රාජ්‍ය බැංකු සේවකයින්ගේ ගැටළු විසඳන්නැයි ඉල්ලයි : සේවකයින්ට විරෝධතා ලාංඡනයක්

රාජ්‍ය බැංකු සේවකයින්ගේ ගැටළු විසඳාගැනීම වෙනුවෙන් මේ සතියේදී ලංකාවේ සියලුම රාජ්‍ය බැංකුවල සේවකයින් විරෝධතා ලාංඡනයක් පැළඳගෙන සේවයේ නිරතවෙන බවත් හෙට (18) කොළඹ නගරයේ තිබෙන රාජ්‍ය බැංකු මුලස්ථාන ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇති බවත් ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.
මේ සඳහා ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරන බැංකු 18ක සාමාජිකයෝ සහභාගී වන බවද එම සංගමය ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා මෙසේ පැවසීය.
“රාජ්‍ය බැංකු වල සේවය කරන සේවකයින්ගේ ප්‍රශ්න ගණනාවක් පිළිබඳව ඒවාට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස ලංකා බැංකු සේවක සංගමය විදිහට අපි දීර්ඝ කාලයක් තිස්සේ හඬ නගමින් ඉන්නවා. රාජ්‍ය බැංකු සේවකයින්ගේ ප්‍රශ්න පිළිබඳව අපි අවස්ථා ගණනාවකදීම අගමැති සහ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළා. මේ අතරින් ප්‍රධානම ප්‍රශ්න තුනක් තිබෙනවා. රාජ්‍ය බැංකු සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නය විසඳලා නැහැ. ඒ වගේම ලංකා බැංකුවට 2018 දී බඳවාගත් මාණ්ඩලික සහකාරවරුන්ගේ පුහුණු කාලය අවසන් වුණත් ඔවුන් ස්ථිර කරන්න කටයුතු කරලා නැහැ. ලංකා බැංකුවට අනුබද්ධ ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සිදුවන බරපතල විෂමාචාර වලක්වන්න පරිපාලනයේ දුර්වලතා විසදන්න බලධරීන් ක්‍රියකාරලා නැහැ. මේවා තමයි බරපතල ගැටළු. ඊට අමතරව තවත් ප්‍රශ්න කිහිපයක්ම බැංකු සේවකයින්ට තිබෙනවා.

රාජ්‍ය බැංකු සේවකයින්ගේ විශ්‍රාමය සම්බන්ධ ගැටළුව

රාජ්‍ය බැංකු සේවකයින්ගේ විශ්‍රාමය පිළිබඳ ප්‍රශ්නය ඉතාම බරපතල ප්‍රශ්නයක් වී තිබෙනවා. 1996 දී බැංකු සේවකයින්ගෙන් අහිමිකළ විශ්‍රාමය 2014 දී නැවත බැංකු තුළ ස්ථාපිත වෙනවා. නමුත් මේ විශ්‍රාමයේ බරපතල ගැටළු අඩුපාඩු ගණනාවක් අපි දකිනවා. මේ අඩුපාඩු නිවැරදි කරලා දෙන්න කියලා අපි ඉල්ලුවා. මොකද නැවත විශ්‍රාමය ස්ථාපිත වුණේ මහජන බැංකුව , ලංකා බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව කියන ආයතනවල විතරයි. තවත් රාජ්‍ය බැංකු තුනක් තිබෙනවා. ප්‍රාදේශිය සංවර්ධන බැංකුව, රාජ්‍ය උකස් හා අයෝජන බැංකුව, නිවාස මුල්‍ය සංස්ථා බැංකුව, කියන මේ බැංකුවල සේවකයින්ට කිසිම විශ්‍රාම ප්‍රතිලාභයක් නැහැ. අවුරුදු 55 න් විශ්‍රාම ගියාට පසුව ඒ මිනිස්සුන්ගේ ජීවිතයේ සැඳෑකාලය ගතකරන්න කිසිම හවුහරණක් නැහැ. මේකට පිළියමක් යොදන්න කියන ඉල්ලීම අපි කළා. අපි සමග කළ සාකච්ඡාවෙන් පසුව රාජ්‍ය බැංකුවල විශ්‍රාම ගැටළුව නිරාකරණය කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා අගමැතිතුමා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට පැහැදිලිව උපදෙස් දී තිබෙනවා. ඊට පසුව විශ්‍රාම ප්‍රශ්නය විසඳන්න අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යාංශයට යොමුකරන්න කියලා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා රාජ්‍ය බැංකුවලට ලිඛිතව උපදෙස් ලබාදී තිබෙනවා. නමුත් රාජ්‍ය බැංකු මේ උපදෙස් කිසිවක් ක්‍රියාත්මත කරලා නැහැ.

