ව්‍යවස්ථාවට අනුව රංජන් සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ – විපක්ෂ නායක : අභියාචනාධිකරණ තීන්දුව එනතෙක් ඉවසන්න – කතානායක

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් රංජන් රාමනායක අභියාචනාධිකරණයෙන් කර ඇති ඉල්ලීමට අදාළ තීන්දුව ලද පසු ඔහුගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුවක් ගත හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (10) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රංජන් රාමනායක පාර්ලිමේන්තුවට කැඳවන ලෙසත් මන්ත්‍රී ධුරය රකින ලෙසත් කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීය. විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
‘මට ඉතා වැදගත් කාරණාවක් මතු කරන්න අවස්ථාව ලබාදෙන්න. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා රංජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් නිවාඩු යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා .විශේෂයෙන්ම මං මේක අවස්ථාවක් කරගන්නවා ගරු කතානායකතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66, 89, 91, 105 (3) යන ව්‍යවස්ථාවන්ට අනුකූලව රංජන් රාමනායක මැතිතුමා සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේයි.
අභියාචනාධිකරණයත් ස්ටේටස් කෝ එක එලෙසම පවත්වාගෙන යන්න කියලා, මහ ලේකම්වරයාටත්, පාර්ලිමේන්තුවටත් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ දැන් මාස ගණනාවක් මුළුල්ලේ අපේ ඉල්ලීම රංජන් රාමනායක මන්ත්‍රීතුමාව පාර්ලිමේන්තුවට කැඳවන්න කියන ඉල්ලීමයි. ඔබතුමා එය එකහෙළාම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එපමණක් නෙමෙයි, ඔබතුමාගේ වගකීමක් තමයි, මහජන මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කරදීම. දැන් අපට පෙනෙන ආකාරයට , බොහොම නිහතමානීව මම කියන්නට ඕනේ ඔබතුමා ඒ කර්තව්‍ය පැහැර හරිමින් සිටින බව. කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා කතානායකතුමනි, ඇයි රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ නිවාඩු යෝජනාව මේ සභාවට ගෙන එන්නට ඔබතුමා ඉඩ ලබානොදෙන්නේ ? ඒක ඇත්ත වශයෙන්ම මේ සම්ප්‍රදායෙන් බැහැරව කටයුතු කිරීමක්.
කිසිම දිනක අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ එහෙම දෙයක් සිදුවී නැහැ. කතානායකතුමනි, කරුණාකරලා මේ නිවාඩු යෝජනාව ගෙනඑන්න අපිට අවස්ථාව ලබාදෙන්න. ඔබතුමා මේ අධිකරණ නියෝගයක් කියන මුවාවෙන් ස්ථාවර නියෝග යට හැංගෙන්න උත්සාහ නොකරන්න. රංජන් රාමනායක මැතිතුමා සම්බන්ධව අදටත් අභියාචනාධිකරණයෙන් පිළිගෙන ඔබතුමන්ලාට නියෝග කර තිබෙනවා, ඒ මැතිවරණ කොමිසමට මන්ත්‍රී අසුනක් හිස්වීම ගැන ලිපි ලියන්නට එපා කියලා. එසේ අභියාචනාධිකරණය කියද්දි ඔබතුමා අහක බලාගන්නවා, අහක බලාගෙන ඔබතුමාගේ පාර්ශ්වයේ මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒක වැරදියි. ඔබතුමා 66, 89, 113 කියන ව්‍යවස්ථා කියවලා බලන්න. අධිකරණයට අපහාස කිරීම පිළිබඳ විශේෂයෙන්ම අර මාස හය, වසර දෙක කාලවකවානු පිළිබඳව, ඒ දඬුවම පිළිබඳව කිසිම නිශ්චිත සඳහනක් නැහැ. ඉතින් ඒත් සම්ප්‍රදායානුකූලව ඔබතුමාගේ වගකීම තමයි රාමනායක මැතිතුමාව මේ මැති සබයට කැඳවීම. ඔබතුමා ඒක කරන්නෙත් නෑ. ඉන් ඔබ්බට ගිහිල්ලා ඔබතුමා තීන්දුවක් අරන් තියෙනවා එතුමාගේ නිවාඩු යෝජනාව ස්ථාවර නියෝග මත මේ සභාවට ගෙන එන්නට බැරිය කියලා. අමනාප වෙන්න එපා, ඔබතුමාගේ අපක්ෂපාතීත්වය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.’
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන –
‘විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන කාරණාව අද දිනට නියමිත නැහැ. ඔබතුමා අවසරයක් දීලත් නැහැ. දැන් අද දිනට නියමිත රටක් තැතිගත්ත මුළු රටම බලාගෙන ඉන්න පාස්කු ප්‍රහාරය පිළිබඳ වාදයට විපක්ෂයත් එකඟවෙලා තියෙනවා. අද දින එය ආරම්භ කිරීමට තිබෙන සීමිත වෙලාව තියෙද්දි වෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම මේ විවාදය අද කඩාකප්පල් කිරීම අරමුණ වෙන්නට පුළුවන්. නමුත් අද අපි ඉතා ඕනෑකමින් කතානායකතුමාට කියා සිටිනවා. කතානායකතුමනි, ඔබතුමන් ඊට අවසර දීලා නැත්නම් එය ප්‍රතික්ෂේප කර විවාදය පටන් ගැනීමට මට අවසරදීමට ඉඩදෙන්න.’
