රක්ෂිතය ගැසට් කරනවා නම් නීතිවිරෝධී ව්‍යාපෘති ආරම්භ කරන්නේ ඇයි ? – සූරියවැව ගොවි සංවිධාන : කලබල කිරීම ප්‍රහේලිකාවක් – චමල් රාජපක්ෂ

හම්බන්තොට විශේෂ වන අලි කළමනාකරණ රක්ෂිතයක අවශ්‍යතාව තමන් පාර්ලිමේන්තුවට පිවිසි 1989 වසරේ සිට පෙන්වා දුන් බව වාරිමාර්ග සහ මහවැලි විෂය භාර කැබිනට් ඇමැති චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ගැන කතා කරන බාහිර පාර්ශ්වවලට වඩා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව සමග ජීවත් වන තමන්ට එහි අවශ්‍යතාව වඩාත් දැනෙන බව ද පෙන්වා දෙන ඇමැතිවරයා, යෝජිත රක්ෂිතය ගැසට් කිරීම සඳහා ගතවන කාලය නොඉවසා කලබලකාරී තත්ත්වයක් ඇතිකිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කිරීම ප්‍රහේලිකාවක් බව ද අවධාරණය කරයි.

වැදගත් පියවර

ඇමැතිවරයා මේ බව සඳහන් කරන්නේ ඊයේ (09) දින නිකුත් කරන ලද විශේෂ නිවේදනයකිනි. ඇමැතිවරයා උපුටා දක්වමින් මේ නිවේදනයට අත්සන් තබා තිබුණේ ඔහුගේ මාධ්‍ය ලේකම් ඩබ්ලිව්.ඒ.එන්.සී.වීරතුංග ය. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
‘මාසයක් ඇතුළත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමේ පියවර ගන්නා බව 2021 ජනවාරි මස 23 දින, ඒ වෙනුවෙන් මාරාන්තික උපවාසයේ යෙදුණු ගොවීන් හමුවේ තමන් ප්‍රකාශ කොට දින 30ක් ගතවන තැන පොරොන්දු වූ පරිදිම, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් බවත්, දැන් ඉතිරිව ඇත්තේ ඊට අදාළ නීති, රෙගුලාසි ක්‍රමවත්ව සකස් කොට කෙටුම්පත් නීති සම්පාදක දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට අවසන් පියවර ලෙස ගැසට් පත්‍රය මුද්‍රණය කරවීම බවත්….
ගැසට් පත්‍රයක් මුද්‍රණයට යැවීමේ සාමාන්‍ය ක්‍රියාදාමයට අයත් වැදගත් හා අත්‍යවශ්‍ය පියවරයන් ගණනාවක් මේ වන විට සාර්ථකව අවසන් කොට ඇති බවත්, එහි ඉතාම වැදගත් පියවර වන්නේ අදාළ ගැසට් පත්‍රයේ අරමුණ සහ අන්තර්ගතය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම බවත්….
ගෙවීගිය කාලය තුළ රට පුරා පැවැති බොහෝ උද්ඝෝෂණ සහ උපවාස විවිධ දේශපාලන අරමුණුත් සමග බද්දව පැවැති බව සිහිපත් කළ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් වූ උද්ඝෝෂණ ව්‍යාපාර සහ මාරාන්තික උපවාසවල නිරත තම දිස්ත්‍රික්කයේ ජනතාව එවැනි පටු අරමුණු සඳහා ඉඩකඩ ලබානොදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද පැවසීය.’

එහෙනම් නවත්තන්න බැරි ඇයි?

විෂය භාර කැබිනට් ඇමැතිවරයා එසේ සඳහන් කළ ද, අදාළ ගැටළුවට මුහුණ දී ඇති එක් කොටසක් වන වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම පවසන්නේ චමල් රාජපක්ෂ ඇමැතිවරයා සිය පොරොන්දු කඩකරමින් සිටින බවක් පෙනීයන බවයි. ඊට හේතුව ලෙස ඔහු පෙන්වාදෙන්නේ යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණද, ඇමැතිවරයාගේ සමීපතමයන් විසින් රක්ෂිතයේ වනාන්තර කොටස් එළිපෙහෙළි කිරීමත්, නීතිවිරෝධී ව්‍යාපෘති අලුතින් ආරම්භ කිරීමත් තවදුරටත් සිදුකරන බවයි. ඔවුන් දවස පුරා බැකෝ යන්ත්‍ර යොදාගනිමින් වනාන්තර සහ ජල පෝෂක කොටස් එළිපෙහෙළි කරන බවත්, මේ නිසා විශේෂයෙන්ම වලව වම් ඉවුරේ ජල ගබඩාවක් ලෙස පවත්වාගෙන යන ලෙවල් කුෂන් වැව ගොඩවී ජලය ගබඩා කරගත නොහැකි තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

රහස් පණිවුඩයක් ද?

