ජාතික සම්පත් ප්‍රාදේශීය සංවර්ධනයට යට කළ හැකිද?

(විමල් වීරරත්න)
2011 සැප්තැම්බරයේ කොළඹ මහ නගර සභා ඡන්දය පවත්වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව තිබුණේ 2010 ජනාධිපතිවරණයෙන් ද මහමැතිවරණයෙන් ද ජයගෙන තුනෙන් දෙකක මහා බලයක් සහිතවය. කෑලි කඩා ඡන්ද පැවැත් වූ ආණ්ඩුව කොළඹ මහ නගර සභා මැතිවරණයේ ප්‍රමුඛ සටන් පාඨය කරගත්තේ කොළඹ සංවර්ධනයට ඉඩ දෙන්න යන්නයි. ‘කොළඹ ෆ්ලැට් කිරීම’ යන උත්ප්‍රාසජනක තේමාව යටතේ එවක එක්සත් ජනතා නිදහස් සන්ධානයත් විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයත් මැතිවරණ ප්‍රචාරණයේ නියැලුණේය. කෙසේ වෙතත් එතරම් බලගතු ආණ්ඩුවට කොළඹ මහ නගර සභාව ජයගැනීමට හැකිවුණේ නැත. ලංකාව සිංගප්පූරුවක් කිරීමේ රාජපක්ෂ ව්‍යාපෘතියේ සිහින කුමරාව සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභයට අගනාගරික සංස්ථාව අත්පත් කරගන්නට නොහැකි විය. මේ පරාජය ගැන යළි සිහිවූයේ අද ඒ ලේකම් ජනාධිපතිවරයාව රාජ්‍ය නායකත්වයට පත්ව ඇති නිසාම නොවේ. ඒ ජනාධිපතිවරයා යටතේ සිදුවන මහා පරිසර විනාශය හමුවේ මැතිවරණය ජයගැනීම සඳහා එවක ආණ්ඩුවේ කතිකයන් භාවිත කළ සටන් පාඨයක් සිහි වූ නිසාය. එය නම් ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයයි.
පසු කලෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප වූ ධම්ම දිසානායක මහතා එකල සමීපව සිටියේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාටය. කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයකුව සිටිමින් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාට සහාය දක්වන්නට ගිය ධම්ම දිසානායක නතර වුණේ ජනසභා අධ්‍යක්ෂ ජනරාල් නමැති තනතුරකිනි. බැසිල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික වැඩ කොටස එකල ද කර තියාගෙන යද්දී ධම්ම දිසානායක මහතා ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘති සාධාරනීකරණය කිරීමේ න්‍යායවාදියෙක් විය. කොළඹ නගර සභා මැතිවරණයේදී ඔහුගේ තර්කයක් වූයේ ‘කොළඹ නගරය සංවර්ධනය කිරීම හෝ විධිමත් කිරීම යන කාරණය හුදු කොළඹ නගරය කේන්ද්‍රීය වැඩපිළිවෙලක් නොවන බව’ ය. දිසානායක මහතා ඇතුළු ආණ්ඩුවේ කතිකයන්ට මෙවැනි ප්‍රවාදයක් ගොඩනැගීමට සාධාරණ හේතුවක් ද තිබිණි. ඒ අවධිය වනවිට බලගතු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කොළඹ සංවර්ධන ව්‍යාපෘතිය දියත් කරමින් සිටියේ අවවරප්‍රසාදිත නාගරික ආන්තික ජනයා දූවිල්ලක් තරම්වත් නොසලකාය. මේ නිසා සිවිල් සමාජයෙන් ආන්තික ජනයාගේ ඉඩම් හා ජීවත්වීමේ අයිතිය ගැන හඬක් මතුව තිබිණ. එහිදී ආණ්ඩුවේ කතිකයන්ගේ තර්කය වූයේ ජාතික සංවර්ධන න්‍යාය පත්‍රය රටේම යහපත තකා සකස්වූවක් වන බැවින් ඒ සම්බන්ධයෙන් කොළඹ ජනයාට පමණක් තනිව තීන්දුවක් ගත නොහැකි බවය. ඔවුහු කොළඹ යනු ජාතික නගරයක් ලෙස ද නම්කළහ. කොළඹ නගරය තිබිය යුත්තේ කෙසේද යන්න කොළඹ නගරයේ ජනතාවටම තීන්දු කරන්නට දීම ජාතික සංවර්ධනය පිළිබඳ පටු ප්‍රවේශයක් යැයි ද කීහ.
