හක්කිඳ වෙනුවෙන් නීතිඥවරු අධිකරණයට : ඒක තියෙන්නෙ කොහෙද? – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

(හසරිඳු රාජපක්ෂ)
පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති වරාතැන්න – හක්කිඳ  ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශයන් නැවැත්වීමට පරිසර අධිකාරය තවදුරටත් ක්‍රියාත්මක නොවුණහොත් පරිසර අධිකාරියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පරිසරය වෙනුවෙන් නීතිඥයෝ සංගමයේ සභාපති ශාන්ත රත්නායක මහතා සඳහන් කරයි.
මෙම සංවේදී පරිසර කලාපය තුළ දිගින් දිගටම පරිසර විනාශයන් සිදුවෙමින් පවතින බවත් ඒවා සම්බන්ධයෙන් දැනුම් දුන්නද පරිසර අධිකාරිය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් ඔහු පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ශාන්ත රත්නායක මහතා මෙසේද කීවේය.
“මේ පරිසර කලාපය සංරක්ෂණය කර තිබෙන්නේ. එය ගැසට් මගින් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මේ වනතුරු ආරක්ෂක කමිටුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරගැනීමේ අපහසුතාවක් තිබෙනවා. ජාතික පාරිසරික පනත යටතේ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුත්තේ පරිසර අධිකාරියයි. මේ විදිහට ගස් කපනවා නම් පරිසර විනාශයන් සිදුවෙනවා නම් පරිසර අධිකාරිය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. නමුත් එය සිදුනොවීමයි ප්‍රශ්නය වී තිබෙන්නේ.
මෙම භූමියේ නගර සභාව විසින් අනවසර පඩිපෙළක් ඉදිකර තිබෙනවා. එය වැරදි ක්‍රියාවක්. නමුත් මේ සම්බන්ධයෙනුත් පරිසර අධිකාරිය නිහඬයි. ඒ වගේම මේ ප්‍රදේශයේ තැනිත් තැන වැලි ගොඩදැමීම්, අක්‍රමවත් හෝටල් ඉදිකිරීම් සිදු වෙනවා. ඒ වගේම මේ දේවල් දිගින් දිගටම සිදුවෙනවා නම් සංරක්ෂණ කලාපයක් කිරීමේ තේරුමක් නැතිවෙනවා. මේ ප්‍රදේශය තුළ හඳුනාගත් වැදගත් ශාක සහ සතුන් කොටස් මේ නිසා වඳවීමේ අවදානමක් මතු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරිසර අධිකාරිය දිගින් දිගටම නිහඬව සිටියහොත් පරිසරය වෙනුවෙන් නීතිඥයෝ සංගමය අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වෙනවා.”

සංවේදී පරිසර ආරක්ෂක ප්‍රදේශය

ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟෙහි මහනුවර ගැටඹේ ආසන්නයෙන් වූ හක්කිඳ දූපත් ඇතුළු අවට ප්‍රදේශය සංරක්ෂිත කලාපයකි. එය සංරක්ෂිත කලාපයක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද්දේ මීට වසර හතරකට පමණ පෙරදීය. එනම් 2017 වසරේදීය. එසේ වුවද සංරක්ෂණ කලාපයක් බවට පත්කරමින් නිකුත් කරන ලද එහි වූ නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව දක්නට ලැබෙන අතර, පරිසරවේදීහුද මේ සම්බන්ධයෙන් චෝදනා නඟති.
මෙම සංරක්ෂිත කාලාපයේ පරිසර විනාශයන් අතර ආසන්නතම සිදුවීම වනුයේ ගස් කපා දැමීමයි. තවද මෙම භූමියේ අනවසරයෙන් ඉඩම් අල්ලාගැනීම්, සතුන් හා ශාක විනාශ කිරීම, වැලි ගොඩදැමීම ආදී හානි රැසක් වාර්තා වන අතර, ඒවා නතර කිරීමට බලධාරීන් ක්‍රියාත්මක වී නොමැත.

