බදියුදීන් ගැන බොරු ප්‍රචාර තහනම් : මාධ්‍ය ආයතන තුනකට – විමල් වීරවංශට තහනමක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අපහාසාත්මක වන ආකාරයේ අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ නිකුත් කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ විද්‍යුත් මාධ්‍ය ආයතන තුනක් වෙත කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා අද(16) වාරණ නියෝගයක් නිකුත් කළේය.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින දෙරණ මැක්රෝ එන්ටර්ටේන්මන්ට් සමාගම, ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් සමාගම සහ ඊ.ඒ.පී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් යන මාධ්‍ය ආයතනවලට එරෙහිව ද මෙම වාරණ නියෝගය බල පැවැත්වෙයි.හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරුවරයා ලබන 30 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කළේය.
ඉකුත් 09 වැනිදා කොළඹ පැවති “ඉස්ලාම් අන්තවාදය සහ පාස්කු කොමිසමෙන් ඔබට” නමැති සම්මන්ත්‍රණයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා තමා සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශයක් සිදු කර ඇති බවට බදියුදීන් මහතා නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා මාර්ගයෙන් අධිකරණයට දැන්වීය. ඒ තුළින් තම කීර්ති නාමයට හානියක් සිදු වූ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අධිකරණයට ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශය වගඋත්තරකාර මාධ්‍ය ආයතන මගින් එදින රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය මගින් ප්‍රචාරය කළ බව පෙන්වා දුන්‍ බදියුදීන් මහතා ඒ තුළින් තමන්ට දැඩි අපහාසයක් මෙන්ම අගතියක් සිදු වූ බව පැවසීය. ඒ අනුව මෙම නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය පදනම් කරගෙන තමන්ට එරෙහිව සිදුකරන ද්වේශ සහගත හා අසත්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රචාරයට පත් කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් හා ස්ථිර අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස බදියුදීන් මහතා පෙත්සමෙන් ඉල්ලා සිටී.
එම කරුණු සලකා බැලූ දිසා අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර ස්ථිර අතුරු තහනම් නියෝගය පිළිබඳව විභාගයට අදාළ නොතිසි ද වගඋත්තරකරුවන් වෙත නිකුත් කිරීමට නියෝග කළේය.
Previous articleආන්දෝලනාත්මක සිද්ධියක මෙමරි කාඩ්පතක් නිසා මාධ්‍යවේදියෙක් පැහැරගෙන ?
Next articleඅල්ලස් කොමිසම මොහාන් පීරිස්ට එරෙහි නඩුව ඉල්ලා අස්කරගනී

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here