කාල අන්තරය අත්හැරි විට අද වනවිට නැවතත් රටේ ජාතික සංවර්ධන න්‍යාය පත්‍රය හැසිරීමේ බලය හොබවන්නෝ රාජපක්ෂවරුය. එවක කොළඹ සංවර්ධනයේ නියමුවා යැයි කී ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය නායකත්වයටම ගොස් සිටී. ඔහුට එරෙහිව අද පරිසරවේදීන් ද සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද පමණක් නොව ඔහු බලයට ගෙනඑන්නට මැදිහත් වූ මතවාදී සහායකයන් පවා නගන ප්‍රධාන චෝදනාවකි. ඒ, ජාතික සම්පත් විනාශ කරනවා යන්නයි. පරිසරය යනු ඒ ජාතික සම්පත් කැටගරියේ ප්‍රධාන පංගුවකි. දිවයින පුරා විනාශ කරන්නේ යැයි කියන ඒ පරිසර කලාපවලින් කීපයක් උදාහරණයට ගතහොත් අපට ආණ්ඩුවල ඊනියා ප්‍රවාද ගොඩනැගෙන ආකාරය ගැන තවදුරටත් කතාබහ කළ හැකිය. සිංහරාජය හා රූමස්සල යනු අද වනවිට එසේ ඇස් පනාපිට විනාශමුඛයට යන පරිසර පද්ධති දෙකකි. ආණ්ඩුව සංවර්ධනය යැයි කියමින් එම පරිසර කලාප සිය හිතෛශීන්ට ආධාරකරුවන්ට දන් දෙන ආකාරය පරිසරවේදීහු සාක්ෂි සහිතව පෙන්වා දෙති. එහිදී ආණ්ඩුව සිය රාජපාක්ෂික ජනමාධ්‍ය යොදාගෙන පෙරලා අසන ප්‍රශ්නය නම් ඒ ඒ ප්‍රදේශවල ජනයාගේ මූලික අවශ්‍යතා ඉටුකිරීමට ඉඩක් නැද්ද යන්නයි. මෙය මේ රාජපක්ෂවරුන්ම නැගූ ජාතික න්‍යායපත්‍ර සංවාදයේ තබා එවිට කෙනෙකුට මෙසේ අසන්නට නොහැකිද? රාජපක්ෂවරුන් මේ හානි කරන්නේ රටේ ‘ජාතික පරිසර පද්ධතියට’යි. මෙම පරිසර පද්ධති ජාතික සම්පත්ය. එහි අයිතිය රාජපක්ෂවරුන් පවසන ඊනියා පදිංචිකරුවන්ට (සැබැවින්ම මේ සිදුවීම් පසුපස සිටින්නේ දේශපාලන ආධාරකරුවෝය) පමණක් සීමා නොවේ.
