අල්ලස් කොමිසම මොහාන් පීරිස්ට එරෙහි නඩුව ඉල්ලා අස්කරගනී

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තාක්ෂණික දෝෂයක් නිසා එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූණු අතර එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂීණී සේනානායක මහත්මිය මෙලෙස දැනුම් දුන්නාය.

එම කරුණු තහවුරු කිරීම සඳහා මෙම නඩුව මාර්තු මස 30 වැනිදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මෙම නඩුව පැවරීමට එරෙහිව විත්තිකාර මොහාන් පීරිස් මහතා ඇතුළු පිරිස ඉදිරිපත් කළ රීටි පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය අත් හිටුවන ලෙස දන්වමින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබූ බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීති නිලධාරිනිය අධිකරණය හමුවේ කියා සිටියාය.

නමුත් එම නඩුව විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇතැයි ද ඇය පෙන්වා දුන්නාය. කෙසේවෙතත් එම නඩුවේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවද අල්ලස් කොමිසමේ නීති නිලධාරිනිය අධිකරණයට දැනුම් දුන්නාය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව හා මීට අදාළ වැඩිදුර කරුණු දැක්වීම් ඉදිරිපත් කිරීම සඳහා නඩුව මාර්තු මස 30 වැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය.

2010 වසරේ දෙසැම්බර් මස පළමුවැනිදා සහ එම මස තිස් වැනිදා අතර කාලය තුළ ලංකා විදුලි සමාගමට ඉඩමක් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් එම සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීති පියවර ගැනීමට නිසි උපදෙස් ලබා නොදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම් ඩී නවාස් සහ අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

 

 

Previous articleබදියුදීන් ගැන බොරු ප්‍රචාර තහනම් : මාධ්‍ය ආයතන තුනකට – විමල් වීරවංශට තහනමක්
Next articleරාජ්‍ය බැංකු සේවකයින්ගේ ගැටළු විසඳන්නැයි ඉල්ලයි : සේවකයින්ට විරෝධතා ලාංඡනයක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here