ශ්‍රී ලංකා රජය මියන්මාර හමුදා පාලනය නිල වශයෙන් පිළිගනී? : අපි ඔක්කොටම ආරාධනා කළා – විදේශ අමාත්‍යාංශය

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වන ලෙස දැනට හමුදා පාලනයක් පවතින මියන්මාරයේ විදේශ අමාත්‍යවරයාටත් ශ්‍රී ලංකා රජය ආරාධනා කර තිබේ.
එම සංවිධානයේ සභාපතිත්වය සහ අමාත්‍ය රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබන අතර, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම ආරාධනාව සිදුකරනු ලැබ තිබේ. මියන්මාර හමුදා පාලනයට මේ සඳහා ආරාධනා කිරීම මියන්මාර සිවිල් ක්‍රියාකාරීන් ද දැඩි ලෙස හෙළා දැක ඇත. එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති විය. ලොව කිසිම රටක් මියන්මාර හමුදා පාලනය පිළිගෙන නොමැති අවස්ථාවක ශ්‍රී ලංකාව මෙලෙස එම පාලනය පිළිගැනීම ලැජ්ජාසහගත බව මියන්මාර වැසියන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ තීරණයට එරෙහිව ඔවුහු සමාජ මාධ්‍ය හරහා විරෝධය පළ කරති.

එම සමාජ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සභාපතිත්වය දරන රට සහ මෙම අමාත්‍ය රැස්වීමේ සත්කාරක රට ලෙස, මෙම වසර අග භාගයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අපේක්ෂිත 5 වැනි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණින් යුතුව, සාකච්ඡාවලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සියලුම සාමාජික රටවලට ආරාධනා කළ බවයි.
බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තයටත් ආරාධනා කළ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
විදේශ අමාත්‍යාංශයේ සම්පූර්ණ මාධ්‍ය ප්‍රකාශය පහතින්(https://mfa.gov.lk/media-statement-13/)
2021 අප්‍රේල්  මස 1 වැනි දින කොළඹ දී අතථ්‍ය ලෙස පැවැත්වෙන 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට සහභාගි වීම සඳහා මියන්මාරයේ විදේශ අමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනයක් සම්බන්ධයෙන් තොරතුරු සමාජ මාධ්‍යවල වාර්තා වී තිබේ.
බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සභාපතිත්වය දරන රට සහ මෙම අමාත්‍ය රැස්වීමේ සත්කාරක රට ලෙස, මෙම වසර අග භාගයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අපේක්ෂිත 5 වැනි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණින් යුතුව, සාකච්ඡාවලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සියලුම සාමාජික රටවලට (බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය) ආරාධනා කර ඇත.’

විරෝධතා මර්දනය

මියන්මාරයේ මේ වන විට පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොවන හමුදා පාලනයකි. එරට නායිකා අවුන්සාන් සුකී මහත්මිය මේ වන විට අත්අඩංගුවට ගනු ලැබ රඳවා තබාගෙන සිටී. හමුදා පාලනයට එරෙහිව එරට වැසියන් උද්ඝෝෂණ පවත්වන අතර, එරට හමුදාව එම උද්ඝෝෂණවලට සිදුකළ වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවන් රැසක් මිය ගොස් තිබේ. එමෙන්ම මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම එරට මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් හමුදාව විසින් මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙඩි තැබීමේ නියෝග

ඉන්දියාවට පළා ආ මියන්මාර පොලිස් නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ උද්ඝෝෂකයන්ට වෙඩි තබන ලෙස තමන් ඇතුළු නිලධාරීන්ට නියෝග ලැබුණු බවයි.

ඝාතන 50ක්

මේ වන විට එම උද්ඝෝෂණවලට සහභාගි වූ එරට සිවිල් වැසියන් 50කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බවත්, 2,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

‘මැතිවරණය දූෂිතයි’

