හිජාස් ඇතුළු මානව හිමිකම් සුරකින්නන්ට ගරු කරන්න – යුරෝපා රටවල් 8ක් ලංකා ආණ්ඩුවෙන් ඉල්ලයි !

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ නීතිඥවරයකු වන හිජාස් හිස්බුල්ලා මහතා වැනි මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමින් යුරෝපීය රටවල් අටක මානව හිමිකම් තානාපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
නෙදර්ලන්තය, ජර්මනිය, එංගලන්තය ස්වීඩනය,එස්ටෝනියාව,ලිතුවේනියාව, ලක්සම්බර්ග් සහ ෆින්ලන්තය යන රටවල්වල මානව හිමිකම් තානාපතිවරුන් මෙම නිවේදනය නිකුත් කර ඇත.
කීර්තිමත් නීතීඥවරයකු වන හිජාස් හිස්බුල්ලා 2020 අප්‍රේල් මාසයේ සිට දිගින් දිගටම සිරගත කර සිටීම පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින බව ද එම තානාපතිවරු පවසති. මාස දහයක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව හිස්බුල්ලා මහතාට දැන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ වෙනත් නීති යටතේ කථනය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීම කනගාටුවට කරුණක් බවද ඔවුහු පෙන්වා දෙති.
හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ඇතුළු සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛයෙක් වන බවත් වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්ති පිළිබඳ දැඩි විවේචකයෙක් බවත් රටක මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ගේ කාර්යභාරය ඉතා වැදගත් බවත් ඔවුහු සඳහන් කරති. මානව හිමිකම් ක්‍රියාකාරීන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට හිංසා සිදුවීම වැළැක්වීම සඳහා රජයන්ට විශේෂ වගකීමක් ඇතැයි ද පෙන්වා දෙන එම තානාපතිවරු, හිස්බුල්ලා මහතා වැනි මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිස සමග එක්වන බව ද ප්‍රකාශ කරති.
බෝම්බකරුවකු සමඟ සබඳතා පැවැත්වූ බව කියමින් සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ පිපිරවීමට අදාලව 2020 අප්‍රේල් 14 වැනිදා නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මාස 10ක පමණ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයකට ඉදිරිපත් නොකර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියේය.
‘කටාර් චැරිටි’ නැමැති ත්‍රස්තවාදී සංවිධානයක් විසින් හිජාස් හිස්බුල්ලා සාමාජිකත්වය දරන සේව් ද පර්ල්ස් නම් සංවිධානයේ ගොඩනැගිල්ලකට අරමුදල් සපයා ඇති බවත්, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා කටාර්හි නීතිවිරෝධී ආයතනයකින් දැනට රැඳවුම් බාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට අයත් ‘සේව් ද පර්ල්’ සංවිධානයට රුපියල් මිලියන 13 ක් බැර කර ඇති බවත් මුලින් චෝදනා කළේය. කටාර් චැරිටි යනු ත්‍රස්තවාදීන්ට මුදල් සපයන ආයතනයක් බව ද රහස් පොලිසිය මුලින් ප්‍රකාශ කළේය. නමුත් කටාර් චැරිටි යනු ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ FL162614 දරණ අංකය යටතේ ලියාපදිංචි වී ඇති සහ ශ්‍රී ලංකා රජය සමග අවස්ථා ගණනාවකදී කටයුතු කළ පුණ්‍යායතනයක් බවත්, එම සංවිධානයෙන් නීතිඥවරයා හෝ ඔහු නියෝජනය කළ සංවිධානය ආධාර ලබා ගෙන නැති බවත් පසුව හෙළි විය.
කටාර් චැරිටි ඇතුළු විවිධ චෝදනා කළ ද අවසානයේ හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මද්‍රසා පාසලක ඉගෙනුම ලබන ළමයින් සම්බන්ධ සිදුවීමකටය. තමන් රැගෙන ගොස් හිස්බුල්ලා මහතාට එරෙහිව ව්‍යාජ සාක්කි ලබාදෙන ලෙස රහස් පොලිසිය බලපෑම් කළ බව කියමින් හිස්බුල්ලා මහතාට එරෙහිව ප්‍රකාශ දුන් සිසුන් හතර දෙනෙක් නීතීඥ නුවන් බෝපගේ මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කළහ.
නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පෙබරවාරි 17 ලබා දුන් උපදෙස් අනුව ඒ මහතා පෙබරවාරි 18 වැනිදා සවස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. හිස්බුල්ලා මහතාට එරෙහිව ළමයින් පිරිසකගෙන් රහස් පොලිසිය බලහත්කාරයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බත්, හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ එක සිසුවකුගේ පරස්පර ප්‍රකාශයක් මත පමණක් බවත් ඔහුගේ නීතීඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කිසිදු හේතුවක් දක්වා නොමැති බව ද ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණයට ප්‍රකාශ කර තිබිණි..
හිස්බුල්ලා මහතාට එරෙහිව ළමයින් දෙදෙනකු 2020 මැයි 12 වැනිදා මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ පාපොච්චාරණයක් සිදු කළ අතර එම ප්‍රකාශවල තිබූ විස්තර එදිනම සවස හා පසු දින මාධ්‍යවල සහ පුවත්පතවල වාර්තා වී තිබිණි. හිස්බුල්ලා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දන්වා සිටියේ පාපොච්චාරණයක් ජනමාධ්‍යයට යෑමට හැකියාවක් නැති බවයි. රහස් පොලිසිය නිර්මාණය කරන ලද කතාවක් ළමයින්ට බලපෑම්කර ඔවුන් ලවා කියවා පසුව එයම ජනමාධ්‍යට ලබා දී ඇති බවත් නීතීඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
Previous articleහමුදා පාලනය පිළිනොගන්නේ නම් එහි සාමාජිකයෙකුට ආරාධනා කරන්නේ ඇයි? – මියන්මාර ජනතාව ලංකාවෙන් ප්‍රශ්න කරයි !
Next articleසීනි ව්‍යාපෘතියේ තොරතුරු : මහවැලියට එරෙහිව නඩු පවරන්නැයි ඉල්ලයි : තොරතුරු කොමිසමට එරෙහිව පළමු නඩුව පවරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here