2005 සහ 2015 ආණ්ඩු වරද්දාගත්, 2020 ආණ්ඩුවත් යන්න හදන තැන

(ශාලික විමලසේන)

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් විගණකාධිපතිවරයාගේ බලය සීමා කිරීම, රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීම ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනයට බලපාන තීරණාත්මක කරුණු රැසක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වයෙන් ද විවේචන එල්ල වූ අතර, අගමැතිවරයා විසින් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද කමිටුවේ නිර්දේශ අතර ද මෙම යෝජනාව ඉවත් කළ යුතු බව සඳහන් විය.

කෙසේ වෙතත් විගණන සේවයේ වෘත්තීය තත්ත්වය ආරක්ෂා කිරීමේ කාර්යය සහ එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීම යනු එක මග යන කරුණු දෙකකි. වෘත්තීය තත්ත්වය ආරක්ෂා නොවන්නේ නම්, සේවයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු මතුවිය හැකිය.

හැඳින්වීම

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණන සේවා කොමිසමට වෘත්තීය කරුණු පිළිබඳ බලය පැවරීමට පෙර සිටම, විගණන පනත සම්බන්ධයෙන් බරපතළ කතාබහක් පැවතිණි. පැවති ආණ්ඩු සෑම අවස්ථාවකදී ම එය සීමා කිරීමට උත්සාහ කළ අතර, එම නිසා ම මුලින් සකස් කළ විගණන පනත් කෙටුම්පත අවස්ථා ගණනාවකදී සංශෝධනය කිරීමට හෙවත් බාල කිරීමට සිදු විය.

එම කෙටුම්පත සකස් කිරීමේ මෙහෙයුමේ ආරම්භක සාමාජිකයෙකු වූ හිටපු විගණකාධිපති සරත් සී. මායාදුන්නේ සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

කල් මැරීමේ ආරම්භය

ජාතික විගණන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් මුල් වරට අනුමැතිය ලබා දුන්නේ 2005 වසරේ දී ය. නෙදර්ලන්තයේ විගණන අධිකරණය සහ එක්සත් රාජධානියේ ජාතික විගණන කාර්යාලය එක් ව ලබා දුන් තාක්ෂණික සහයෝගයෙන් මේ කෙටුම්පත සකස් කෙරිණි. එසේ සකස් කරන ලද පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට එකඟතාව ලබා දෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලදි. ඒත් මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර තවදුරටත් ශක්තිමත් කළ යුතු යැයි යන යෝජනාව මහා භාණ්ඩාගාරය පාර්ශ්වයෙන් කෙරිණි. මේ කල් මැරීමේ කාර්යය ආරම්භ කෙරුණේ එසේ ය.2006 වසර වනතුරු මා විගණකාධිපති ධුරය දැරූ අතර, ඒ කාලය තුළ මේ ප්‍රමාද කිරීමේ ක්‍රියාවලිය දිගින්- දිගටම සිදු විය. දීර්ඝ කාලයක් නිහඬ ව සිටිමින්, නැවත යම් සාකච්ඡාවක් කරමින් කටයුතු කිරීම නිසා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දිනෙන් දින කල් යමින් තිබිණි.

ස්වාධීන කිරීම යනු කුමක්ද ?

ඒ කාලය වන විට ජාත්‍යන්තර වශයෙන් පැවැති සම්මතයන් මෙහි දී අධ්‍යයනය කෙරිණි. 1997 ලීමා සම්මුතිය ඒ අතරින් ප්‍රධාන විය. ජාත්‍යන්තර උත්තරීතර විගණන ආයතනයන්ගේ සංගමයේ මැදිහත් වීමෙන් එළිදැක්වූ මේ සම්මුතිය මගින් පිළිගැනුණේ රාජ්‍ය විගණනය උපරිමයෙන් ස්වාධීන සහ ශක්තිමත් විය යුතුය යන්න ය. ලංකාව ද මේ සංගමයේ සාමාජික රටක් ලෙස දිගටම කටයුතු කළේය. මෙහි දී ස්වාධීන වීම යන්නෙන් අර්ථ දැක්වෙන්නේ කුමක්ද යන්න පැහැදිලි ව තේරුම් ගත යුතුය. විධායකයෙන්, එනම් කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය ආයතන වල බැඳීම් වලට යටත් නොවුණු, පාර්ලිමේන්තුවට පමණක් යටත් වුණු ආයතනයක් බවට පත් කිරීම මෙයින් අදහස් වේ. රාජ්‍ය විගණනය ශක්තිමත් කිරීමේ කාර්යභාරය ඇත්තේ පාර්ලිමේන්තුව සතු ව ය. මෙය පාර්ලිමේන්තුවට සහාය වීම සඳහා තිබෙන ආයතනයකි.මුල් විගණන පනත් කෙටුම්පත සකස් වෙමින් පැවැති කාලයේ දී, එනම් 2005 දී පමණ මෙක්සිකෝ ප්‍රකාශය නමින් සම්මුතියක් ඉදිරිපත් කෙරිණි. ඒ සම්මුතිය මගින් ද කලින් කී කරුණු වඩාත් විස්තරාත්මක ලෙස පැහැදිලි කිරීමක් සිදු විය. එසේ ම 2012 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් ද රාජ්‍ය විගණනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කරුණු රැසක් සම්මුතියක් ලෙස එළිදැක්විණි. ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක් වූ මේ කරුණු පිළිබඳව ද අවධානය යොමු කරමින් මෑත කාලයේ දී නැවත වරක් ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාව පුළුල් විය.

