සීනි ව්‍යාපෘතියේ තොරතුරු : මහවැලියට එරෙහිව නඩු පවරන්නැයි ඉල්ලයි : තොරතුරු කොමිසමට එරෙහිව පළමු නඩුව පවරයි !

(හසරිඳු රාජපක්ෂ)
තොරතුරු පනත ශ්‍රී ලංකාව තුළ බලාත්මක වීමෙන් පසු ශ්‍රී ලංකා තොරතුරු කොමිෂන් සභාවට විරුද්ධව අධිකරණයක් තුළ පුරවැසියෙකු පැවරූ ප්‍රථම නඩුව මේ වන විට අභියාචනාධිකරණයේ විභාගවෙමින් පවතී. පොළොන්නරුව ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු වන එස්.එම්.මනෝජ් මහතා විසින් මෙම නඩුව පවරා ඇත.
සීනිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් 30 වසරක් පුරා යුද්ධයක් පැවති තොප්පිගල බටහිර දෙසට මායිම් වන්නට පිහිටි මාදුරුඔය දකුණු ඉවුර ප්‍රදේශයේ ඉඩම් අක්කර 60,750ක ප්‍රමාණයක් විදේශීය සමාගමකට පවරාදීමට පසුගිය ආණ්ඩුව 2016 වසර අගදී ගන්නා ලද කැබිනට් මණ්ඩල තීන්දුවකට අනුව කටයුතු කර තිබිණි.

අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

එම ආණ්ඩුව සහ වර්තමාන ආණ්ඩුව එම සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීම නිසා මේ ප්‍රදේශයේ හේන් ගොවිතැනින් ජීවිකාව ගෙනගිය ගොවි පවුල් 2,000 කට සහ කිරි ගොවි කර්මාන්තයේ නිරත පවුල් 400 කට අහිමි වන ජීවිකාව රැකදීම සඳහා මෙන්ම, මෙම සංවර්ධන ව්‍යාපෘතියට ජලය සපයා ගැනීමට යෝජනා වී තිබෙන මාදුරුඔය ජලාශයෙන් ජලය ලබාගන්නා මාදුරුඔය වම් ඉවුර ප්‍රදේශයේ පවුල් 22,000 කට සිදුවන පාරිසරික බලපෑම් හේතුවෙන් මේ සම්බන්ධයෙන් යම් කතාබහක් ඇතිවී තිබිණි. මේ නිසා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදී එස්.එම්.මනෝජ් මහතා තොරතුරු පනත යට‌තේ මේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති යෝජක වන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් තොරතුරු ඉල්ලීම් කර තිබේ.
නමුත් එම තොරතුරු නිසියාකාරව ලබානොදීම හේතුවෙන් නම්කරන නිලධාරියාටත් පසුව තොරතුරු කොමිසමටත් අභියාචනා කර තිබේ. අභියාචනයෙන් පසු තොරතුරු ලබාදෙන ලෙසට කොමිසම නියෝග කර ඇත.නමුත් එම නියෝගය ක්‍රියාත්මක කරමින් මහවැලි අධිකාරිය තොරතුරු මුදාහැර තිබුණේ නැත.

වගඋත්තරකරුවන් 11 දෙනෙක්

එස්.එම්.මනෝජ් මහතා විසින් ගොනු කරන ලද මේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු 11 දෙනෙකු නම් කර ඇත.
පෙත්සම්කරු මේ පෙත්සම මගින් කියා සිටින්නේ පසුගිය ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව සීනිවලින් ස්වයංපෝෂිත කරන බවට කැබිනට් තීන්දුවක් ගත් බව ය. ඒ අනුව සීනි කර්මාන්තය වෙනුවෙන් උක් වගා කිරීම සඳහා පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත‍්‍රික් මායිම් වන පරිදි ඉඩම් අක්කර 60,750 ක් විදේශීය සමාගමකට පවරා දුන් බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයිද පෙත්සම්කරු කියා සිටී.

