උණව⁣ටුන ජනතාව බිය කිරීමේ තැතක් : අරලිය හෝටලය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

උණව⁣ටුන අරලිය හෝටලයට යාම සඳහා රූමස්සල වන රක්ෂිතය හරහා මහා මාර්ගයක් ඉදිකිරීමට එරෙහි ප්‍රදේශවාසීන් බිය කිරීම සඳහා පහරදීම් සිදුවන බව සුරකිමු රූමස්සල ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ලාල් ගමගේ මහතා පවසයි.
මෙම මාර්ගය කැපීමට එකඟ නොමැති පවුලක පුද්ගලයකු විදේශගතව සිටින බවත් විසි වැනිදා පැවත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් ඔහු ෆෙස්බුක් ගිණුමේ හුවමාරු කර තිබූ බවත් මේ හේතුවෙන් ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පහරදී ඔහුගේ වෙළෙඳසැලට හානි කර ඇති බවත් ඔහු සඳහන් ක⁣ළේය.
කෙසේවෙතත් එම හෝටලය ලබන 20 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
“අයියා පොඩි කඩයක් කරනවා. කඩේ කුඩු කරලා ඒ මනුස්සයා දැන් කරාපිටියේ. මල්ලි ෂෙයා කරපු එකට අයියට ගහලා තියෙන්නේ. එතකොට ගුටි කනකම් එයා දන්නේ නෑ ගුටිකෑවේ මොකටද කියලා. පෙරේදා රෑ තමයි ගහලා තියෙන්නේ.” යැයි සුරකිමු රූමස්සල ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ලාල් ගමගේ මහතා ප්‍රකාශ ක⁣⁣ළේය.
“පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා. තාම කවුරුත් අත්අඩංගුවට අරන්ද කියලා දන්නේ නෑ. රට ඉන්න මල්ලිට කියලා උඹ රටනේ ඉන්නේ. උඹ වෙනුවට කරන වැඩේ බලාගනින් කියලා තමයි ගහලා තියෙන්නේ. ගැහුවේ කවුද කියලත් දන්නවා. අත්අඩංගුවට ගන්නවා කියලා කියලා තිබ්බා. එකඟ නැති අයත් බය වෙනවා මේ වගේ දේවල් වෙද්දි.“ යැයි ඔහු කීවේය.
හෙතෙම මෙසේද පැවසීය.
“මෙයාලා කපන්න හදනවා කොහොම හරි. නමුත් රූමස්සල ඇත්තටම තව පාරක් තියෙනවා කුළුණුකන්ද පාර කියලා. ඒකත් යක්දෙහිමුල්ලට තියෙන්නේ. ගාලු පාරෙන් තියෙනවා. ඒත් යක්දෙහිමුල්ලට පාරක් ඇල්ලේ දේවාලේ ගාවට. එතකොට දැනටත් මාර්ග දෙකක් තියෙනවා. ඒකට අමතරව තමයි ජපන් සාම විහාරය ගාව ඉදන් පීල්ල හන්දිය ගාවින් යක්දෙහිමුල්ලට කපන්න හදන්නේ. නමුත් කැලේ තියෙන්නේ ඒ ටිකේ. රූමස්සලට තියෙන්නේ හෙක්ටයාර 225යි. 225න් 17ක් තමයි වන ගහණය තියෙන්නේ. වනජීවි කලාපය, අභයභූමියක් කියලා නම් කරලා තියෙන්නේ ගැසට් එකකින්. ඒක හරහා තමයි දැන් අඩි හතලිහක් මැනලා තියෙන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන්. ප්‍රාදේශීය ලේකම් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට දාලා දැන් මේ මැනලා තියෙන්නේ. භූමියෙන් ලකුණු කරලා නෑ. සිතියමෙන් ලකුණු කරලා තියෙන්නේ.