සූරියවැව සත්‍යග්‍රහය දිගටම : වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ලිපියක් නිකුත් කර නෑ !

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ප්‍රමාද කිරීමට එරෙහිව සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මතදී දෙවැනි වරටත් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (10) අවසන් කෙරිණි. එහෙත් රක්ෂිතය ගැසට් කරන තුරු දැනට පවත්වාගෙන යන සත්‍යග්‍රහය අවසන් නොකිරීමට ගොවීහු තීරණය කළහ.

අරගලයේ දින සටහන්

පසුගිය ජනවාරි 18දා මේ සත්‍යග්‍රහය ආරම්භ කෙරුණු අතර, ජනවාරි 20දා ගොවීහු පළමු වරට මාරාන්තික උපවාසය ආරම්භ කළහ. ඉන්පසු 23දා වාර්මාර්ග සහ මහවැලි විෂය භාර කැබිනට් ඇමැති චමල් රාජපක්ෂ විසින් මාසයක් ඇතුළත මේ රක්ෂිතය ගැසට් කරන බවට ලබාදුන් පොරොන්දුවක් මත මාරාන්තික උපවාසය අවසන් කෙරුණේ සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන යෑමේ තීරණය සමග ය.
පොරොන්දු වූ පරිදි  මාසයක කාලයක් තුළ එය සිදුනොකිරීම සහ යෝජිත රක්ෂිත භූමියේ නීතිවිරෝධී ව්‍යාපෘති දිගින්-දිගටම සිදු කිරීමට එරෙහිව පසුගිය 07දා වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම විසින් යළිත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදි. 08 දා ඊට ගොවීන්ගේ පවුල්වල සාමාජිකයෝද එක්වූහ. මේ මාරාන්තික උපවාසය පවතින අතරතුර, අද (10) ගොවීහු අම්බලන්තොට නගරයේදී කොළඹ – කතරගම මාර්ගය හරස් කරමින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වූහ. ඉන්පසු ඔවුහු මේ ගැටළුවට කඩිනම් විසඳුමක් ඉල්ලා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූහ.

නොමග යවන ප්‍රවෘත්ති

එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) එම්.එස්.එල්.ආර්.පී.මාරසිංහ විසින් එවන ලද ලිපියක් ඉදිරිපත් කරන ලද අතර, එහි සඳහන් වූයේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා දැනට ගෙන ඇති පියවර ය. මේ ලිපිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද්දක් බවත්, එමගින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට අදාළ පොරොන්දුවක් ලබාදී ඇති බවත් මාධ්‍ය මගින් නිකුත් කරන කෙටි ප්‍රවෘත්ති (News Alert SMS) මගින් ප්‍රචාරය කළද, එය මුළුමනින්ම අසත්‍යයකි. අදාළ ලිපියේ එවැනි පොරොන්දුවක් ගැන සඳහන් නොවන අතර, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට අත්සන් කර ද නැත.

ලිඛිතව දුන්නෙ නෑ – වනජීවී අධ්‍යක්ෂ ජනරාල්

MediaLK මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් විමසීමේදී ඔහු පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාට වාචිකව යම් කරුණු ඉදිරිපත් කිරීමක් පමණක් කළ බවත්, එය ලිඛිතව ලබාදීමක් තමන් සිදු නොකළ බවත් ය. යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර පමණක් තමන් දිස්ත්‍රික් ලේකම්වරයාට පැවසූ බවත්, ඉන් එහා පොරොන්දු දීමේ හෝ ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් කතා කිරීමේ බලයක් තමන්ට නැති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහෙම ලිපියක් ගැන මම දන්නෙ නෑ – වනජීවී අමාත්‍යංශ ලේකම්

මේ සම්බන්ධයෙන් MediaLK අප කළ විමසීමකදී වනජීවී විෂය අයත් කැබිනට් අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සඳහන් කළේ එවැනි ලිපියක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත්, අප විමසීමක් කරන තුරු කිසිවකු ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් නොකළ බවත් ය. ලේකම්වරයා අදාළ ධුරයේ වැඩ බාරගනු ලැබුවේ ද අද (10) දින ය.