2005 සමානයි 2015

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති ධුර අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන විසින් මේ විගණන පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගන්නා දවස ද ජනතාවට කීවේය. ඒ ඔහුගේ දින සියයේ වැඩසටහන හරහා ය. එය සිදු වූයේ නැත. නමුත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සමග අලුතින් පත් වූ ආණ්ඩුව ද මේ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා පවත්වා තිබිණි. ඒ අතරවාරයේ විගණන සේවයේ වෘත්තීය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් වූ බව ද කිව යුතුය. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් යම් යම් සංශෝධන ඉදිරිපත් කරන ලද නව පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද්දේ 2016 දී පමණ ය. එය කිසියම් ප්‍රමාද කිරීමේ ක්‍රියාවලියක් සමග නැවතත් සාකච්ඡාවට භාජනය කරමින් තිබිණි. එසේ ම වැදගත් ම කාරණය වූයේ එහි අන්තර්ගතය වෙනස් කිරීමට උත්සාහ දරමින් සිටින බව හෙළිදරව් වීම ය. එනම් විගණන පනතේ බල බිඳින්නට 2005 ආණ්ඩුව මෙන්ම, 2015 ආණ්ඩුව ද කටයුතු කළේය.

පරමාධිපත්‍ය තුළ ඇති වැදගත්කම

මේ විගණන පනතට අදාළ ව ජනතාව තේරුම් ගත යුතු සහ සාමූහික ව පරාජය කළ යුතු ගැටළුව මෙය ය. ඊට හේතුව මේ රාජ්‍ය විගණනය යනු ජනතාවට සෘජු ව අදාළ වන්නක් වීම ය. ජනතා පරමාධිපත්‍ය තුළ විශාල වටිනාකමක් ඇති කොටසක් වන්නේ රාජ්‍ය මූල්‍යය ය. රාජ්‍ය මූල්‍ය විධිමත් නොකොට ජනතා පරමාධිපත්‍ය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැක. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව මගින් රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් වන සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුවට පවරා ඇත. මේ නිසා රාජ්‍ය මූල්‍යය ට අදාළ ව කිසියම් චෝදනාවක් එල්ල වන්නේ නම් එහි සම්පූර්ණ වගකීම පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරුන් භාර ගත යුතුය.ඕනෑම කාරණයක දී වගකීම පැවරීමක් සමග වගවීමක් ඇති වේ. එනම් වගකීම ඉටු කළ ආකාරය පිළිබඳ ව උත්තර දීමේ බැඳීමක් ඇත. මෙහි දී පාර්ලිමේන්තුව උත්තර දීමේ බැඳීමකට යටත් ය. එනම් කිසියම් ආකාරයකට රාජ්‍ය මූල්‍ය දුර්වලවීමක් සිදු වන්නේ නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඊට මැදිහත් විය යුතුය.

විගණකාධිපතිවරයාගේ වගකීම

ඊළඟ කාරණය වන්නේ විධායකය, එනම් කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තොරතුරු වාර්තා කරන ව්‍යවස්ථාපිත බලධාරියා විගණකාධිපතිවරයා බව නිවැරදි ව තේරුම් ගැනීම ය. එනම් විගණකාධිපතිවරයාගේ මූලික කාර්යභාරය වන්නේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු පාර්ලිමේන්තුවට වාර්තා කිරීම ය. එහි අනෙක් පැත්ත වන්නේ විගණකාධිපතිවරයා සහ එම දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමේ සහ විධායකයේ අනවශ්‍ය බලපෑම්වලින් මුදා ගැනීමේ වගකීමක් මෙන් ම බැඳීමක් ද පාර්ලිමේන්තුවට ඇති බව ය. එය නිවැරදි ව සිදු නොවුණහොත් විශාල ගැටළුවක් මතු වේ.
එනම් රාජ්‍ය විගණනය ආරක්ෂා කිරීමේ මූලික වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවට ය. විගණකාධිපතිවරයා නිසි පරිදි රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තොරතුරු වාර්තා නොකරන්නේ නම් එහි චූදිතයන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය.

