සහරාන් අත්අඩංගුවට ගන්න මෛත්‍රී උපදෙස් දුන් කතාව බොරුවක් – හේමසිරි

(හසරිදු රාජපක්ෂ)

ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නා ලෙස  උපදෙසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු අවස්ථාවක  ලබා නොදුන් බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

පසුගිය 2019 පෙබරවාරි 19 වෙනිදා පැවති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමෙන් පසුව අප්‍රේල් 22 වැනිදා තෙක් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් නොවීම පිලිබඳව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මෙහිදී හේමසිරි මහතාගෙන් විමසු අතර එයට පිළිතුරු වශයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ තමන් ඒ සඳහා හේතුවක් නොදන්නා බවයි.

“සාමාන්‍යයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවීම පිළිබඳව තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයා. ආරක්ෂක ලේකම් කරන්නේ ඊට අවශ්‍ය පහසුකම් සලසන එක පමණයි. ඒ නිසා එය නොපවත්වන්න බලපෑවේ කුමන හේතුද කියන්න මම දන්නේ නැහැ”යැයි ඔහු පැවසුවේය.

එමෙන්ම 2019 අප්‍රේල් මස සහරාන් ඇතුළු කණ්ඩායම විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට ලැබුණු තොරතුර පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් නොකළේ මන්ද යැයි කොමිෂන් සභාව විමසූ අවස්ථාවේ ප්‍රනාන්දු මහතා පැවසුවේ සාමාන්‍යයෙන් එය සිදු කළේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා විසින් බවය.

“නෛතික කරුණු අනුව නම් යම් යම් කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කිරීම සිදු කළ යුත්තේ අමාත්‍යාංශ ලේකම් විසින්. නමුත් රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂකවරයා සහ මම එකඟතාවයකට ආවා බුද්ධි තොරතුරු ජනාධිපතිවරයාට ලබාදීම සිදු කරන්නේ ඔහු විසින් කියලා” යැයි හේමසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here