ඉකුත් පෙබරවාරි පළමුවැනිදා අලුයම මියන්මාර හමුදාව විසින් එර⁣ට පාලනය සියතට ගනු ලැබූවේ මියන්මාර නායිකා අවුන් සාන් සුකී සහ තවත් දේශපාලනඥයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනිමිනි. පසුගිය නොවැම්බරයේදී පැවැති ඡන්දයෙන් සුකීගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය (එන්එල්ඩී) ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන දිනා තිබියදීත්, එහිදී මැතිවරණ වංචා සිදු වූ බවට එරට හමුදාව චෝදනා ක⁣⁣ළේය. ඉන්පසු පෙබරවාරි පළමුවැනිදා එරට ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන්ග් රාජ්‍ය බලය අත්පත් කර ගත්තේය. නමුත් වංචාවක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහු මෙතෙක් කටයුතු කර නැත. මීට පෙර රටේ මැතිවරණ කොමිෂන් සභාව දිගින් දිගටම එවැනි ප්‍රකාශ ප්‍රතික්ෂේප කළද, වැඩි කල් යන්නට මත්තෙන් මැතිවරණ වංචා සම්බන්ධයෙන් ‘ක්‍රියාමාර්ග ගන්නා’ බවට හමුදාව තර්ජනය කළේය. එරට මැතිවරණ කොමිසමේ නිලධාරීන් ද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මේ වන තෙක් රඳවා තබාගනු ලැබ සිටී.
නොවැම්බර් 8 වැනිදා පැවති මැතිවරණයෙන් එන්එල්ඩී පක්ෂය විසින් ලබා ගත හැකි ආසනවලින් 83% ක බහුතරයක් දිනාගත් අතර, බොහෝ පිරිස් විශ්වාස කළේ එය සුකීගේ සිවිල් රජය පිළිබඳ පැවති ජනමත විචාරණයක් බවයි.

මියන්මාරයේ මිලිටරි ජුන්ටාව

1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබාගැනීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ජාතියක් ලෙස ව්‍යවස්ථාමය රජයක් එරට ස්ථාපිත කරන ලද අතර, වූ නු (U Nu) ස්වාධීන මියන්මාරයේ අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කරන ලදි.
එවකට රටේ පැවති ජාතිවාදී ගැටළු මධ්‍යයේ සහ අනෙකුත් ගැටළු නිසා රටේ එක්සත්භාවය පවත්වාගැනීමට ඔහු යටතේ පැවති සිවිල් ආණ්ඩුවට නොහැකි විය.
1958 දී, එරට පාලක පිරිස් අතර බෙදීමක් ඇති වූ අතර, හමුදා කුමන්ත්‍රණයක් දියත්කරන බවට තර්ජන එල්ල විය. මෙම නිසා වූ නු ජෙනරාල් නෙ වින් (Ne Win) යටතේ භාරකාර රජයක් පිහිටුවීමට හමුදාවට ආරාධනා කළේය. එම හමුදා පාලනය 1960 වසර දක්වා පැවතිණි.
1960 මැතිවරණයෙන් පසු වූ නු විසින් පිහිටුවන ලද සිවිල් රජයට පෙර පැවති ගැටළු විසඳීමට නොහැකි වූ අතර, ජෙනරාල් නෙ වින් යටතේ 1962 මාර්තු 2 වැනිදා යළි හමුදා කුමන්ත්‍රණයක් සිදු විය. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අවසන් කරමින් ජෙනරාල් නෙ වින් යටතේ සෘජු මිලිටරි පාලනයක් මෙමගින් ආරම්භ විය. හමුදා නිලධාරීන්ගේ දූෂණ, පොලිස් කෘරත්වය, මිලිටරි ආඥාදායකත්වය සහ තවත් බොහෝ බරපතළ කාරණා හේතුවෙන් 1988 දී මියන්මාරය පුරා විරෝධතා මාලාවක් ආරම්භ වූ අතර, එය ‘8888 නැගිටීම’ ලෙසද හැඳින්වේ. ඊට හේතුව විරෝධතා ව්‍යාපාරවල ප්‍රධාන සිදුවීම් 1988 අගෝස්තු 8 වැනිදා සිදු වීම ය.
මෙම අර්බුදය අතරතුර, අවුන් සාන් සුකී ජාතික වීරවරියක ලෙස ඉස්මතු වූ අතර, 1990 දී මිලිටරි තන්ත්‍රය විසින් විරෝධතා ගැටළුව විසඳීම සඳහා මැතිවරණයක් සංවිධානය ක⁣ළේය. සුකීගේ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) එම ඡන්දයෙන් මුළු ආසන 492 න් (81%) ආසන 392 ක් දිනා ගත්තේය.
කෙසේ වෙතත්, මිලිටරි ජුන්ටාව එම මැතිවරණයේද ප්‍රතිඵල පිළිනොගත් අතර, මහජනතාවගේ තීන්දුව ප්‍රතික්ෂේප කරමින් මිලිටරි ජුන්ටාව රාජ්‍ය නීතිය හා සාමය ප්‍රතිසංස්කරණ සභාව ලෙස දිගටම එරට පාලනය ක⁣⁣ළේය. ඒ අතර සුකී නිවාස අඩස්සියේ තබන ලදි.
2010 නොවැම්බරයේදී මිලිටරි ජුන්ටාව යළි මැතිවරණයක් පැවැත්වූ අතර, හමුදාවේ සහයෝගය සහිත එක්සත් සහයෝගිතා සහ සංවර්ධන පක්ෂය (USDP) ජයග්‍රහණය ක⁣ළේය. සුකීගේ එන්එල්ඩී පක්ෂය ඇතුළු තවත් බොහෝ පාර්ශ්ව එම මැතිවරණය සඳහා සහභාගි නොවීය. මැතිවරණයෙන් සතියකට පසු, සුකී නිදහස් කරනු ලැබුවේ ඇගේ අවසන් අවුරුදු 20 න් 16 ක් නිවාස අඩස්සියේ ගතකිරීමෙන් පසුව ය.
2011 දී මිලිටරි ජුන්ටාව හිටපු ජෙනරාල් තීන් සේන් යටතේ අර්ධ-සිවිල් රජයක් දක්වා බලය අත්හැරීමට පියවරක් තැබුවේය. එතෙක් තහනම් කර තිබූ එක්රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස සඳහා වූ සීමාවන් ඉවත් කිරීම ඇතුළුව බොහෝ මූලික අයිතිවාසිකම් ප්‍රතිස්ථාපනය කරන ලදි.