ලංකා බැංකු සේවකයින් ස්ථිර නොකිරීමේ අර්බුදය

පසුගිය රජය සමයේ 2018 වසරේදී ලංකා බැංකුවට 2000 ආසන්න පිරිසක් සේවයට බඳවා ගන්නවා. අලුතෙන් බදවාගන්නා සේවකයෝ අවුරුදු දෙකක පුහුණු කාලයකින් පසුව සේවයේ ස්ථිර කළ යුතුයි. මෙතෙක් පැවතුනේ ඒ ක්‍රියාදාමය. සේවය ස්ථිරකරන තුරු මේ සේවකයින්ට ගෙවන්නේ ඉතාම අඩු දීමනාවක් පමණයි. මේ කාරණය නිවැරදි කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලුවා. රාජ්‍ය බැංකුවලට අලුතින් සේවකයින් බඳවාගැනීමේදී වසර දෙකක පුහුණු කාලයකින් පසුව ඔවුන්ව සේවය ස්ථිර කළ යුතුයි කියන කාරණය රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරන්න අගමැතිතුමා පිළිගත්තා. ඒ මොකද රාජ්‍ය බැංකු ලබන බිලියන ගණනක ලාභය උපයන්න මේ සේවකයෝ විශාල කැපකිරීමක් කරනවා. නමුත් අනිකුත් සේවකයෝ බුක්ති විඳින වරප්‍රසාද කිසිවක් ඔවුන්ට හිමිවෙන්නේ නැහැ. මාසිකව රුපියල් 30 000 පමණ අවම දීමනාවක් පමණයි ගෙවන්නේ. මේක අසාධාරණ බවත් මෙය පැහැදිලිවම ශ්‍රමය සුරා කෑමක් බවත් අපි කිව්වා.
ලංකා බැංකු පුහුණු සේවක ප්‍රශ්නයේදී සේවකයින් වසර 02 කදී ස්ථිර කරන්න රජය පොරොන්දු වුණා. ඒ අනුව මේ සේවකයෝ ස්ථිර කරන්න කියලා මුදල් අමාත්‍ය ලේකම්තුමා ලංකා බැංකුවේ සභාපතිතුමාට ලිඛිත උපදෙස් දී තිබෙනවා. ඒ නියෝගය ක්‍රියාත්මක වුණානම් පසුගිය අගොස්තු මාසය වන විට මේ සියලුදෙනා ස්ථිර කළ යුතුයි. නමුත් අදවනතුරු මේ නියෝගය ලංකා බැංකුව ක්‍රියාත්මක කරලා නැහැ. ඒ කියන්නේ ලංකා බැංකුව 2000 ට ආසන්න සේවකයින්ගේ ශ්‍රමය සුරාකමින් ඉන්නවා. අපේ මේ අරගලය නිසාම ස්ථිර නොකරපු සේවකයින්ගේ රුපියල් 30 000 දීමනාව රුපියල් 45 000 ට වැඩිකලා. මේවගේ දීමනාවකින් ජීවත්වෙන්න පුළුවන්ද?. මේවා ඉතාම මානුෂිය ප්‍රශ්න. නමුත් කිසිකෙනෙක් මේවා ගණන් ගන්නේ නැහැ. රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය වෙන්නේ. නමුත් අමාත්‍යාංශයේ උපදෙස් මේ බැංකු ක්‍රියාත්මක කරන්නේ නැතිනම් මේ අවනඩුව කියන්නේ කාටද?

ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ අක්‍රමිකතා

පෞද්ගලික මුල්‍ය ආයතනයක් ලෙස මේ රටේ ක්‍රියාත්මක වන ශ්‍රීලංකා මර්චන්ට් බැංකුව කියන මේ මුල්‍ය ආයතනය ලංකා බැංකුවට අනුබද්ධ ආයතනයක්. මර්චන්ට් බැංකුවට දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ප්‍රධාන විධායක නිලධාරියෙන් නැහැ. වැඩබලන නිලධාරියෙක් පත්කරගෙන මේ ආයතනය දවසින් දවස කඩාවැටෙනවා . බරපතල ආකාරයේ විෂමාචාර හොරකම් දුෂණ  අක්‍රමිකතාවලිනන් පිරිලා ගිහින්. මේ ගැන අපි රජයට කිව්වා. එහිදී පහුගිය කාලසීමාවේදී රාජ්‍ය බැංකුවල සිදුවෙලා තිබෙන බරපතල විෂමාචාරයන් පිළිබඳව හොයාබලන්න කොමිසමක් පත්කරනවා කියලා අගමැතිතුමා අපිට පොරොන්දුවුණා.
රාජ්‍ය බැංකු කියන්නේ මේ රටේ ජනතාවගේ බැංකු. එක එක්කෙනාට ඕන විදිහට ඒවලින් හොරකම් කරන්න දෙන්න බැහැ.ඒ බැංකුවල තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය සල්ලි. අගමැතිතුමා සමග අපි පැවැත්වු සාකච්ඡාවෙන් මාසයකට විතර පසුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රණතුංග මහත්මයාගේ මුලිකත්වයයෙන් රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සොයන්න කොමිටුවක් පත්කළා. රාජ්‍ය බැංකුවල සිදුවී තිබෙන අකටයුතුකම් පිළිබඳව වෘත්තිය සමිතියක් විදිහට අපි ගිහින් ඒ කොමිසමට කරුණු ඉදිරිපත් කළා. නමුත් අද මේ වනවිට ඒ පත්කරපු කොමිසමත් නැහැ. කොමිසමේ වාර්තාවත් නැහැ අපි ලබාදුන් තොරතුරු වලට වෙච්ච දෙයකුත් නැහැ. අගමැතිතුමා මුලිකත්වය අරගෙන පත්කරපු කොමිසමට මොකද වුණේ කියලා අපි අගමැතිතුමාගෙන් අහනවා. අපි හෙළිකර දුන්නු විෂමාචාරයක් ගැන ගත්තු තීන්දුව මොකද්ද?. ඒ කිසිවකට පිළිතුරක් නැහැ.
මෙ ප්‍රශ්නවලට මෙතෙක් විසදුම් නැහැ. ඒවගේම තවදුරටත් ඒව කියන්න කෙනෙක් නැහැ. මේ නිසා ලංකා බැංකු සේවක සංගමය විදිහට මහපාරට බැහැලා  මේ අසාධාරණය කතාකරන්න අපිට සිදුවෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර අපි ගනිමින් ඉන්නවා. අපි වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භකරලා ක්‍රියාත්මක කරනවා.
මේ හරහා ආණ්ඩුවටත් පාලකයින්ටත් ජනතාවටත් මේ පණිවිඩය සන්නිවේදන කරන්න කටයුතු කරනවා. රටේ රාජ්‍ය බැංකු සාමකාමීව පවත්වාගෙන යාම ජනතාවට වැදගත්. ඒ නිසාම තමයි වෘත්තිය ක්‍රියාකාරකම්වලට නොගොස් සාකච්ඡාවෙන් මෙය විසඳාගන්න උත්සහ කළේ. කොවිඩ් වසංගතය සමග ජනතාව අර්බුදයකට ලක්වෙලා, ව්‍යාපාර අර්බුදයකට මුහුණදී තිබෙනවා. මේ නිසා අපි බැංකු සේවකයෝ විදිහට ජනතාවට සේවය සලසන්න ඉවසීමෙන් වැඩ කළා. නමුත් තවදුරටත් එහෙම ඉන්න බැරි තත්ත්වයක් උදාවී තිබෙනවා.මෙය දිගින් දිගටම සිදුවෙනාවම් අපිට ඉවසන්න බැහැ. එහෙම වුනොත් මීට වඩා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට ඉදිරියේදී අපිට යන්නට සිදුවෙනවා.
වර්තමාන රටේ ප්‍රතිපත්තිය වන සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශනයේ 29 වැනි පිටුවේ තිබෙනවා රජයේ බැංකු සේවකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදනවා කියලා. රාජ්‍ය ප්‍රතිපත්තියේ තියෙන සමහර දේවල් ක්‍රියාත්මක කරන්න ආණ්ඩු බොහොම උනන්දුයි. ඒවගේම අපේ ප්‍රශ්නයත් වහාම විසඳන්න කියලා අපි කියන්න කැමතියි.
Previous articleඅල්ලස් කොමිසම මොහාන් පීරිස්ට එරෙහි නඩුව ඉල්ලා අස්කරගනී
Next article‘නීතිය’ පාසල් විෂයයක් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here