‘කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු හින්දා කලබල වෙන්න එපා කියලා ඇමැතිවරයා කියනවා. එහෙනම් ඇමැතිවරයගෙ ගෝලයො තවදුරටත් සල්ලි, කාලය ඔක්කොම වියදම් කරගෙන මේ කැලෑ කපන්නෙ ඇයි. ඒගොල්ලොන්ට පණිවුඩයක් එවලා ඇති, උඹලා බයවෙන්න එපා, මං බලාගන්නම්, මේක කෙරෙන්නෙ නෑ, උඹලගෙ වැඩේ කරගෙන යමල්ලා කියලා.’
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වලව දකුණු ඉවුර ගොවි සංවිධානයේ සභාපති එච්. සරත් ඇතුළු නියෝජිතයන් පෙන්වා දෙන්නේ පත්වූ ආණ්ඩු විසින් සෑම අවස්ථාවකදීම මේ පොරොන්දුව ලබාදුන් බවත්, එය ඉටු නොවූ බවත් ය. එම නිසා ජනතාව අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් සැක මතුකිරීම අසාධාරණ නොවන බවත්, ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් කළ යුත්තේ කඩිනමින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සහ වනාන්තර තුළ සිදුවන විනාශය නැවැත්වීමට පියවර ගැනීම බවත් ඔවුහු අවධාරණය කරති.

අක්කර 50,100 සහ 150

මේ වනවිටත් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිත භූමියෙන් විශාල කොටසක කෙසෙල්, අඹ වැනි වගා පවත්වාගෙන යන අතර, ඒවා පවත්වාගෙන යනු ලබන්නේ ප්‍රදේශයේ ගොවීන් නොවේ. පිටස්තර ප්‍රදේශවලින් පැමිණි පිරිස් අක්කර 50, 100 සහ 150 වැනි කොටස්වල විදුලි වැටවල් යොදා මේ වගාවන් පවත්වාගෙන යන අතර, එම ප්‍රදේශයේ ගල් වළවල් 13ක් ද පවත්වාගෙන යනු ලබයි. මේ වනවිට මේ යෝජිත රක්ෂිත භූමියේ පමණක් ගල්වළවල් 36ක් සඳහා මහවැලි අධිකාරියෙන් අනුමැතිය ලබා දී ඇති බව ද වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා සඳහන් කරයි.

උද්ඝෝෂණයත් තහනම්

මේ අතර අද (10) සූරියවැවේදී මීට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට අදාළව සූරියවැව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගැනීමට සූරියවැව පොලිසිය කටයුතු කර තිබිණි. අදාළ ස්ථානයේ එම උද්ඝෝෂණය පැවැත්වීම තහනම් කෙරුණද, එය අම්බලන්තොට වෙනත් ස්ථානයකදී සාර්ථකව පැවැත්වීමට ගොවීන්ට හැකි විය.

ජනවාරි 18 සිට ඉදිරියට

පසුගිය ජනවාරි 18 දා මේ යෝජිත රක්ෂිතය වහාම ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මතදී වලව ඒකාබද්ධ ගොවි සංවිධානය ප්‍රමුඛ ගොවි සංවිධාන 84ක මූලිකත්වයෙන් සත්‍යග්‍රහයක් ආරම්භ කෙරිණි. ඉන්පසු පසුගිය ජනවාරි 20දා ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම ඇතුළු පිරිසක් එහි මාරාන්තික උපවාසයක් ඇරඹූහ. 23 දා එහි පැමිණි චමල් රාජපක්ෂ ඇමැතිවරයා මාසයක් තුළ රක්ෂිතය ගැසට් කරන බවට පොරොන්දුවක් ලබාදුන්නේය.

ප්‍රමුඛ කාර්යයක්

ඒ අනුව මාරාන්තික උපවාසය නතර කළද, ගොවීහු සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන යෑමට කටයුතු කළහ. පෙබරවාරි 22දා මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර, ඊට අනුමැතිය හිමි විය. එය ඉදිරිපත් කෙරුණේ වනජීවී සහ වාරිමාරිග අමාත්‍යංශවල ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස ය. වනජීවී විෂය භාර කැබිනට් ඇමැති සී.බී.රත්නායක ද ගොවි සංවිධාන නියෝජිතයන්ට පසුගිය 21දා පවසා තිබුණේ මේ රක්ෂිතය ගැසට් කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කරන බවයි.

විශ්වාස කරන්න පුළුවන් ද?

කෙසේ වෙතත් කැබිනට් අනුමැතිය ලැබුණද, දිගින් දිගටම වනාන්තරය විනාශ කිරීමත්, එම කටයුතු නැවැත්වීමට යෝජිත රක්ෂිතයට අදාළ භූමිය හිමි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීමත් නිසා ගොවීන්ගේ පවුල්වල සාමාජිකයෝ ද පසුගිය 04දා සත්‍යග්‍රහයට වාඩි වූහ. විෂය භාර ඇමැතිවරයා හෝ ආණ්ඩුවේ කිසිදු වගකිවයුතු බලධාරියෙකු මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන සමග සාකච්ඡා නොකිරීමත්, අදාළ අනවසර ව්‍යාපෘති දිගටම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ඔවුන් පියවර නොගැනීමත් නිසා නැවත පසුගිය 07දා ගොවි සංවිධානයේ සභාපතිවරයා මාරාන්තික උපවාසයක් ඇරඹීය. ඒ අතරවාරයේ ය, චමල් රාජපක්ෂ ඇමැතිවරයා ඊයේ (09) ඉහත නිවේදනය නිකුත් කර තිබුණේ.
Previous articleව්‍යවස්ථාවට අනුව රංජන් සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ – විපක්ෂ නායක : අභියාචනාධිකරණ තීන්දුව එනතෙක් ඉවසන්න – කතානායක
Next articleඔබත්, පවුලේ අයත් හිතුවොත් එක් දිනක් තුළ ජනතා ප්‍රශ්න බහුතරයක් විසඳන්න පුළුවන් – ආනන්ද සංගරී අගමැතිට ලියයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here