එදා කොළඹ ෆ්ලැට් කරද්දී රාජපක්ෂවරුන් කීවේ කොළඹ නගරයේ භූමියේ අයිතිය කොළඹ පදිංචි අයට යම් යම් ආකාරයකට තිබිය හැකි නමුත් කොළඹ නගරය ආර්ථික සංස්කෘතික දේශපාලනික සමාජීය වශයෙන් මේ මුළු රටටම අයිතිය කියාය. රාජපක්ෂවරුන් අද අමු අමුවේ විනාශ කරන පරිසරය ගැන ද අපට කියන්නට ඇත්තේ ඒ කතාවය. ලෝකය අපේ රටේ සංවර්ධනය මනින්නේ ඔවුන් කියන මේ ඊනියා මහජන වුවමනා අනුව නොවේ. තිරසර පරිසර සංවර්ධන දර්ශකවලට අනුවය. ලංකාගමට පාරක් මැයෙන් සිංහරාජය දෙපලු කරන විට ද රූමස්සලට පාරක් මැයෙන් ඩඩ්ලි සිරිසේන මහතාගේ අරලිය බීච් හෝටලයට පිවිසුම් මග සකස් කරන විට ද පිට පනින්නේ තිරසර සංවර්ධන නිර්නායකවලිනි. එවිට ඒ ගැන කතා කිරීමේ අයිතිය ලංකාගම හෝ රූමස්සල මිනිසුන්ට පමණක් සීමා නොවේ.  ඒ ගැන කතාකිරීමට මු`ඵ ලංකාවටම අයිතියක් තිබේ. අනෙක් අතට අද වනවිට දියුණු ආණ්ඩුකරණයක් මනින ප්‍රධාන මිනුම් දණ්ඩක් බවට පරිසරය පත්ව තිබේ. රටක පාලකයන් ඒ රටේ පරිසරයට දැක්විය යුතු සැලකිල්ල රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලටම ඇතුලත් කර තිබෙන්නේ ඒ නිසාය. එවිට මෙම පරිසර කලාප අයත් වන පළාත් පාලන ආයතන ඒවා ගැන සැලකිලිමත් නැත්නම් ඒවා ගැන වහා මැදිහත් විය යුත්තේ මධ්‍යම ආණ්ඩුවයි. උදාහරණයකට උණවටුනේ අරලියා බීච් හෝටලය ඉදිකර ඇත්තේ නාගරික, පාරිසරික, මාර්ග සංවර්ධන නීති අණ පනත් සියල්ල උල්ලංඝනය වන අයුරින් හබරාදූව ප්‍රාදේශීය ලේකම්ගේ සහ ප්‍රාදේශීය සභාවේ ද කනෙන් රිංගාය. එසේ නැතහොත් ඔවුන්ගේ පස්සා දොරින් සහාය ගෙනය. ඒ බව ජනමාධ්‍යවේදීන් පරිසරවේදීන් පෙන්වා දෙන විට මධ්‍යම ආණ්ඩුව කළයුත්තේ වහා මැදිහත්වීමය. එහෙත් අද නව රාජපක්ෂ ආණ්ඩුව පරිසරවේදීන්ගේ හා ජනමාධ්‍යවේදීන්ගේ අනාවරණ ගැන සොයාබැලීම වෙනුවට කරන්නේ අරලියා සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේනට අතහිත දීමය. අවාසනාවට එදා ජාතික සම්පත් ගැන කතා කළ ධම්ම දිසානායක මහතා (මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිතෛශියෙකි) වැනි බුද්ධි ශ්‍රේණීහු කතා නැත.
ජාතික පරිසර සම්පත් ජාතියටම අයිති වස්තුය. කොටින්ම උපනූපන් පරම්පරාවලට අයිති සම්පත්ය. ඒවාට හානි පමුණුවන්නේ නම් එය ජනයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. තමන් ජීවත් වන ප්‍රදේශවල පිහිටි පරිසර සම්පත් ගැන වඩා සංවේදීවීමට ප්‍රදේශවාසීන්ට අයිතියක් ඇත. එසේ නැතිව ප්‍රදේශවාසීන් වීම නිසාම ඒවාට ඕනෑම දෙයක් කිරීමේ බලයක් හිමි නොවේ. පළාත් පාලන බල ප්‍රදේශය තුළ ක්‍රියාවට නැගිය හැකි බලතල ප්‍රමාණයක් මධ්‍යම ආණ්ඩුව විසින් පළාත් පාලන ආයතනවලට පවරනු ලැබ ඇත. පළාත් පාලනයට අදාළ ප්‍රධාන ආඥා පනත් දෙකක් ද තවත් පනතක් ද