවය අනුව එකී තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඔහු මධ්‍යස්ථානයක් තුළ පුනරුත්ථාපනයට ලක්කිරීම සුදුසු බව නීතිපතිවරයාගේ මතය වන විට, නීතිපතිවරයාගේ ලිඛිත අනුමතය සමග එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා 3 වැනි නියෝගයේ සඳහන් වැරදිවලට අමතරව වෙනත් වැරදි සිදුකර ඇද්ද යන කාරණය පිළිබඳව සලකා බැලීමෙන් පසුව එකී තැනැත්තා වසරකට නොවැඩි කාලයක් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ හැකිය.
Previous articleරටවල් 06ක් වෙනුවට 42ක් : මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ලංකාවට එරෙහි තවත් යෝජනාවක් !
Next articleඅපේ රටේ රජාලා නෑ : ඒවට පාඩම් උගන්වන විදිහ මං දන්නවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here