පරිසර ආරක්ෂණ කමිටුව

වරාතැන්න – හක්කිඳ  පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ලෙස නම් කිරීම සිදුවන්නේ එවකට පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසිනි. වරාතැන්න – හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය තුළ සිදුවන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ කමිටුවක් පත්කිරීම ඉහත කී ගැසට් නිවේදනයේ එක් නිර්දේශයකි. එම කමිටුවට විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරන නියෝජිතයන් සේම එක් පරිසර සංවිධානයක නියෝජිතයකුටද අවස්ථාව ලබාදී තිබේ. එසේ වුවද මෙතෙක් එම කමිටුවට පරිසරවේදීන් කැඳවීමට කටයුතු කර නොමැති බවට පරිසර සංවිධාන චෝදනා කරයි.
එමෙන්ම මහවැලි ගං ඉවුරේ හෝටල් ඇතුළු අනවසර ඉදිකිරීම් සිදුවන බවත් විවිධ පරිසර විනාශයන් සිදුවන බවත් ඔවුහු පෙන්වා දෙති. වරාතැන්න – හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශයේ ජෛව විවිධත්වය ඉතා ඉහළය. එමෙන්ම ඒ අවට පිහිටි පෞරාණික වටිනාකම් සහිත ස්ථාන කිහිපයක්ද තිබේ. අධි සංවේදී පරිසර කලාපයක් වන මෙය රැකගැනීම සියලු දෙනාගේම වගකීමක් බවට පත්ව තිබේ.

ආරක්ෂා කිරීමේ නිර්ණායක

මේ සම්බන්ධයෙන් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අනුව, වරාතැන්න – හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය තුළ සිදුවන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බව දක්වා ඇති අතර, එය මේ වන විටත් පත්කර තිබේ. වරාතැන්න – හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය තුළ අවසරලත් භාවිතයන් සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ සියලුම අයදුම්පත් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු බව එහි දක්වා ඇති අතර, වරාතැන්න – හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය තුළ පවත්නා අවසරලත් භාවිතයන්ට අදාළ සියලු සංවර්ධන ක්‍රියාකාරකම් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබාදෙන මාර්ගෝපදේශවලට අනුව ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කර ඇත.
සියලු අවසරලත් භාවිතයන් පරිසරයට හානියක් හෝ අවහිරයක් නොවන පරිදි හෝ මහජනතාවට පීඩාවක් නොවන පරිදි පවත්වාගෙන යා යුතු බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් විමසා ගං ඉවුරේ සිට ගොඩබිම දෙසට මීටර් පහක (5m) රක්ෂිත ප්‍රදේශයක් සලකුණු කළයුතු බවත් එහි සඳහන්ය.
මීටර් 5ක ගඟ රක්ෂිත ප්‍රදේශය තුළ කිසිදු තාවකාලික ඉදිකිරීමක් නොකළ යුතු බවද, අනුමැතියකින් තොරව ගොඩනැගිලි නවීකරණය නොකළ යුතු බවද සඳහන් කර තිබේ. එමෙන්ම දේශීය සත්ත්ව හෝ වෘක්ෂලතා විශේෂයන්ට හානි වන ආකාරයේ කිසිවක් නොකළ යුතු අතර, කිසිදු භූ අලංකරණ කටයුත්තක් නොකළ යුතු බවද සඳහන් කර ඇත. තවද කිසිදු ඉඩම් ගොඩකිරීමක් නොකළ යුතු බවත් එහි සඳහන් කර තිබේ.