‘මහවැලියත්, කොමිසමත් සාධාරණයක් කළේ නෑ’

එසේ පවරන ලද ඉඩම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස තමන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙතින් ඉල්ලීම් කළත්, එම තොරතුරු ලබාදීම අදාළ අධිකාරිය විසින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දෙයි.  ඊට එරෙහිව තමන් තොරතුරු කොමිසමට අභියාචනා කළ අතර එම අභියාචනය විභාග කර තොරතුරු ලබාදෙන ලෙස කොමිසම නියෝග කළත් මහවැලි අධිකාරිය කොමිසමේ නියෝග ක්‍රියාත්මක කර නැති බවත් ඔහු සඳහන් කර ඇත.
එබැවින් තමන් විසින් ඉල්ලා සිටින ලද සම්පූර්ණ තොරතුරු ලබාදෙන ලෙස හා තොරතුරු ලබාදීම පැහැර හැර තිබෙන මහවැලි අධිකාරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

අවශ්‍ය දේ දීලා ඉවරයි – කොමිසම

පසුගිය පෙබරවාරි 19 දා අභියාචනාධිකරණයේදී විභාගයට ගත් මේ පෙත්සමේ එක් වගඋත්තරකාර පාර්ශ්වයක් වන තොරතුරු කොමිසම අභියාචනාධිකරණයට කරුණු දක්වා තිබුණේ අභියාචක ඉල්ලීම කළ තොරතුරු අභියාචකට මේ වනවිටත් ලබාදී තිබෙන බවයි.

සෑහීමකට පත්වෙන්න බෑ – පෙත්සම්කරු

ඒ පිළිබඳ පෙත්සම්කරු සෑහීමකට පත්නොවන බවට කළ දැනුම් දීම අභියාචනාධිකරණය පිළිගත් අතර, මෙහි අනෙක් වගඋත්තරකාර පාර්ශ්වය වන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ද අභියාචනාධිකරණයේ පෙනීසිටින ලෙස නොතීසි නිකුත් කරනු ලැබිණි. මේ නඩුව යළිත් මේ මස 18දා කැඳවීමට නියමිත ය. මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් නුවන් බෝපගේ, ලලිත් ගුණරත්න, මනෝජ් ප්‍රියංකර, චතුර වෙත්තසිංහ යන නීතිඥවරු පෙනීසිටිති.

මඩකලපුවෙත් නඩුවක්

තොරතුරු පනත මගින් පවා තොරතුරු ලබාගැනීමට ඉඩනොදෙමින් සිදුකරන මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන උක් ව්‍යාපෘතිය හේතුවෙන් පීඩා විඳින ජනතාව ජීවත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4න්, එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වන චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරි ගොවීන් වෙනුවෙන් එස්.එම්.මනෝජ් මහතා අනාවරණය කරගෙන තිබෙන තොරතුරු මත පදනම්ව, එම කිරි ගොවීන්ට අහිමි වන තණබිම්වල අයිතිවාසිකම් ඉල්ලා මඩකලපුව පළාත් බද මහාධිකරණයේ ද මේ වන විට නඩුවක් ගොනුකොට තිබේ. එම නඩුවේ විභාගය ද පසුගිය 05 දා ආරම්භ විය.

මානව හිමිකම් කොමිසමත් විභාගය අරඹයි

මනෝජ් මහතා අනාවරණය කරගත් තොරතුරු මත මේ ප්‍රදේශයේ හේන් ගොවීන්ට අහිමි වන අයිතිවාසිකම් වෙනුවෙන් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් සිදුකර තිබේ. එය ද මේ වන විට එම කොමිසම තුළ විභාගවෙමින් පවතී.