අඩි 40ක් තමයි මැනලා තියෙන්නේ. දැන් අඩි 20ක්වත් කපමු කියලා පාර ඕනේ කියලා උද්ඝෝෂණයක් කරනවා. එකම පවුලේ හතර දෙනෙක් තමයි මේක යටින් ඉන්නේ. ඒ වගේම කොට්ඨාසයේ ඉන්න මන්ත්‍රී කෙනෙකුත් ඉන්නවා. ඒ අය තමයි මේක කරන්නේ. මිනිස්සුන්ට හරි අවබෝධයක් දීලත් නෑ. ඊටපස්සේ අපි මේ ගමේ දියුණුව නැතිකරනවා වගේ රූපයක් ගමට මවලා. ඇත්තටම ජන ඝණත්වය ගත්තම සාම විහාරයේ හරියේ ගෙවල් 10කට 12කට වඩා නෑ. ඊට මෙහා තමයි ගෙවල් තියෙන්නේ. මෙහායින් යන පාර තමයි කුළුණුකන්ද පාර. දැනටමත් පාර හදලා තියෙනවා. පාර පළල මදි නමුත් ඒකත් ඇස්තමේන්තු කරලා තියෙනවා පාර පළල් කරන්න. ඇත්තටම තියෙන පාර විශාල කළාට ප්‍රශ්නයක් නෑ. එතකොට විකල්ප මාර්ගයක් හදන්න අවශ්‍ය නෑනේ. ඇත්තමට ගත්තම ඒකේ වන රක්ෂිත කලාපයක් කියලා තියෙනවා. අභය භුමියක් කියලත් ගැසට් කරලා තියෙනවා 2003. නාගරික සංවර්ධන අධිකාරියේ මාගාල්ල සංවර්ධන සැලැස්ම යටතේ අධි සංවේදී කලාපයක් තමයි මේක. ඒ ඇතුළේ ඉදිකිරීම් කරන්න බෑ. එහෙම තියෙද්දි තමයි මේක හදන්න හදන්නේ.
තරු පන්තියේ හෝටලයක් වෙන්න නම් අඩි 40ක පාරක් පෙන්නන්න එපැයි. හදන්න ඉස්සෙල්ලා එපැයි ඒවා බලන්න. ඇගයීම් වාර්තාවල ඒවා එන්න එපැයි. ඔතැන ඉදන් අඩි 40 හැදුවට එක් කොටසක් අඩි 40ක් නෑ පාර. ඊට පස්සේ ඒ කොටසෙත් පාර අඩි 40ක් හදන්න එපැයි. පළවෙනි අදියරේ ඩඩ්ලි සිරිසේන කියනවා එයාට මේ පාර ඕනේ නෑ කියලා. ඒත් දෙරණේ ටෝක් විතර චතුර වැඩසටහනේදී කියනවා එයා කියනව එයාට මෙතැනින් අඩි 40 පාරක් තියෙනවා. ඒක ගන්න ප්‍රශ්නයක් නෑ කියලා. නරක ප්‍රතිඵලය තියෙන්නේ මෙහෙමයි. හෝටලය වීවෘත කරනවා 20 වැනිදා. හැමදේම මුහුදට බැහැර කරන්නේ. මේකේ කාමර 300ක වැඩ ඉවර කරලා තියෙනවා. 350 තමයි ගාන. මේවාගේ තියෙන සේදුම් කාරක එහෙම ගියෝතින් කොරල් පරයේ මැරෙයි කියලා තමා පරිසරවේදීන් කියන්නේ. අනෙක් එක තමයි මුහුදු ජලය පිරිසිදු කරලා තමයි පාවිච්චියට ගන්නේ මේ අය. එතකොට අධික ලවණ සාන්ද්‍රණය බැහැර කරන්නෙත් ඕලන්ද ඇල හරහා මුහුදට. ඒක ඒ පරිසර පද්ධතියට ඔරොත්තු දෙනවාද? ඒ වගේම මල අපද්‍රව්‍ය වගේ ඒවා බැහැර කරන්න තාම ඒවාට පරිසර වාර්තාව ඇවිල්ලත් නෑ 20 විවෘත කරාට.
වතුර එක බටයක් දාලා තියෙනවා. මුහුදු වතුර තමයි පිරිසිදු කරලා පාවිච්චියට ගන්නේ. ලයින් එකේ ධාරිතාවය වැඩි කරලා තියෙනවා. තාම ඒ වැඩි කරපු ධාරිතාවය දුන්නේ නෑ. දැනට ප්‍රශ්නයක් නැත්තේ සංචාරක හොටෙල්වලින් සියයට 20ක් වගේනේ වැඩ කරන්නේ. අනෙක් ඒවාට වතුර යන්නේ නෑ. මෙයා අගල් හතරේ බටයක් දාලා වතුර අරන් තියෙන්නේ. මෙයා එන වතුර බටවලින් ගන්නවාලු. ඒ පාරේ බර වාහන යන්න බෑ ලොක්ගල් අල්ලලා තියෙන්නේ. ඒත් ලොකු බවුසර්වලින් වතුර ගෙනියනවා.