මධ්‍යම පළාත් පරිසර අධිකාරිය වගකීම පැහැර හරිනවා

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුවේ සභාපති පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මහතා මෙසේ පැවසීය.
“හක්කිඳ පරිසර කලාපය සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස ගැසට් කරගන්න මුලසිටම කටයුතු කළේ මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුව. වසර 10ක් පමණ මේ වෙනුවෙන් ඔවුන් වැඩ කළා. පරිසරය වෙනුවෙන් නීතිඥයෝ සංගමය විසින් එයට නීති සහය ලබාදුන්නා. මේ සමාගම් දෙක නියෝජනය කරන අය ඔවුන්ගේ මුදල් යොදවලා මේ වැඩකටයුතු කළා. අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට අවශ්‍ය වූ පරිසර වාර්තාව පවා මධ්‍යම පරිසර අධිකාරියේ ස්වාභාවික සම්පත් ඒකකයට ලබාදුන්නේ මේ එකමුතුව විසින්. ඒ කිසිවකට මුදල් ලබාගත්තේ නැහැ.
හක්කිඳ පාරිසරික ආරක්ෂක කමිටුව සඳහා මේ සංවිධාන දෙක වසරකට වැඩි කාලයකට ඉහතදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් නම්කර එවා තිබුණා. නමුත් මහනුවර තිබෙන පරිපාලනයෙන් මෙතෙක් මේ සංගම් ඇතුළත් කිරීමට කටයුතු කළේ නැහැ.
2017න් පසුව මේ ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් වුණා. දකුණු ඉවුරේ පහළම මායිම පිහිටලා තිබෙන දොඩම්වල පාලම ආසන්නයේ තට්ටු කිහිපයක ගොඩනැගිල්ලක් ඉදිකරන්න පටන් ගත්තා. එයට කිසිදු අනුමැතියක් නැහැ. එයට නීතිමය කටයුතු අරගෙනත් නැහැ. ඒ වගේම දකුණු ඉවුරේ පඩිපෙළක් ඉදිකරගෙන ගියා. එය ගඟට ඇතුල් වෙන්න හදපු පඩිපෙළක්. නමුත් එයටත් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේ පඩිපෙළ නිසාම නුවර ප්‍රදේශයේ කසළ ගෙනැත් මෙතැනින් ගඟට දානවා. ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ඒ වගේම දැන් කුඹුක් ඇතුළු ගස් කැපීමක් සිදුවෙනවා. ඉඩම් අල්ලා ගැනීමේ අරමුණෙන් මේවා කරනවා. මහවැලි අධිකාරියෙන් මායිම් සලකුණු කර තිබෙන ප්‍රදේශ, රක්ෂිත ප්‍රදේශ ඇතුළත ගස්, පස් ගෙනැවිත් පුරවනවා. එතැන විවිධ මල්පැළ හදලා ඉඩම් අල්ලා ගන්නවා. මේ ප්‍රදේශයේ තිබුණු දුර්ලභ ශාක පස් දාලා වහලා ගෙවතු හදලා ඉවරයි. මේවා සියල්ල සිදුවෙන්නේ ආරක්ෂක කලාපය තුළ. ඒ තුළ තිබෙන විශාල ගස් කපා දමනවා. මේවා දැනුම් දුන්නත් මධ්‍යම පරිසර අධිකාරිය අද වෙනකම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම අනවසරයෙන් නිවෙස් හදාගෙන ඉන්න අය වැසිකිළි පද්ධතිය ගඟට යොමුකර තිබෙනවා. එයින් ගඟ සම්පූර්ණයෙන්ම දූෂණය වෙනවා. මේ අකටයුතුකම් ගැන කතා කරන්න තාක්ෂණික කමිටුවට පරිසර සංවිධාන පත්කරන්නේ නැහැ. මේ ප්‍රදේශය සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කළත් ආරක්ෂා වෙන්නේ නැතිනම් වැඩක් නැහැ.”