කාලයක් තිස්සේ අවුල් කළ ක්‍රමයක්

මේ කරුණු කාරණා අනුව පාර්ලිමේන්තුවට මෙහි දී ඇති වගකීම පැහැදිලි වේ. එහෙත් අද වන විට පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් තිබිය යුතු ශක්තිය භාණ්ඩාගාරය විසින් අත්තනෝමතික ලෙස ලබාගෙන ඇත. මේ හේතුව නිසා අද භාණ්ඩාගාරය කියන ආකාරයට මූල්‍ය අනුමැතිය ලබා දීමට පාර්ලිමේන්තුවට සිදු වී තිබේ. මේ නිසා පාර්ලිමේන්තු කාරක සභාවකින් සෘජුව ම විගණකාධිපතිවරයාගේ අය-වැය ලේඛනය අනුමත කොට එය සමස්ත අය-වැය ලේඛනයට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. දැනට ලෝකයේ පිළිගත් ක්‍රමවේදය මෙය වේ. 2002 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය වෙනුවෙන් ඩේවිඩ් මැගී නම් කැනේඩියානු ජාතික නිලධාරියා සකස් කළ ‘ඕවර්සියර්ස්’ කෘතියේ 43 වැනි පිටුවේ පැහැදිලිව දක්වා ඇත්තේ එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව විගණකාධිපතිවරයාගේ අය-වැය සකස් කිරීමට වෙන ම පාර්ලිමේන්තු කමිටු පිහිටුවා ඇති බවත්, ඒවා වඩාත් ස්වාධීන ව ක්‍රියාත්මක වන ආකාරයත් ය.

විගණන පනතට බය ඇයි ?

මේ ආකාරයට ව්‍යවස්ථාදායකය විගණකාධිපතිවරයාගේ අය-වැය සඳහා මැදිහත් විය යුත්තේ විධායකයට ඊට ඇඟිලි ගසන්නට කිසිදු ඉඩක් නොතබමින් ය. එහෙත් ලංකාවේ දැන් සිදු වෙමින් පවතින්නේත්, සිදුවීමට නියමිතව ඇත්තේත් ඊට වඩා වෙනස් තත්ත්වයකි. ජාතික විගණන පනතේ බල බිඳින්නට යළිත් විධායකය නිල වශයෙන්ම උත්සාහ දරමින් සිටී. ව්‍යවස්ථාදායකය නිහඬ ව ඒ දෙස බලාගෙන සිටී. අපට පෙනෙන ආකාරයට කැබිනට් මණ්ඩලයේ හෝ ඊට පිටත හෝ දූෂණ චෝදනා ඇති පිරිස් සිටිති. ඒ අයට තමන්ගේ දූෂිතභාවය ආරක්ෂා කර ගැනීම සඳහා සහ තවත් දූෂණ සිදු කිරීම සඳහා විගණකාධිපතිවරයා අඩපණ කිරීමට අවශ්‍ය වී තිබේ.

දැක්මක් ඇති ආණ්ඩුවක් කළ යුතු දේ

විශේෂයෙන් ම කිව යුත්තේ මෙවැනි අශීලාචාර ක්‍රියා සම්බන්ධ චෝදනා ආණ්ඩුවක දිගුකාලීන පැවැත්මට අභියෝගයක් බව ය. එයින් ජනතා විශ්වාසය පළුදු වේ. මේ ආණ්ඩුව හෝ කුමන ආණ්ඩුවකට හෝ දිගුකාලීන දැක්මක් තිබේ නම් මේ ගැටළුව කඩිනමින් විසඳීමට මැදිහත් විය යුතුය. මේවා ළඟ බලා කළ යුතු කාරණා නොවන බව තේරුම් ගත යුතුය.

Previous articleසහරාන් අත්අඩංගුවට ගන්න මෛත්‍රී උපදෙස් දුන් කතාව බොරුවක් – හේමසිරි
Next article2015න් පසු ආරක්ෂක කවුන්සිලය සතිපතා රැස් වුණේ නෑ – රනිල්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here