කොමිසම වගකීම ඉටුකළ යුතුයි – එස්.එම්.මනෝජ්

මේ සම්බන්ධයෙන් එස්.එම්.මනෝජ් මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.
‘තොරතුරු පනත කියන්නෙ අපේ රටේ පුරවැසියන්ට ලැබුණු ලොකුම වරප්‍රසාදයක්. ලොකුම අයිතිවාසිකමක්. මොකද අනෙක් නීති සියල්ලම රාජ්‍ය පාලකයන්ට අවශ්‍ය විදිහටයි හැදිලා තියෙන්නෙ. මේ වන විට පුරවැසියන් උනන්දුවක් දක්වනවා, තොරතුරු පනත භාවිතා කරමින් තමන්ට ලබාගත යුතු තොරතුරු ලබාගන්න. එහෙම වුණත් ඇතැම් පොදු අධිකාරීන් තවමත් තොරතුරු ලබාදෙන්න සූදානම් නැහැ. ඔවුන්ගේ අධිකාරී බලය දිගින්-දිගටම පවත්වාගෙන යන්න ඔවුන් උත්සාහ කරනවා. මේ නිසා රාජ්‍ය ආයතන නියමිත පරිදි ජනතාවට තොරතුරු දෙන්න තවමත් කටයුතු කරන්නෙ නැහැ.
මේ විදිහට තොරතුරු ලබාදීම රාජ්‍ය ආයතන මගහරිනවා නම් තොරතුරු කොමිෂන් සභාව කළ යුතු වන්නේ ජනතාවට තොරතුරු ලබාගැනීමට උදව්-උපකාර වීමයි. ඒ කියන්නෙ ජනතාවට තොරතුරු ලබාදෙන ලෙස පොදු අධිකාරීන්ට නියෝග කිරීම ඇතුළු වැඩපිළිවෙලක් සකස් කිරීම ඔවුන්ගේ වගකීම. ඒ වෙනුවෙන් තොරතුරු කොමිසම නීතියෙන්ම බැඳිලා ඉන්නවා. තොරතුරු ගන්න බැරිව පුරවැසියෙක් කොමිසම ඉදිරියට ගියොත්, එය අවුරුද්දකට වැඩි කාලයක් විභාග කරනවා. එතකොට තොරතුරු අයිතිය ජනතාවට එපා වෙනවා. තොරතුරු කොමිසම තියෙන්නෙ කොළඹ. යාපනය, පොළොන්නරුව, හම්බන්තොට වගේ ප්‍රදේශවල ඉන්න පුරවැසියෙක් තොරතුරු කොමිසමේ නඩු විභාගවලට දීර්ඝ කාලයක් කොළඹ එන්න ගියොත්, ඔහුට දරාගන්න බැරි වියදමක් දරන්න සිදුවෙනවා වගේම ඒ ක්‍රියාවලිය එපා වෙනවා. මෙන්න මේ නිසා තොරතුරු අයිතිය ශක්තිමත් කරන්න කටයුතු කරන්න අවශ්‍ය නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි මම අධිකරණයට ගියෙ.’
මේ සම්බන්ධයෙන් ක⁣ළ විමසීමකදී කොමිසමේ ප්‍රකාශකයකු ප්‍රකාශ කළේ දුර ප්‍රදේශවලට සිටින පිරිසට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අභියාචනවලට කොමිසම සමග සහභාගි විය හැකි බවයි.
අභියාචන විභාගය ප්‍රමාද වන්නේ අභියාචන විශාල ප්‍රමාණයක් කොමිසමට එන බැවින් බවත් ඒවා නිසියාකාරව විභාග කර අදාළ නියෝග ලබා දෙන බවත් කිසිම පුරවැසියකුට අසාධාරණයක් නොවන බවත් කොමිසමේ ප්‍රකාශකයා සඳහන් කළේය
Previous articleහිජාස් ඇතුළු මානව හිමිකම් සුරකින්නන්ට ගරු කරන්න – යුරෝපා රටවල් 8ක් ලංකා ආණ්ඩුවෙන් ඉල්ලයි !
Next articleලංකාව – මියන්මාරය : චරිත දෙකේ නායකයන්ගේ කැමැත්ත ඉටුකළ ලිපිය !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here