ගහක අතු වගයක් කපලා කියලා දැනගන්න ලැබුණා

මේ සම්බන්ධයෙන් විමසීමේදී පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේ.පී. වැලිකන්නගේ මහතා කියා සිටියේ ප්‍රධාන කාර්යාලයේ අවසරයකින් තොරව මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවයි.
කෙසේවෙතත් මධ්‍යම පළාත් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී මෙසේ සඳහන් කළේය.
“මෑතකදී ගහක අතු වගයක් කපලා, පසුව ගහම කපලා තියෙනවා අපිට වාර්තා වුණා. ඒක සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග සිදුකෙරෙමින් පවතිනවා. වෙනත් ආකාරයේ දේවල් වාර්තා වුණොත් අපි ඉතාම ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නවා. විශාල පරිසර ප්‍රශ්නයක් කියලා දෙයක් වාර්තා වෙන්නේ නැහැ. මේ කලාපයේ සීමා ගැසට් කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මේ පරිසර පද්ධතිය අධීක්ෂණය කිරීමේ කමිටුවේ සාමාජිකයන් සියල්ලම පත්කරලා තියෙන්නේ. මේ වනවිට කමිටුව හතර සැරයක් රැස්වෙලා තිබෙනවා.
වරාතැන්න – හක්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන පරිසර සංවිධාන නියෝජිතයෙක් මේ කමිටුවට නම් කරන්න කියලයි ගැසට් එකේ තියෙන්නේ. මේ ප්‍රදේශය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන පරිසර සංවිධාන ඉන්නවා නම් අපිට දැනුම් දෙන්න කියලා ප්‍රාදේශීය ලේකම්තුමියට ලියලා යැව්වා. නමුත් ප්‍රාදේශීය ලේකම්තුමිය අපිට දැනුම් දීලා තියෙනවා එහෙම ක්‍රියාකාරී සංවිධාන නැහැ කියලා. ඊට පසුව මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් සංවිධාන දෙකක් නම්කර එවලා තිබෙනවා. ඒ සංවිධාන දෙක ඉදිරියේදී කමිටුවට කැඳවන්න අපි කටයුතු කරනවා. මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුව සහ පරිසරය වෙනුවෙන් නීතිඥයෝ කියන සංවිධාන දෙක එලෙස නම්කර එවා තිබෙනවා. නමුත් ඒ අයගේ ක්‍රියාකාරී දායකත්වයක් ඇත්තෙ නැහැ. කොහොම වුණත් ඒ අයව ඉදිරියේදී කැඳවන්න කටයුතු කරනවා. ඒ වගේම පරිසර දූෂණය පාලනය කරන්න හැකි උපරිමයෙන් කටයුතු කරනවා. ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.”
මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී හෙතෙම සඳහන් කළේ මේ ගැන එකවර ප්‍රකාශයක් කළ නොහැකි බවත්, ඒ පිළිබඳ සොයාබැලිය යුතු බවත් ය. හක්කිද යනු කුමක්දැයි ඔහු අපෙන් විමසු අතර අප ලබාදුන් තොරතුරු සොයා බලා පසුව අදහස් දැක්වීමක් සිදුකළ හැකි යැයි හෙතෙම සඳහන් කළේය. පරිසර ආරක්ෂණය වෙනුවෙන් පිහිටුවා ඇති මධ්‍යම පරිසර අධිකාරියේ මුල්පුටුවේ හැසිරීම එසේ නම් පරිසරයේ හෙට දවස පිළිබඳ ජනතාවට බලාපොරොත්තු තබාගත හැකිද යන්න ප්‍රශ්නයකි.

වැසිකිළි පද්ධතිය ගඟට යොමු කර ඇති ආකාරය

Previous articleශ්‍රී ලංකා රජය මියන්මාර හමුදා පාලනය නිල වශයෙන් පිළිගනී? : අපි ඔක්කොටම ආරාධනා කළා – විදේශ අමාත්‍යාංශය
Next articleඅලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රය ප්‍රමාද කරන්නේ ආණ්ඩුවේ හිතවතුන්ට ඉඩම් දෙන්න – ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here