අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රය ප්‍රමාද කරන්නේ ආණ්ඩුවේ හිතවතුන්ට ඉඩම් දෙන්න – ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීම ආණ්ඩුව ප්‍රමාද කරමින් සිටින්නේ එම රක්ෂිතයෙන් හිතවතුන්ට දී ඇති ඉඩම් එළිපෙහෙළි කරගෙන අවසන් කරගන්නා තුරු බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.
ගැසට් පත්‍රය නිකුත්වීමට නියමිත දිනය වන තෙක් සංවර්ධනය නොකළ ඉඩම් පමණක් රක්ෂිතය ලෙස ගැසට් කිරීමට බොහෝ විට ඉඩ ඇති බවද ඔහු සඳහන් කරයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ගොවි ජනතාව සිදුකරන අරගලය මැදට කඩා පනිමින් ව්‍යාජ ප්‍රකාශ කර, ඔවුන්ගේ අරගලය දියකර හැරීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් එය තරයේ හෙළා දකින බවද ඔහු අවධාරණය කර සිටී.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.
‘වනජීවී අධ්‍යක්ෂ ජනරාල් විසින් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන බවට ලිඛිත පොරොන්දුවක් දී ඇතැයි පිරිසක් විසින් කර ඇති ප්‍රකාශය ව්‍යාජ ප්‍රකාශයකි.
ගොවි ජනතාව විසින් අලි-ඇතුන්ගේ වාසභූමි ආරක්ෂා කිරීම උදෙසා ආරම්භ කළ මාරාන්තික උපවාසය දියත් කළේ ගොවි ජනතාවගේ කැපකිරීමෙනි. ගොවි ජනතාවගේ සටන් මැදට කඩාපනිමින් ව්‍යාජ ප්‍රකාශ කර, ඔවුන්ගේ අරගලය දියකර හැරීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් එවැනි ක්‍රියා අපි තරයේ හෙළා දකින්නෙමු. ඒ අතර හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන බවට ගොවීන්ට පොරොන්දු දී යෝජිත රක්ෂිතයේ ඉඩම්, සමාගම් සහ පුද්ගලයන්ට ආණ්ඩුව විසින් ලබා දී ඇති අතර, ගොවි අරගලය දියත් වනවිටත් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයිති වනාන්තර ඉඩම් කැලෑ කපමින් සිටී.
අලි-ඇතුන් 400 කට වැඩි පිරිසකට අවශ්‍ය ඉඩකඩ සලසන යෝජිත අලි කළමනාකරන රක්ෂිතයෙන්, දැනටමත් සංවර්ධන කටයුතුවලට යැයි කියමින් ගොන්නොරුව සිට බුරුතකන්ද දක්වා කුලු වැව් ගණනාවක් ඇති අක්කර 2,000 කට වැඩි ප්‍රමාණයක් නිදහස් කර ඇති අතර, ප්‍රදේශයේ ජලපෝෂක මෙන්ම අලි-ඇතුන්ගේ ජල අවශ්‍යතාව ඉටුකළ වැව් පවා යෝජිත රක්ෂිතයට අහිමි කරමින් තිබේ. එමෙන්ම බුරුතකන්ද සූර්ය බලාගාරය සඳහා අක්කර 500ක් වෙන්කර ඇති අතර, වල්සපුගල සහ දිවුල්පැලැස්ස බලශක්ති ගම්මානයක් ඉදිකිරීම සඳහා තවත් අක්කර 300ක් වෙන්කර ඇත.
දැනටමත් යෝජිත රක්ෂිතයේ වනාන්තර වනසමින් තිබෙන අතර, අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ප්‍රමාද කරමින් සිටින්නේ ආණ්ඩුව විසින් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් හිතවතුන්ට දී ඇති ඉඩම් එළිපෙහෙළි කරගෙන අවසන් කරගන්නා තුරු ය. ඒ අනුව ගැසට් පත්‍රය නිකුත්වීමට නියමිත දිනය වන තෙක් සංවර්ධනය නොකළ ඉඩම් පමණක් රක්ෂිතය ලෙස ගැසට් කිරීමට බොහෝ විට ඉඩ ඇත.’
Previous articleහක්කිඳ වෙනුවෙන් නීතිඥවරු අධිකරණයට : ඒක තියෙන්නෙ කොහෙද? – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති
Next articleහමුදා පාලනය පිළිනොගන්නේ නම් එහි සාමාජිකයෙකුට ආරාධනා කරන්නේ ඇයි? – මියන්මාර ජනතාව ලංකාවෙන් ප්‍රශ්න කරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here