ජනවාර්ගික ඝාතන

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සමූහ ඝාතනය කිරීම නිසා 2017 අගෝස්තු මාසයේදී ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සිය ජීවිත බේරාගැනීමට රටින් පළාගිය අතර, මියන්මාරයේ හමුදාව මෙම ජන සංහාරයට වගකිව යුතු බවට ජාත්‍යන්තර සංවිධාන චෝදනා කළේය.
ඔවුන් මෙම චෝදනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කළ අතර, හමුදාව රෝහින්ග්‍යා සටන්කාමීන්ට එරෙහිව පමණක් සටන් කරන බවත්, සිවිල් වැසියන් ඉලක්ක නොකළ බවත් එරට ආණ්ඩුව ප්‍රකාශ කළේය.
අවම වශයෙන් ළමුන් 730 ක් ඇතුළුව රෝහින්ග්‍යාවරුන් 6,700 ක් මෙම ව්‍යසනයෙන් මිය ගිය බවට ඇතැම් වාර්තා පෙන්වා දෙන අතරම, සමහර වාර්තාවල සඳහන් වන්නේ 24,000-43,000ත් අතර පිරිසක් මිය ගොස් ඇති බවයි.
1991 දී සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගත් අවුන් සාන් සුකී වරක් මානව හිමිකම් වීරවරියක ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ අතර, රෝහින්ග්‍යා සිද්ධියට වගකිව යුතු බවට ඇයට චෝදනා එල්ල විය.
මානව හිමිකම් රැකීමට ඇය කළ මෙහෙය වෙනුවෙන් කැනඩාව විසින් ලබා දී තිබූ ගෞරවනීය පුරවැසිභාවය 2018 ඔක්තෝබර් 2 වැනි දින ඉවත් කරන ලදි. ඒ ඇයගේ පාලන කාලයේදී රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවූ වෙනස්කම්වලට එරෙහිව නැගී නොසිටීම සහ රොහින්ග්‍යා ප්‍රජාවට සිදුවූ වෙනස් කොට සැලකීම් හෙළි කළ රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙකු සිරගත කිරීම යන චෝදනා මත ය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් අවුන් සාන් සුකී 1991 දී නොබෙල් සාම ත්‍යාගය දිනා ගත් අතර, වසර 50 කට ආසන්න හමුදා පාලනය අවසන් කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ අරගලයක යෙදී සිටියදී වසර 15 කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ ද ගත කළාය.
Previous articleසූරියවැව සත්‍යග්‍රහය දිගටම : වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ලිපියක් නිකුත් කර නෑ !
Next articleහක්කිඳ වෙනුවෙන් නීතිඥවරු අධිකරණයට : ඒක තියෙන්නෙ කොහෙද? – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here