ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව දෙවැනි වතාවටත් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ගේ, ඩිප්ලෝමාධාරිනියන්ගේ සහ අඩු ආදායම්ලාභිනියන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීමට එරෙහිව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය, වෘත්තීය සමිති හා කාන්තා සංවිධාන විසින් අද (12) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
නව රැකියා පත්වීම් ලද උපාධිධාරීනියන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා ගිය වසරේ සැප්තැම්බර් 07 වැනිදා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් සිදු කළ අතර එහි පැමිණිලි විභාගය ද අද සිදුවිය.
ඊට රජය පාර්ශ්වය වෙනුවෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නියෝජනය කරමින් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂක ජනරාල් ආලෝක බණ්ඩාර මහතා සහභාගී වී තිබේ.
දින 84ක් ලබාදිය යුතු ප්‍රසූත නිවාඩු දින සංඛ්‍යාව 42ක් දක්වා අඩු කර ඇතැයි ද දින 42ක් වෙනුවට සම්පූර්ණ ප්‍රසූත නිවාඩු දින ගණන ලබාදෙන ලෙසට අදාළ අමාත්‍යාංශයට නිර්දේශ කරන ලෙස ද එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇත.
අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවිකාවන්ට ප්‍රසූත නිවාඩු වැඩකරන දින 84 ක් ලබා දෙන බවත් නව අභ්‍යාසලාභිනියන් සඳහා ලබාදෙන දින 42ක ප්‍රසූත නිවාඩු ප්‍රමාණවත් නොවන බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම්වරයා පැවසීය.
“ප්‍රසූත නිවාඩු සති ⁣හයකට අඩු කරපු එකට එරෙහිව තමයි අපි පැමිණිල්ල සිදුකළේ. මීට පෙර කරපු පැමිණිල්ලට අදාළ විභාගයද අද පැවැත්වුණා. ඒ වගේම තවත් වෘත්තීය සමිති සහ සංවිධාන එක්ව තවත් පැමිණිල්ලක් සිදුකළා මේ වනතෙක් මේ ගැටළුවට පිළිතුරක් නොලැබුණු නිසා.” යැයි හෙතෙම සඳහන් කළේය.
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය මෙසේ සඳහන් කර තිබේ.
“වත්මන් ආණ්ඩුව පසුගියදා උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට බදවා ගන්නා ලදී. ඉන් පළමු කණ්ඩායම ලෙස 2020 සැප්තැම්බර 2 වැනිදා 50177ක් ද පෙබරවාරි 1 දින 8076 බදවා ගන්නා ලදී. ඉන් පළමු කණ්ඩායමේ බඳවාගත් උපාධිධාරීන් අතුරින් 38760ක් උපාධිධාරිනියන් ය.
මෙසේ බඳවාගත් උපාධිධාරිනියන්ට ලබාදෙන ප‍්‍රසූත නිවාඩු සති 6කි. සාමාන්‍යයෙන් රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ප‍්‍රසූත නිවාඩු වැඩකරන දින 84 අනිවාර්යයෙන් මෙතෙක් ලබාදෙන ලදී. විශේෂයෙන් 2018 සහ 2019 බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ටද දින 84ක ප‍්‍රසූත නිවාඩු කාලය හිමි විය. මාස 6 අනිවාර්යයෙන් මව්කිරි දීමට වෛද්‍යවරු පවා නිර්දේශ කර තිබියදී ආණ්ඩුව මෙසේ අත්තනෝමතික ලෙස නිවාඩු කප්පාදු කර ඇත.
මේ සම්බන්ධයෙන් 2020 සැප්තැම්බර් 7 දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර මේ පිළිබද ජනාධිපති, අගමැති ඇතුළු සියලු බලධාරීන් දැනුවත් කරන ලදී. අමතරව සියලු වෘත්තීය සමිති, බහුජන හා කාන්තා සංවිධාන එක්ව විරෝධතා කි‍්‍රයාමාර්ග ගන්නා ලදී.
මේ අතර 2020 දෙසැම්බර් 24 දින රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් විසින් අමාත්‍යාංශ ලේකම් වෙත ලිපියක් මගින් දන්වා ඇත්තේ දින 84 ප‍්‍රසූත නිවාඩු ලබාදීමට අදාළ කැබිනට් සංදේශය කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙසයි. නමුත් මාස 3ක් ආසන්න වෙතත් ඒ කිසිවක් සිදුව නැත. ඛේදවාචකය වන්නේ ලේකම් එවැනි ලිපියක් ලද බවක් පිලිනොගැනීමයි. ඇමතිවරයාගේ නියෝගයක් පිලිනොගන්නා ලේකම් කෙනෙක් සිටින ආණ්ඩුවකි මේ. නැවතත් අවධාරණය කරන්නේ ආයතන සංග‍්‍රහය තුළ හිමි ප‍්‍රසූත නිවාඩු වැඩකරන දින 84 කාලය ලබාදෙන ලෙසයි”
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද ප්‍රතිචාරයක් නොලැබිණි.
මෙම ගැටළුව පිළිබඳ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉකුත් සැප්තැම්බර් 07 වැනිදා MediaLK වෙත පැවසූවේ එලෙස ලබාදී ඇත්තේ පත්වීමක් නොව වසරක පුහුණු කාලයක් පමණක් බවයි. එම පුහුණු කාලයට අදාළව පමණක් මෙම ප්‍රසූත නිවාඩු සංඛ්‍යාව ලබාදී ඇතැයි ද එය ලබාදී ඇත්තේ අදාළ චක්‍රලේඛ අනුව බවද ඒ මහතා සඳහන් කළේය.
එම පුහුණුව 2021 පෙබරවාරි තෙක් පැවැත්වෙන බවත් ඉන්පසු එම පුහුණුව සම්පූර්ණ කරන අයට පමණක් පත්වීම් ලබා දෙන බවත් ඔහු අවධාරණය කළේය. පුහුණුවීම් සඳහා සහභාගි වීම අවශ්‍ය හෙයින් දින 42ක පමණක් ප්‍රසූත නිවාඩු  කාලයක් ලබාදී ඇතැයි ද ඔහු පැවසීය.
Previous articleලංකාව – මියන්මාරය : චරිත දෙකේ නායකයන්ගේ කැමැත්ත ඉටුකළ ලිපිය !
Next articleමියන්මාර ලිපිය : ලංකාවට කළ හැකිව තිබූ එකම දේ එපමණක් ද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here