‘නීතිය’ පාසල් විෂයයක් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් !

‘නීතිය’ විෂයයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ.
අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ හා අධිකරණ ඇමති අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදී මෙම අනු කාරක සභාව පත්කිරීම සිදු වී ඇත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සිවඥානම් ශ්‍රදරන්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම්, අමරකීර්ති අතුකෝරළ, ඩයනා ගමගේ, සුදර්ශන දෙනිපිටිය යන සාමාජිකයන් අට දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කෙරිණි. එහි ලේකම් ලෙස පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා කටයුතු කිරීමට නියමිත ය.
මෙහිදී අදහස් දක්වමින් අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසා සිටියේ නීතිය පිළිබඳ මහජනතාව සතු දැනුම ඉතා පහළ මට්ටමක පවතින බැවින්, නීතිය සම්බන්ධ මූලික අවබෝධයක් මෙරට දරුවන්ට ලබා දීම ඉතාම වැදගත් බවයි. ලොව දියුණු රාජ්‍යයන්හි මුලික නීතිය පිළිබඳව පුරවැසි අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කර ඇති බවත්, නීතිය පිළිබඳ දැනුම පාසැල් විෂය මාලාවට එක්කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් අධිකරණ ඇමතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
පාසැල් විෂය මාලාවට නීති විෂය එක්කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පත්කළ මෙම මූලික කමිටුවේ යෝජනා ඇතුළත් වාර්තාව මාස දෙකක කාලයක් තුළ ලබාදෙන ලෙස මෙහිදී අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කමිටු සාමාජිකයන්ට උපදෙස් ලබාදුන්නේය. ඉන් අනතුරුව විශේෂඥ කමිටුවක නිර්දේශ මත නීතිය විෂය මාලාවට කඩිනමින් ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
Previous articleරාජ්‍ය බැංකු සේවකයින්ගේ ගැටළු විසඳන්නැයි ඉල්ලයි : සේවකයින්ට විරෝධතා ලාංඡනයක්
Next articleරටවල් 06ක් වෙනුවට 42ක් : මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ලංකාවට එරෙහි තවත් යෝජනාවක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here