රාජ්‍ය ආයතන රැසක් විගණනයට යටත් නෑ : පාර්ලිමේන්තුවේ බලය අභියෝගයට ලක්වෙලා – කෝප් සභාපති චරිත හේරත්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
එහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කළේ වර්තමානය වන විට රාජ්‍ය මූල්‍ය පරිපාලනය අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලය ඇතැම් අවස්ථාවලදී අභියෝගයට ලක්ව ඇති බවයි.
ලක්විජය බලාගාරය සම්බන්ධ විගණන වාර්තාව ඊට නිදසුනක් වශයෙන් ගෙන හැර දැක්විය හැකි බව ද ඔහු පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසුවේ නීතිමය ප්‍රතිපාදන කඩකරමින් ඇතැම් ‍රාජ්‍ය ආයතන කටයුතු කරන ආකාරය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී නිරීක්ෂණය වූ බවයි. මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
ඇතැම් රාජ්‍ය ආයතන විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් නොවීම පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බවද මෙහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පැවසුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු අපක්ෂපාතීව සිදු කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම කෝප් කාරක සභාව, කෝපා කාරක සභාව මෙන්ම මහජන පෙත්සම් කාරක සභාව රාජ්‍ය ආයතන වෙත ලබාදෙන නිර්දේශ ඉටුකිරීම සම්බන්ධව ගැටළු මතුව ඇති බව මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
මේ සම්බන්ධව අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙම ගැටළුවලට විසඳුම් සෙවීමට අවධානය යොමුකරන බවයි. පවතින තත්ත්වයට විසඳුම් ලබාගත හැක්කේ ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පමණක් බවත් බවත් කතානායවරයා පෙන්වා දුන්නේය.
Previous articleවතු කම්කරු සටන දිනුම් – දිනකට රුපියල් දහසේ වැටුප ගැසට් කරයි
Next articleව්‍යවස්ථාවට අනුව රංජන් සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ – විපක්ෂ නායක : අභියාචනාධිකරණ තීන්දුව එනතෙක් ඉවසන්න – කතානායක

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here