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස –
‘බොහොම නිහතමානීව මටත් ඉඩදෙන්න, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ කිසිම දවසක සිදුනොවුණු දෙයක් මේ සිදුවෙන්නේ.’
කතානායක මහින්ද යාපා අබේවර්ධන –
‘ඔබතුමාට මං කරුණු පැහැදිලි කරලා දෙන්නම්, ඔබතුමන් නිහතමානීව ප්‍රකාශ කරනවා දැන් මේ ප්‍රශ්නය උසාවිය ඉදිරියේ තියෙන ප්‍රශ්නයක්, අපි අඩුම බලාපොරොත්තු වෙනවා 16 වැනිදා තීන්දුවක් ලැබෙයි කියලා. එතකොට අපිට තවත් පාර්ලිමේන්තු සතියක් තියෙනවා මේ මාසේ තුළ. ඒ වගේම රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ තුන් මසක මන්ත්‍රී ධුරය ඉවර වන කාලය නිමාවෙන්නේ අප්‍රේල් මාසෙ 6 වැනිදා, තවත් අපට වුවමනා නම් කාලය තිබෙනවා. සුප්‍රීම් උසාවිය මගින් ඇපෑලකට ඉඩ නැතුව එතුමාට නඩු තීන්දුවක් දීලා තිබෙනවා. ඊළඟට එතුමා දැන් සිරකරුවෙක්. ඒක නඩු තීන්දුවෙ ඒ ආකාරයෙන්ම සඳහන් වෙනවා.
එතකොට එහෙම ඉන්න සිරකරුවෙක් පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳව නීතිමය ගැටලුවක් තිබෙනවා. ඔබතුමාලා හැමවෙලාවෙම මට චෝදනා කරනවා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා ගැන .ජයසේකර මන්ත්‍රීතුමා අපේ රටේ තියෙන ඇප ආඥා පනත යටතේ එතුමා රිමාන්ඩ් සිරකරුවෙක්. රිමාන්ඩ් සිරකරුවන් නිතර අපට වුවමනා වෙලාවට ගෙන්නන්න පුළුවන්. එයා දඬුවම් විඳින සිරකරුවෙක් බවට පත්වන්නේ නෑ. රිමාන්ඩ් සිරකරුවෙක් තමයි අපි ගෙන්නුවේ. ඔබතුමන්ලා දැනට දඬුවමක් විඳින සිරකරුවෙක් පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනවයි කියන එක බරපතළ ප්‍රශ්නයක්. ඒ ගැටුම පිළිබඳවයි අපේ ගැටලුව. ඒ සම්බන්ධයෙන් තමයි උසාවි ගිහිල්ලා තියෙන්නෙ. උසාවිය තීන්දුව දෙනකං ඉන්න. උසාවියෙන් තීන්දුව ගන්න. ඊට එතැනින් එහාට මට දෙන්න උත්තරයක් නැහැ.’
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස –
‘කතානායකතුමනි, මට අවස්ථාව දෙන්න කරුණාකරලා, මේක මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාදයක්. මන්ත්‍රීකම අහෝසි වීම සඳහා වැරදිකරුවෙක් බවට පත්වන්නට ඕනෙ. ඒ වගේම සිර දඬුවම අවම වශයෙන් මාස 6ක කාල පරිච්ඡේදයක් තිබිය යුතුයි. ඒ වගේම සිර දඬුවම ලබාදෙන වරද නිර්දේශ කරන දඬුවම වසර දෙකකට නොඅඩු සිරදඬුවමක් විය යුතුයි. ඊළඟට අන්තිම කතාව මෙය වසර දෙකකට නොඅඩු සිර දඬුවමක් වන වරදක්. මාස 6ක කාල පරිච්ඡේදයක් විය යුතු වරදක්. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී නොමැත. ඒ නිසයි අපි ඔබතුමාට කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා තීන්දු තීරණ ගත යුතුයි කියලා. ඒ වගේම ඔබතුමා කිව්වා බැරිවෙලාවත් අප්‍රේල් 6 වෙනකොට තීන්දුවක් නොලැබුණොත් එතුමාගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා කියලා. බැරිවෙලාවත් මේ කොරෝනා සමයේ මාර්තු මාසේ හෝ අප්‍රේල් මාසේ ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරය මේ දෙකම අහෝසි වුණොත්, පාර්ලිමේන්තුව රැස්වන්නට බැරි වුණොත් එතකොට මොකක්ද රංජන් රාමනායක මන්ත්‍රීතුමාට අත්පත් වන ඉරණම?’
Previous articleරාජ්‍ය ආයතන රැසක් විගණනයට යටත් නෑ : පාර්ලිමේන්තුවේ බලය අභියෝගයට ලක්වෙලා – කෝප් සභාපති චරිත හේරත්
Next articleරක්ෂිතය ගැසට් කරනවා නම් නීතිවිරෝධී ව්‍යාපෘති ආරම්භ කරන්නේ ඇයි ? – සූරියවැව ගොවි සංවිධාන : කලබල කිරීම ප්‍රහේලිකාවක් – චමල් රාජපක්ෂ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here