වාහන පාකින්වලට එහෙම පාර අයිනේ ඉඩමක් ගත්තා එයා. ඒ ඉඩමෙන් පර්චස් දහයක් දුන්නා විදුලි බල මණ්ඩලයට. දහය දුන්නේ පර්චස් එක ලක්ෂ 28 වෙන්න. ලක්ෂ 8ට තියෙද්දි ඒ ගාන වැඩි කියලා වැලුවේෂන් එක දීලා තිබුණා.නමුත් මාතරින් ලක්ෂ 28ට වැලුවේෂන් එක දීලා තිබුණා. එයා ලක්ෂ 280ක් ගත්තා. එයාගේ වැඩේට ට්‍රාන්ස්ෆෝමර් හයි කරන්නත් එයා විදුලි බල මණ්ඩලයෙන් සල්ලි ගත්තා.
ඒ පැත්තටම 33000 දෙනවා කියලනේ දුන්නේ. එහෙම කිව්වට ඒ ලයින් එකට තමයි ඒක ගිහින් තියෙන්නේ. එතකොට ඊට මෙහා ඉන්න අයට දීලා තියන්නේ 11000. පොදුවේ පටන් ගත්ත විදියට පටන් ගත්තේ. අපිට ලියුමක් බාරගත්තා කියලා අත්සන් කරලා දෙන්න අකමැති රජයේ ආයතනවල පවා එයාගේ වැඩ ටක් ගාලා කෙරෙනවා.
හෝටලය හදපු තැනත් පහත් බිමක්. ඒක වෙරෙළ සංරක්ෂණ එකට වනජීවි එකට ඒ සේරටම අයිති එකක්. ඕලන්දේ ඇලෙන් එන මෝය කටේ හිරවෙන වැලි දාගන්නෙත් එයා ඇතුළට. ඊට අමතරව බීච් එක කාටත් අයිතියිනේ. ඒත් දැන් බීච් එකේ සිකුරිටි දාලා තියෙන්නේ. එතැනින් එහාට යන්න දෙන්නේ නෑ. දැනටමත් හෝටලය පැත්තට යන්න දෙන්නේ නෑ. මිලිටරි පොලිස් හිටපු අය සිකුරිටි එකට දාලා ඉන්නේ. එතැනින් එහාට එන්න එපා කියලා සිකුරිටි අය කියනවා. හෝටලය ආසන්න බීච් එකට එන්න දෙන්නේ නෑ.
කොරෝනා නිරෝධායනය කරන අය මේකට අරගෙන නේවි එකෙන් දාලා ඒ බීච් එකට යන්න බැරි වෙන්න හදන්න හදන්නේ. එතකොට නිකම්ම ඒක පුද්ගලික බීච් එකක් වෙනවානේ. එයාලා අපිව වුණත් සල්ලිවලට ගන්න සූදානම්. එහෙම පිරිසක් තමයි එයාට යටින් උදව් කරන්නෙත්. අගමැතිතුමා තමයි එන්නේ 20 විවෘත කරන්න. තට්ටු 14ට අවසර දුන්නම තට්ටු 16ක් හදලා. ඒක අපි කිව්වම නාගරික අධිකාරිය කියනවා ලක්ෂ 52ක දඩයක් ගැහුවා කියලා. දඩය ගැහුවට වැරැද්ද නිවැරදි වෙන්නේ නෑනේ.
ජංගල් බීච් එක පැත්තෙන් කැලේ කපන එකක් ගැන ප්‍රාදේශීය ලේකම්ට පැමිණිලි කළාම එයා කියනවා කැලේ ඒ කපපු කෙනාගේ පෙර වැරදි නෑ කියලා එතැනින් කපන එක නවත්තන්න කියලා ලියුමක් දුන්නා කියලා.”
Previous articleමියන්මාර ලිපිය : ලංකාවට කළ හැකිව තිබූ එකම දේ එපමණක් ද ?
Next articleහොඳම තැන කොළඹ වරාය : බටහිර ජැටියෙන් ආදානි සතුටු වෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here