ආන්දෝලනාත්මක සිද්ධියක මෙමරි කාඩ්පතක් නිසා මාධ්‍යවේදියෙක් පැහැරගෙන ?

ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධයෙන් වන දත්ත ඇතුළත් මෙමරි කාඩ්පතක් මුල්කරගනිමින් තමන් පැහැරගෙන ගොස් පහරදී දෙමටගොඩ ප්‍රදේශයේදී අතහැර දමාගිය බව මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා MediaLK වෙත පැවසීය.
මීරිගම නගරයේදී තමන් පැහැරගැනීමට ලක්වූ බවත්, එක් නිවසකට ගෙන ගොස් තමන්ගෙන් ප්‍රශ්න කළ බවත්, තමන් සන්තකයේ තිබූ පෙන් ඩ්‍රයිව් දෙකක් සහ මෙමරි කාඩ්පතක් ඔවුන් බලහත්කාරයෙන් ලබාගත් බවත් ඔහු සඳහන් කළේය.
රටේ ආන්දෝලනාත්මක සිද්ධියකට අදාළ දත්ත කිහිපයක් එහි තිබූ බවද, දැන් එම දත්ත තමන් සන්තකයේ නොමැති හෙයින් අදාළ දත්ත ගැන ප්‍රකාශ කිරීම සදාචාරාත්මක නොවන බවද ඔහු අවධාරණය ක⁣ළේය.
ඔහු මෙසේද කීවේය.
‘මම පත්තර වගයක් කරනවා. ඊට අමතරව පේජ් එකක් කරනවා. මම මීරිගමට ඇවිත් ට්‍රේන් එකේ වැඩට යන්න ආවේ. කළු පාට ජීප් එකක් නවත්තලා තිබුණා. මාව එ්ක ඇතුළට දාගෙන බෑග් එකක් ඔළුවට දැම්මා. විනාඩි 45ක් විතර යද්දි ගෙදරකට අරන් ගිහින් ප්‍රශ්න කෙරුවා මගෙන්. පස්සේ උත්තර දෙන්නැතුවම තලයක් රත් කර-කර මගේ ඇඟට තිය-තියා ප්‍රශ්න කළා. මගේ ළඟ තිබුණු පෙන් ඩ්‍රයිව් දෙකක් ගත්තා. චිප් එකක් තිබුණා ගෙදර. ඒකත් අරගෙන ගියා. ඒක තමයි එයාලට ගන්න ඕන වෙලා තිබුණේ. ඒකේ තිබුණු තොරතුරු ගැන දැන් කියන එක සදාචාරාත්මක නැහැ. මොකද ඒ දේවල් මගේ ළඟ දැන් නැති නිසා. ප්‍රශ්න කරලා, ගහලා මාව දෙමටගොඩින් ගෙනැත් දැම්මා.
⁣පොලිසිය කට උත්තර හතරක් ගත්තා. ⁣හෙට ටිකට් කැපුවට පස්සේ දෙමටගොඩ පොලිසියට එන්න කියලා තියෙනවා. 1988 ඉඳලා මම මේ වෘත්තියේ ඉන්නේ. ජනදින, ජනසතිය පත්තරවල මම වැඩ කළා. සියරට පේජ් එක කළා. යුගය, මහිම, පෙරළිය කියන පත්තරවල මම වැඩකරනවා.’
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ කිසියම් පිරිසක් විසින් තමන් පැහැරගනු ලැබ පහරදීමට ලක්වූ බවට මාධ්‍යවේදියකු පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි.
එම සිද්ධිය මීරිගම ප්‍රදේශයේදී සිදුව ඇතැයි ද, ඔහු මේ වන විට රෝහල්ගත කර ඇතැයි ද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දෙමටගොඩ පොලිසියේ ප්‍රකාශකයෙක් කීවේය.
මේ සම්බන්ධයෙන් පැමිණිල්ල මීරිගම පොලිසියට සිදුකර ඇතැයි ද, දෙමටගොඩ පොලිසිය⁣ විසින් කටඋත්තරයක් ලබාගත් බවද ඔහු සඳහන් කළේය. වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ඇති බව ඔහු පැවසීය.
මේ පිළිබඳ මීරිගම පොලිසියෙන් කළ විමසීමකදී පැවසුවේ මෙහි විමර්ශන සිදුකරන්නේ දෙමටගොඩ පොලිසිය මගින් බැවින් දෙමටගොඩ පොලිසියෙන් වැඩිදුර විස්තර විමසන ලෙසයි. පැමිණිල්ල ලැබී ඇත්තේ පැහැරගෙන ගොස් අතහැර දමා යෑම සම්බන්ධයෙන් බව මීරිගම පොලිසිය සඳහන් කළේය.
Previous articleරුපියල තවත් බාල්දු වෙයි : ඩොලරය 200 පනී
Next articleබදියුදීන් ගැන බොරු ප්‍රචාර තහනම් : මාධ්‍ය ආයතන තුනකට – විමල් වීරවංශට තහනමක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here