ඇත. එනම් මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත හා ප්‍රාදේශීය සභා පනතයි. ප්‍රාදේශීය සභාවලට නගර සභාවලට මහ නගර සභාවලට අදාළ වන බලය මෙම පනත් තුන මඟින් පවරා දී ඇත. මෙම ආයතන තුනම ක්‍රියාත්මක වන්නේ පළාත් සභා යටතේ වන අතර පළාත් සභා ක්‍රියාත්මක වන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේය. එනිසා මෙසේ ප්‍රාදේශීය වශයෙන් සිදුවන පරිසර විනාශයන් නිලධාරින් පිට හෝ ප්‍රදේශවාසීන් මත පටවා අත පිසදාගැනීමට ආණ්ඩුවට බැරිය.  ජාතික වශයෙන් වැදගත් නගර හා ස්ථාන පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ බලය මධ්‍යම ආණ්ඩුවට හිමිය. එය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිලිව සඳහන් වේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කොළඹ නගරය, ජාතික විශ්වවිද්‍යාල ආදී ආයතන කිහිපයක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එසේ නම්කර ඇත. එසේ නම් ආණ්ඩුව කළයුත්තේ ජාතික පරිසර පද්ධති ගැන ද මැදිහත් විය හැකි සීමා පු`ඵල් කරගැනීමය. ආණ්ඩුව ඒ වෙනුවට සිය දේශපාලන හිත මිතුරන්ගේ වුවමනා එපාකම් ඉටුකරන තැනට වැටීමෙන් පෙනෙන්නේ ආණ්ඩුවේ දේශපාලන අභිලාශය කුමක්ද යන්නයි.
ආණ්ඩුව ප්‍රාදේශීය ජනයාගේ වුවමනා එපාකම් නොසොයා ඒවා සිය ව්‍යාපාරික හිතුවතුන්ගේ පැවැත්මට පලිහක් සේ පාවිච්චි කිරීම පරිසර කොල්ලයේ උපක්‍රමය බව දැන් හොඳින්ම පැහැදිලිය. එය වැලැක්විය හැක්කේ ආණ්ඩුවේ උපක්‍රමය තේරුම්ගෙන සටන් කිරීමෙනි. එහිදී මේ කියන තේරුම්ගැනීම පරිසර ආරක්ෂකයන්ගේ පැත්තෙන් මෙන්ම ආණ්ඩුවේ උපක්‍රමයට බිලිවන ප්‍රාදේශීය ජනයාගේ පැත්තෙන් ද සිදුවිය යුතුය. ආණ්ඩුවේ බලවතුන්ගේ අධිරාජ්‍ය බඳු වූ හම්බන්තොට සූරියවැව වල්සපුගල දී අප දකින්නේ ඒ තේරුම්ගැනීමයි. සිදුවිය යුත්තේ මේ අවබෝධය ලංකාගම, රූමස්සල ප්‍රමුඛ සමස්ත ලංකාවාසීන් අතරම වගා දිගා කරගැනීමය. මෙම දැනුවත් සටනට එක්වීමට නවීන අදහස් ඇති තරුණ පරපුරටත් වෘත්තිකයන්ටත් විද්‍යාර්ථින්ටත් හැකිය. මේ අරගලය නුදුරේම ජන සටනක් බවට පරිවර්තනය වන්නේ එවිටය. එවිට තමන්ගේ ගම සංවර්ධනයට ඉඩ දෙන්නැයි තමන් ලවාම කියවා තම ගමේ සම්පත් ආණ්ඩුවේ හිතවතුන්ට විනාශ කිරීමට ඉඩ දෙන්නට පාලකයන්ට අවස්ථාවක් නැත. ඉතින් එදා රාජපක්ෂවරුන්ම කී පරිදි ජාතික සම්පත් ප්‍රාදේශීය සංවර්ධන බෝඩ් ලෑල්ලට යට නොකරමු. තිරසර සංවර්ධනයෙන් සියලු පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට දේශපාලකයන්ට බල කරමු.
Previous articleවතුසේවක වැටුප වැඩි කරනවාට එරෙහිව සමාගම් නඩු මගට
Next articleරුපියල තවත් බාල්දු වෙයි : ඩොලරය 200 පනී

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here