ලිඛිතව මොකුත් දුන්නෙ නෑ – වනජීවී කැබිනට් ඇමැති

වනජීවී විෂය භාර කැබිනට් ඇමැති සී.බී.රත්නායකගෙන් MediaLK කළ විමසීමේදී ඔහු පැවසුවේ තමන්ගේ අනුදැනුමකින් කිසිවකු මේ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ ලිඛිත පොරොන්දුවක් ලබානොදුන් බවයි. එහෙත් රක්ෂිතය ගැසට් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ඇති බවත්, ඊට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගන්නා බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අපේ පැත්තෙන් වැඩ කරලා තියෙන්නෙ – වනජීවී රාජ්‍ය ඇමැති

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අයත් වන වනජීවී විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායකගෙන් MediaLK කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ද මෙය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස වාරිමාර්ග සහ වනජීවී අමාත්‍යංශ මගින් ඉදිරිපත් කරන ලද්දක් බවත්, එම නිසා දෙපාර්ශ්වයම මේ රක්ෂිතය ගැසට් කිරීමේ කටයුතුවලට එක සේ මැදිහත් විය යුතු බවත් ය. තම අමාත්‍යංශය පාර්ශ්වයෙන් ඊට අදාළ කටයුතු සිදු කර ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

අධ්‍යක්ෂ (මෙහෙයුම්) ලිපිය

දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) විසින් ඉදිරිපත් කළ ලිපියක් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත පොරොන්දුවක් බවට මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාරයක් ගෙනගිය අතර, ඇතැම් පරිසර ක්‍රියාකාරිකයන් ද එවැනි අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබිණි.
ලිඛිත පොරොන්දුවක් බව පැවසූ අදාළ ලිපියේ සඳහන් වන්නේ මෙසේ ය.
‘දිස්ත්‍රික් ලේකම්,
හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කය
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධ ප්‍රගතිය
උක්ත කරුණ සම්බන්ධව අද දින ඔබ විසින් දුරකතනයෙන් විමසන ලද කරුණ හා බැඳේ.
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පහතින් දක්වමි.
01. හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය කෙටුම්පත් කර නීති කෙටුම්පත් සම්පාදක වෙත යැවීම.
02. වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීමට අදාළ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ රෙගුලාසි කෙටුම්පත් කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම.
03. හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීම සඳහා පිළියෙල කරන ලද ගැසට් පත්‍රයේ අන්තර්ගතය හා ඒ හා සබැඳිව සන්නිවේදනය කර තිබූ තොරතුරු ආශ්‍රයෙන් නීති කෙටුම්පත් සම්පාදක වෙතින් කරන ලද විමසීම් සඳහා පිළිතුරු සැපයීම.
04. අදාළ ගැසට් පත්‍රය භාෂාත්‍රයෙන් පිළියෙල කෙරුණු වහාම එම ගැසට් පත්‍රය නිසි පරිදි ප්‍රකාශයට පත්කිරීම සඳහා අදාළ පටිපාටිය අනුව කටයුතු කරනු ලබන අතර, මෙම පටිපාටි සියල්ල සම්පූර්ණ කිරීම සඳහා මසක පමණ කාලයක් ගතවන බව ද වැඩිමනත්ව කාරුණිකව දන්වා සිටිමි.’

සිංහරාජ උදාහරණය

සිංහරාජ රක්ෂිත වනාන්තරයේ ප්‍රේරණ කලාපය ප්‍රකාශයට පත්කිරීම සහ ඊට අදාළ ඉඩම් පවරාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබුණේ 2004 අගෝස්තු 04 දින ය. ඉන්පසු ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ 2019 වසරේ ය. මෙතෙක් අදාළ කලාපයට ගැසට් කරන ලද ඉඩම් පවරාගැනීම්, නීතිවිරෝධී ලෙස රජයේ ඉඩම්වල සිදුකරන ව්‍යාපෘති නතර කිරීම් සිදු වී නැත.
Previous articleවතු සේවක වැටුප් වැඩිකිරීම : රජය නියෝගයක් දුන්නොත් පිළිපදින්න ඕන – වැවිලිකරුවන්ගේ සංගමය
Next articleශ්‍රී ලංකා රජය මියන්මාර හමුදා පාලනය නිල වශයෙන් පිළිගනී? : අපි ඔක්කොටම ආරාධනා කළා – විදේශ අමාත්‍යාංශය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here